ඕලන්දය
[කෝනින්ක්රෛක් ඩෙර් නේඩර්ලංඩන් (Koninkrijk der Nederlanden)]. නෙදර්ලන්ත රාජ්‍යය යන නිලනාමයෙන් දන්නා නමුදු සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් හොලන්ඩ් (Holland) යනුවෙන් ද සිංහලෙන් ඕලන්දය යනුවෙන් ද හැඳින්වෙන රටයි. නියම වශයෙන් 1579-1795 අතර කාලයේ දී ඕලන්දය (හොලංට්) යන නාමය ව්‍යවහාර වූයේ ශුද්ධ රෝමානු රාජ්‍යයේ නෙදර්ලන්ත එක්සත් ප්රාන්තයන්හි ප්‍රධාන ප්‍රාන්තයටය. 1840න් පසුව මෙම ප්‍රාන්තය උතුරු ඕලන්දය හා දකුණු ඕලන්දය නමින් කොටස් දෙකකට බෙදනු ලැබීය.
වයඹදිග යුරෝපයේ උ.අ. 53° 33’ හා 50° 46’ද නැ.දේ. 3° 22/හා 7° 13/ද ආශ්‍රිතව පිහිටි ඕලන්දය ව.සැ. 13,202ක් විශාලය. නැගෙනහිරින් ජර්මනිය ද දකුණින් බෙල්ජියම ද උතුරින් හා බටහිරින් උතුරු මුහුද ද ඕලන්දයට සීමාය. පාලන කටයුතු උදෙසා ඕලන්දය පළාත් 11කට බෙදා තිබේ. මෙහි අගනුවර ඇම්ස්ටර්ඩෑම්ය. එහෙත් පාලන මධ්‍යස්ථානය හේග් නුවරය.
පටුන
භූ නිර්මාණය
කෘත්‍රිම ලෙස ගොඩනඟා ගත් ඉඩම් ඉතා ම බහුල යුරෝපීය රාජ්‍යය ඕලන්දයය. ප්‍රධාන වශයෙන් මෙය පිහිටා ඇත්තේ රයින්-ම්යුස් ඩෙල්ටාවෙහිය. රටෙන් වැඩි කොටස මුහුදු මට්ටමේ සිට අඩි 150කට වඩා උස් නොවේ. මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් පමණ උස් වූ එක ම බිම් ප්‍රදේශය රටෙහි අග්නිදිග භාගයේ පිහිටි ලිම්බ’ග්ය. ඕලන්ද රාජ්‍යයෙන් පහෙන් දෙපංගුවක් පමණ මුහුදු මට්ටමට වඩා පහත්ය. විශේෂයෙන් ම වෙරළකරය ද වෙරළකරයෙහි කෘත්‍රිම ලෙස ගොඩකරගන්නා ලද බිම් පෙදෙස් ද මුහුදුබත්වීම වැළැක්වීම උදෙසා වැටි හා වේලි ඉදිකිරීම ඕලන්දයට විශේෂ වූ ලක්ෂණයකි.
ඕලන්දයේ භූ නිර්මාණය සාමාන්‍යයෙන් සරලය. භූමියෙහි ඉතා ගැඹුරේ පර්මියානු හා ත්‍රියාසික ස්තර විහිදී ඇත. මෙම භූ යුගවල දී උතුරු මුහුද ඕලන්දයේ භූමි ප්‍රදේශය ද වසා පිහිටා තිබීම මිට හේතුවයි. ගෙල්ඩර්ලැන්ඩ් ප්‍රදේශයෙහි ලුණු ආකාර මෙම භූනිධි හා සම්බන්ධය. විශාල ගල් අඟුරු නිධි සහිත අංගාරධර මණ්ඩලීය පාෂාණ ද බහුලව ඇති නමුත් එය ද ඉතා ගැඹුරේ පිහිටි හෙයින් හාරා ගැනීම දුෂ්කරව ඇත. ලිම්බ’ග්, පේල්, ඕවර්අයිසල් හා ගෙල්ඩර්ලැන්ඩ් යන ප්‍රදේශයන්හි පමණක් හාරා ගත හැකි තරම් මතුපිටට කිට්ටුව ගල් අඟුරු නිධි ඇත. ආදි මෙසොසොයික පාෂාණ ද, ඊට පසු තෘතීයික අවධියේ දී තැන්පත් වූ දියළු නිධිවලින් බොහෝ සේ යට වී ඇත. තෘතීයික නිධි එතරම් ඝනව තැන්පත් වී නොමැති ගෙල්ඩර්ලැන්ඩ් ප්‍රදේශයෙහි තන්හි තන්හි මතුපිට හෝ ඊට සමීපව මෙම ආදි පාෂාණ නිධි දක්නට හැකි වේ. විශේෂයෙන් ම රයින්, ම්යුස් හා ස්කෙල්ට් ගංගාවන් මගින් තැන්පත් වූ දියළු පසින් විශාල තැනිතලා ගොඩනැඟිණ. ප්ලයිස්ටොසීන අවධියේ දී තුන්වන හෙවත් රිස් (Riss) ග්ලැසියර ඛාදනයේ අයිස් යාය උතුරු ඕලන්ද ප්‍රදේශය වසා විහිදි හෙයින් ඒ සමග විසිරී ගිය අකුරු මැටි (boudlder clay) මෙහි පාෂාණ අතුරෙහි ඇත. අයිස් යුගයේ දී මෙම පෙදෙස් වසා පැවති මුහුදු ඉන් පසුව බැසගිය හෙයින් විශේෂයෙන් බටහිර වෙරළකරයේ වැලිපර ආදිය ගොඩනැඟෙන්නට විය. ඩෙන් හෙල්ඩර් නම් ස්ථානයට ඔබ්බෙහි පිහිටි ෆ්රිෂන් දූපත් ගොඩනැඟී ඇත්තේ මෙම වැලිපර ආශ්රයෙනි. වැලිපරවලට මැදි වූ කලපුවල බොහෝවිට ජීර්ණ ද්‍රව්‍ය තැන්පත් විය. සමහර අවස්ථාවන්හි දී වැලිපර බිඳී මුහුදු දිය ගලා ඒම නිසා සමහර කලපුවල සාගරික ද්‍රව්‍ය සහිත මැටි තැන්පත් විය.
සාමාන්‍යයෙන් ඕලන්දයේ, වෙරළබඩ තීරය, ඩෙල්ටා ප්‍රදේශය හා නැගෙනහිර උස්බිම් යන වශයෙන් ස්වාභාවික පෙදෙස් තුනක් වෙන්කර දැක්විය හැකිය. බෙල්ජියානු දේශසීමාවේ සිට පහළ රයින් මෝය දක්වා වෙරළබඩ තීරය බොහෝ පුනීල මෝයවලින් යුක්තය. එමෙන් ම මෙම මෝයවල් නිසා කඩකඩ වී ගිය දූපත් රාශියක් ද එහි වේ. වගුරු බිම්, වැලිපර ආදියෙන් යුත් මෙහි බොහෝ කොටස් මුහුදට යටවීම වැළැක්වීම උදෙසා වේලි ඉදිකර තිබේ. හුක් ඔෆ් හොලන්ඩ් නම් ස්ථානයේ සිට ඩෙන් හෙල්ඩර් දක්වා වෙරළ කඩතොලු රහිතය. මෙම වෙරළකරය අද්දර අභ්‍යන්තර බිම් පෙදෙස් ද මුහුදු මට්ටමට පහත් හෙයින් වේලි ආදිය යොදා ආරක්ෂාකර තිබේ. වගුරු බිම් ගොඩකර සකස්කර ගන්නා ලද ගොඩබිම් හෙවත් පෝල්ඩර (Polder) ප්‍රදේශ මෙම කොටසෙහි බහුලය. දිරාගිය ද්‍රව්‍යයන්ගෙන් සැදි භූමියෙන් යුත් මෙම පෙදෙස ගොවිතැන් සඳහා ඉතා යෝග්‍යය. උතුරු ඕලන්දයේ ඩෙන් හෙල්ඩර් නම් ස්ථානයට ඔබ්බෙහි ඊශානදිග බලා වක්‍රාකාරව විහිදී ගිය දූපත් පන්තිය ෆ්රිෂන් දූපත් නමි. ටෙක්සල්, විලීලාන්ට්, ටර්ස්කෙලිං, ආමලාන්ට් ආදිය මෙම දූපත් පන්තියෙහි ප්‍රධාන දූපත්ය. මෙම දූපත්වලින් ගිනිකොන දෙස රට අභ්‍යන්තරයට වාඩන් සේ හා සයිඩර් සේ යන මුහුදු කොටස් විහිදියේය. 1932 දී ඇෆ්ස්ලුයිට් ඩයිකය (අයිසල්මේර් වේල්ල) ඉදිකිරීමෙන් පසු වාඩන් සේ මුහුද සයිඩර් සේ මුහුදින් වෙන් විය. සයිඩර් සේ මුහුදු පෙදෙසේ ඉතා විශාල කොටසක දිය සිඳවා පෝල්ඩර් බිම් සකසා ඇත. ඕලන්දයේ ෆ්රීස්ලන්ඩ් හා ග්රෝනිංගන් පළාත්වල වෙරළකරයේ ද හැකි සෑම තන්හි ම පෝල්ඩර බිම සකසා ඇත.
මධ්‍යම ඕලන්ද ප්‍රදේශය ප්‍රධාන වශයෙන් රයින්ගංගාව හා එහි අපශාඛාවන් වන වාල්, නේඩර් (පහළ) රයින්, අයිසල් ආදි ගංගා හා ම්යුස් ආදි ගංගා ආශ්‍රිතව වූ දියළු තැනිවලින් සෑදී ඇත. මෙම ඩෙල්ටා තැනි ඔස්සේ දඟර ගැසෙමින් ඉතා සෙමින් ගලා යන මෙම ගංගා මගින් තැන්පත් වන දියළු පස් ද බොහෝය. ග්‍රීෂ්ම ඍතුවේ දී හිම දියවීම නිසා ගංගා ජලය වැඩි වන හෙයින් ගංගා දෙගොඩතලා පැතිරී යාම වැළැක්වීම උදෙසා සමහර තන්හි වේලි ඉදිකර ඇත. රයින් ගඟෙන් උතුරු දිග තැනි ප්‍රදේශය ප්ලයිස්ටොසීන අයිස් ඛාදනයට භාජන වී ඇත.
දළ වශයෙන් ඕලන්දයේ නැගෙනහිර දිග පෙදෙස් වෙරළකර හා මධ්‍යම ප්‍රදේශයන්ට වඩා උස්ය. මෙම උස්බිම් ප්‍රධාන වශයෙන් වැලි හා ජීර්ණ වූ ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇත. උතුරේ ෆ්රීස්ලන්ඩ් හා ග්රෝනිංගන් පළාත්වල මුහුදු මට්ටමේ සිට අඩි 40-100ක් පමණ වූ හෙල්බිම් ඇත. වඩාත් උස්ව පිහිටා ඇත්තේ මොරේන කඳුය. සයිඩර් මුහුදට දකුණෙහි යූට්රෙක්ට් හා ගෙල්ඩර්ලැන්ඩ් ප්‍රදේශ ඔස්සේ පහළ-රයින් නිම්නය දෙසට විහිදි මොරේන කඳු කීපයක් ම ඇත. මෙම කඳුවල උතුරු කොටස මුහුදු මට්ටමේ සිට අඩි 200ක් පමණ උස් වේ. වෙල්යුව කඳුවැටියේ අඩි 350 දක්වා උස් වූ මොරේන කඳු ඇත.
ඕලන්දයේ ඉතා ම උස් ප්‍රදේශය දකුණු ලිම්බ’ග් සානුවය. ඛටිකාමය පාෂාණයෙන් සැදි මෙම උස්බිම්හි දකුණු කොටස් මුහුදු මට්ටමේ සිට අඩි 1,000ක් පමණ දක්වා උසය. මෙම සානු ප්‍රදේශයේ වැඩි කොටස මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසය. මේ ඔස්සේ ගලා බස්නා ගංගා, කඳුරු ආදිය ද රාශියකි. අංගාරධර මණ්ඩලීය ගල්අඟුරු නිධි මතුපිටට සමීපව ඇති හෙයින් මෙහි ආකර කර්මාන්තය දියුණුව ඇත.
දේශගුණය
යුරෝපා මහාද්වීපයෙහි බටහිර වෙරළබඩ පිහිටි ඕලන්දයට උතුරු ශිත සෞම්‍ය කලාපීය බටහිර සුළං ලැබෙන හෙයින් එහි දේශගුණය කෙරෙහි සාගරික බලපෑම නිරතුරුව ම ඇති වේ. ඕලන්දයේ ශීත ඍතුව බොහෝවිට දිය මිදෙන තරම් ම ශීත වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී සාමාන්‍ය උෂ්ණත්වය පැ. 63°ක් පමණ වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 22-32ක් පමණ වේ. ජූලි-සැප්තැම්බර් වර්ෂාව වඩාත් බහුල කාලය වේ. ඕලන්දයේ ඊශාන දිග පළාත් හා දකුණෙහි ලිම්බ’ග් උස්බිම් ද වැසිපල වඩාත් බහුල ප්‍රදේශයෝය. ශීත ඍතුව තද සුළං සහිත වූ ද මීදුම හා ධූමිකා බහුල වූ ද අඳුරු කාලයකි. ග්‍රීෂ්ම ඍතුවේ දී වුව ද පැහැදිලි කාලගුණය සහිත දවස් වැඩිපුර නැත.
ස්වාභාවික වෘක්ෂලතා
ඕලන්දයේ ස්වාභාවික වෘක්ෂලතා ඉතිරි වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. නැගෙනහිර දිග උස්බිම්හි ඕක්, බීච් හා පයින් වර්ගයේ ශාක සහිත වනාන්තර විය. දැනට මෙම ප්‍රදේශයේ බොහෝ තන්හි ලඳු කැළෑ ඇත. දෙණි බිම්වල මානෙල් වර්ගයේ පැළෑටි හා පන්වර්ග ආදි ජලාශ්‍රිත ශාක වර්ග වඩාත් බහුල වේ. වැලි සහිත ප්‍රදේශයන්හි මැරම් (marram), සී ලයිම් තණ (sea lyme grass), හා තයිම් (thyme) ආදි ශාක බහුලව වැවේ. වෙරළ අද්දර මෙන් ම විල් ගංගා ආදිය අද්දර ද දියළු පස් ගොඩ වී භූමිය සෑදීමට අනුබල දීම උදෙසා මුහුදු ඇස්ටර් (sea aster), මුහුදු ලැවෙන්ඩර් (sea lavender) ආදි ශාක වවනු ලැබේ.
ආර්ථික කටයුතු
17 වැනි සියවසේ දී ඕලන්දය යුරෝපයේ ඉතා ම ප්‍රබල වෙළඳ රාජ්‍යය ලෙස හැඳින්වීමට පුළුවන් විය. පසු කාලයන්හි දී වෙනත් යුරෝපීය රාජ්‍යයන්ට දේශපාලන බලය මෙන් ම වෙළඳ බලයෙහි ප්‍රමුඛත්වය හිමි වුව ද වාණිජ ව්‍යාපාරික හා වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ඕලන්දයේ වැදගත්කම අඩු නොවීය. භූගෝලීය පිහිටීම නිසා ම ඕලන්දය යුරෝපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වී ඇත. දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ඕලන්දයේ ආර්ථික හා ප්‍රවාහණ කටයුතු බොහෝ දුරට විනාශ වූ නමුත් ඉන් පසු කාලයේ දී කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත හා නාවික කටයුතු ඇතුළත් ප්‍රවාහණ කටයුතු පුනරුත්ථාපනය කර ඇතිවා පමණක් නොව වඩාත් දියුණු කර ද තිබේ.
කෘෂිකර්මාන්තය
ඕලන්දයේ කෘෂිකර්මාන්ත දියුණුව ක්රමානුකූල කෘෂිකාර්මික ව්‍යාපාරයන්හි පමණක් නොව ඕලන්ද ජනයාගේ ඉංජිනේරු ශිල්පීය දක්ෂතාවෙහි ද ප්රතිඵලයකි. ශතවර්ෂ කීපයක් මුළුල්ලේ ක්‍රමයෙන් ගොඩකර අස්වැද්දීමට පිළියෙළ කරගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් ඕලන්දයේ ඇත. මෙම ගොවිබිම්වල සරුබව රැකගැනීම උදෙසා ස්වාභාවික පෝර මෙන් ම රසායනික පෝර ද්‍රව්‍ය ද බෙහෙවින් යොදනු ලැබේ. ඕලන්දයේ කෘෂිකර්මය සඳහා යොදා ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 2,267,244ක් (1964) පමණ වේ. මෙයින් හෙක්ටෙයාර් 12,188ක් පමණ විශාල වතු සඳහා යොදා ඇත. සෙසු බිම්, තණකොළ, ක්ෂේත්‍ර බෝග, ගෙවතු බෝග, මල්අල තවාන් හා මල් වැවීම සඳහා යොදා ඇත. ඕලන්දයේ ගොවිපළවල් සාමාන්‍යයෙන් කුඩාය. අක්කර 125කට වඩා විශාල වනුයේ එහි ගොවිපළවලින් 1%ක් පමණි. බොහෝ ගොවිපළවල ගොවිතැන් කටයුතු සමඟ ම සතුන් ඇති කිරීම ද දියුණුව කෙරේ.
ඕලන්දයේ වගා කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍ර බෝග තිරිඟු, රයි, බාර්ලි, ඕට්, බෝංචි වර්ග, ෆ්ලැක්ස් හණ, අර්තාපල් හා සීනි බීට්ය. ග්රෝනිංගන්, සීලන්ඩ්, උතුරු හා දකුණු ඕලන්දය තිරිඟු වගාවට ද බ්රබන්ට්, ඩ්රෙන්ට, උතුරු ලිම්බ’ග් හා ඕවර්අයිසල් රයි හා ඕට් වගාවට ද විශේෂ වූ ප්‍රදේශයෝය. ක්රමානුකූල ගොවිතැන් ක්‍රම අනුගමනය කරනු ලබන හෙයින් ඕලන්දයේ ධාන්‍ය අස්වැන්න ඉතා සරුය. ඕලන්දයේ වගා කෙරෙන අර්තාපල් මිනිසුන්ගේ පරිභෝගය සඳහා මෙන් ම සත්ව ආහාර සඳහා ද යොදනු ලැබේ. පොපි, විකරි, හෙම්ප්, ෆ්ලැක්ස් හණ ආදිය ක්ෂේත්‍ර බෝග වශයෙන් වැදගත් වෙනත් බෝගය.
විශේෂයෙන් ම උතුරු හා දකුණු ඕලන්දයේ එළවළු හා පලතුරු වගාවන්ට මුල් තැන් දුන් ගෙවතු බොහෝ වේ. අවට අධික ජනගහනයක් ඇති කාර්මික හා නාගරික මධ්‍යස්ථානයන්ට අලුත් එළවළු, පලතුරු ආදිය සැපයීමට හැකිවීම මෙම වගාවන්ගේ දියුණුවට හේතු වී ඇත.
මල්වැවීම ඕලන්දයේ කෘෂිකර්මයෙහි විශේෂ ලක්ෂණයකි. විදේශීය ආදායම් මාර්ගයක් වශයෙන් මල්වැවීම මෙහි දියුණු වූයේ 1935න් පමණ පසුව යැයි කිව හැකිය. 1964 දී හෙක්ටෙයාර් 1,818ක් පමණ වූ බිම් පෙදෙස් මල්වැවීම සඳහා යොදා තිබිණ. මෙය, මල්අල ලබා ගැනීම පිණිස වූ මල්වතු හෙක්ටෙයාර් 12,589කට පමණ අමතරවය. තව ද එම වර්ෂයේ දී මල් තවාන් සඳහා තවත් හෙක්ටෙයාර් 3,274ක් පමණ වෙන් වී තිබිණ. හේග් නගර ප්‍රදේශයේ සිට හාර්ලම් නගරයෙනුත් ඔබ්බට වෙරළ අයිනේ වැලිබිම් පෙදෙස් මල්අල වැවීම සඳහා විශේෂයෙන් වෙන් වී ඇත. ඇම්ස්ටර්ඩෑම් නගරය අවට රෝස හා කානේෂන් මල්වර්ග සඳහා විශේෂයෙන් වෙන් වූ ප්‍රදේශ ඇත. ට්යුලිප් මල් වැවීම ගැන ඕලන්දය ලෝක ප්‍රසිද්ධය. මල් පිපෙන කාලයේ දී ඒ නැරඹීමට ම ඕලන්දයට ඇදෙන විදේශ සංචාරකයෝ බොහෝය. ට්යුලිප් අල ද ලෝක වෙළඳපොළට ඇතුළත් වන වටිනා නිර්යාත ද්‍රව්‍යයකි.
ගවයන් ඇති කිරීම හා කිරි පට්ටි පාලනය සම්බන්ධයෙන් යුරෝපීය රටවල් අතුරෙන් ඕලන්දය දෙවැනි වනුයේ ස්විට්සර්ලන්තයට පමණ යැයි කිව හැකිය. ඕලන්දයේ ෆ්රීෂන්-හෝල්ස්ටයින් හා ග්රෝනිංගන් ගව වර්ග කිරිහරක් වශයෙන් ඉස්තරම් ගණයට වැටෙත්. විශේෂයෙන් ම උතුරු හා දකුණු ඕලන්දයේ පෝල්ඩර් බිම්වල ද බටහිර යූට්රෙක්ට්හි අලුතින් අස්වැද්දූ ඉඩම්වල ද සරුවට තණ වවා ඇති හෙයින් මේවායේ ගව පාලනය ඉතා දියුණු වී ඇත. ෆ්රීස්ලන්ඩ් ප්‍රදේශයේ කුඩා ගොවිපළවල් ගවයන් බෝකිරීම හා මස් පිණිස ගවයන් ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂ වේ. 1965 දී ඕලන්දයේ ගව සංඛ්‍යාව තිස් අට ලක්ෂයක් පමණ විය. සංඛ්‍යා වශයෙන් මීළඟට පිළිවෙළින් වැදගත් වනුයේ ඌරන්, බැටළුවන් හා අශ්වයන්ය. විශේෂයෙන් ම තණබිම් සඳහා යෝග්‍ය නොවූ නිසරු පස් සහිත ප්‍රදේශයන්හි කුකුළන් ඇති කිරීම දියුණු කර තිබේ.
1964 වර්ෂයේ දී රජයේ පාලනය යටතෙහි පමණක් බටර් මෙ.ටො. 88,394ක් ද කේජු මෙ.ටො. 202,809ක් ද නිපදවනු ලැබීය. කිරි, කේජු හා බටර් ද නන් අයුරින් සකස් කළ හරක්මස් හා ඌරුමස් ද බිත්තර ද ඕලන්දයේ ප්‍රධාන නිර්යාත ද්‍රව්‍ය අතර වේ.
උතුරු මුහුද අද්දර පිහිටි ඕලන්දයෙහි අතීතයේ සිට ම ධීවර කර්මාන්තය දියුණුවීම පුදුමයක් නොවේ. මධ්‍යතන යුගයේ සිට ම හෙරිං මසුන් ඇල්ලීම ඕලන්දයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. අවට යුරෝපීය රටවල ධීවර කර්මාන්ත දියුණුවීම ද යුද්ධ ආදිය ද ඕලන්දයේ ධීවර කර්මාන්තයේ දියුණුවට බාධාකාරී විය. විශේෂයෙන් ම විසිවැනි සියවස තුළ දී ඕලන්දය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ධීවර නැව් හමුදාවක් ඇතිකරලීමට අපොහොසත් වීම දියඹ මුහුදේ මසුන් ඇල්ලීම අඩපණ වීමට හේතු විය. අයිමොයිඩන්, ස්කේවනිංගන් සහ ව්ලාර්ඩිංගන් ප්‍රධාන ධීවර වරායෝය. වෙරළාසන්නයන්හි කාවාටි ආදිය ඇල්ලීම විශේෂ වේ. සීලන්ඩ් වෙරළ අයිනේ කාවාටි බෝ කිරීම සඳහා විශේෂ පහසුකම් ද සලසා ඇත. ගංගාවන්හි සැමන් මසුන් ඇල්ලීම ද තරමක් දියුණුය. 1964 දී උතුරු මුහුදෙන් මාළු ටොන් 185,650ක ප්‍රමාණයක් ගොඩබා ගන්නා ලදි. එම වර්ෂයේ දී කාවාටි ටොන් 557ක් පමණ ගොඩබා ඇත.
ආකර කර්මාන්තය
ඕලන්දයේ ඛනිජ සම්පත් ඉතා ම සීමා සහිතය. මෙහි ඛනිජ අතුරෙන් ප්රමුඛ වනුයේ ගල් අඟුරුය. මෙම නිධි ප්‍රධාන වශයෙන් පිහිටා ඇත්තේ ලිම්බ’ග් ප්රදේශයෙහිය. 1964 දී මෙහි ගල්අඟුරු ආකර දොළහක් විය. එම වර්ෂයේ දී ගල් අඟුරු ටොන් 12,000ක් පමණ හාරා ගනු ලැබීය. පේල් දිස්ත්‍රික්කයෙහි ද උතුරු බ්‍රබන්ට්හි හා වින්ටර්ස්න්වයික් ප්‍රදේශයෙහි ද කුඩා ආකර ඇත. කාර්මික වශයෙන් ඕලන්දයේ ආකර කර්මාන්තය ඉතා දියුණුය. ස්කූන්බීක් ප්රමුඛ ඛනිජ තෙල් ආකර කීපයක් ද ඕලන්දයේ තිබේ. 1965 දී අමු ඛනිජ තෙල් ටොන් 2,395ක් පමණ කැණගනු ලැබීය. සිය නිෂ්පාදන පමණක් නොව පිටරටවලින් ගෙන්වා ගන්නා අමු තෙල් ද පිරිපහදු කිරීමේ කර්මාන්තය ඕලන්දයේ දියුණුය.
උතුරු මුහුදේ දකුණු කොටස හරහා විහිදි විශාල භූමි වායු නිධියෙන් කොටසක් ඕලන්දය ඔස්සේ ද පැතිර ඇත. 1965 දී ඕලන්දයේ භූමි වායු නිපැයුම ඝන මීටර් 1,621,000ක් විය. රටේ අභ්‍යන්තරයට භූමි වායුව සැපයීම උදෙසා ප්‍රධාන නළ මාර්ග හයක් පමණ ඇත.
නිෂ්පාදන කර්මාන්ත
කෘෂිකර්මාන්තය හා ගව පාලනය ඉතා දියුණු හෙයින් ඒ මත ගොඩනැඟුණ නිෂ්පාදන කර්මාන්ත රාශියක් ම ඕලන්දයේ ඇත. කිරි පිටි, උකුකිරි ආදි කිරි ආහාර, වෙඬරු, කේජු, මාජරින් ආදි ද්‍රව්‍ය සකස් කිරීම ද මස් මාළු කල් තබාගත හැකි අයුරින් සකස් කිරීම හා ටින්වල ඇහිරීම ආදි කර්මාන්ත ද සීනි, යීස්ට් ආදි ද්‍රව්‍ය නිෂ්පාදනය ද මේ අතුරෙහි වැදගත් වේ.
ඕලන්දයේ ඛනිජ නිධි දුලබ නමුත් නොයෙකුත් ලෝහ නිෂ්පාදන කර්මාන්ත ද නැව් සෑදීම ආදි ඉංජිනේරු කර්මාන්ත ද දියුණුය. බයිසිකල් හා වෙනත් වාහන, මඩ අදින යන්ත්‍ර, දොඹකර ආදිය මෙහි නිපදවනු ලැබේ. යූට්රෙක්ට්, අයිමොයිඩන් හා ඇම්ස්ටර්ඩෑම් මෙම කර්මාන්තවල ප්‍රධාන මධ්‍යස්ථානය. අයින්ට්හෝවන්හි පිලිප්ස් විදුලි උපකරණ නිෂ්පාදන ස්ථානය ඕලන්දයේ ඉතා ම විශාල කර්මාන්ත මධ්‍යස්ථානයන්ගෙන් එකකි.
බෙලෙක්, තුත්තනාගම් ආදිය පිරිපහදු කිරීමේ කර්මාන්තශාලා ද මෙහි ඇත.
බොකෙලෝහි හා වින්ටර්ස්වයික්හි ලුණු ආකර කර්මාන්තය පදනම් කරගෙන දියුණු වූ විශාල රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තයක් ඕලන්දයේ තිබේ. බෙහෙත් ද්‍රව්‍ය, පෝර, කෘෂිකර්මය සහ සත්වපාලනය සඳහා අවශ්‍ය නොයෙකුත් රසායන ද්‍රව්‍ය ආදිය මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. ඇම්ස්ටර්ඩෑම්, විලාර්ඩිංගන්, පේරනිස්, යූට්රෙක්ට්, ස්ලොයිස්කිල්, අයිමොයිඩන් හා බොකෙලෝ රසායන කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානය.
අතීතයේ දී ඕලන්දයේ ලෝම හා ලිනන් රෙදි විවීමේ කර්මාන්ත ගෘහකර්මාන්ත වශයෙන් දියුණුව පැවති හෙයින් පසුකාලයන්හි දී මේවා නවීන නිෂ්පාදන කර්මාන්ත වශයෙන් හැඩගැසිණ. කපු, ලොම්, කෘත්‍රිම කෙඳි වර්ග යන මේවායින් රෙදි විවීම ඕලන්දයේ නවීන නිෂ්පාදන කර්මාන්ත අතුරෙහි වැදගත් වේ. මෙහි මස් කර්මාන්තය නිසා සම් බහුලව ලැබෙන හෙයින් සම් පදම් කිරීම ද පාවහන් ආදි සම්භාණ්ඩ නිෂ්පාදනය ද දියුණුය. පිදුරු හා දැව අමු ද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා කඩදාසි කර්මාන්තයෙන් ඕලන්දයට විශාල විදේශීය ආදායමක් උපයා ගැනීමට ද හැකි වී තිබේ.
නැව් සෑදීම ඕලන්දයේ ඉපැරණි කර්මාන්තයන්ගෙන් එකකි. විශේෂයෙන් ම රොටර්ඩෑම් ගං තොටින් පහළ රයින් ගඟබඩ ද ඇම්ස්ටර්ඩෑම්, ෆ්ලෂිං හා ග්රෝනිංගන් යන වරායවල් ද නැව් සෑදීමේ ඉතා ම දියුණු මධ්යස්ථානයන්ය.
ආර්ථික දියුණුව
යුරෝපා ආර්ථික හවුලේ සාමාජික රාජ්‍යයක් වශයෙන් එහි ආරම්භයේ (1957) සිට ම කටයුතු කරන නෙදර්ලන්තයේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතය රුපියල් කෝටි 18,400කි. නිර්යාත අගය රු. කෝටි 6,880කි. ප්‍රතිශීර්ෂ දළ ජාතික නිෂ්පාදිතය රු. 12,600කි. (බ්‍රිතාන්‍යයේ ප්‍ර.ද.ජා.නි. රු.10,020කි.) 1970 දී පිටරට යවන ලද දැයින් සියේට 62ක් ම යුරෝපා ආර්ථික හවුලේ සාමාජික රටවලට යවන ලද අතර ආයාතවලින් 56%ක් ම ලැබුණේ එම රටවලින්ය.
නෙදර්ලන්තයේ මුදල් ඒකකය ගුල්ඩන් හෙවත් ගිල්ඩර් නමින් දනු ලැබේ. ගුල්ඩන් 3.62ක් ඩොලරයටත් 8·69ක් රන්පවුමටත් සමානය.
ජනගහනය
ලෝකයේ අධික ජනාකීර්ණත්වයකින් යුත් රටවලින් එකකි ඕලන්දය. 1971 ගණන් බැලීම අනුව මෙහි ජනගහනය 13,119,430ක් විය; වර්ග සැතපුමට 1,000කට ආසන්නය. දකුණු ඕලන්ද පළාත, උතුරු ඕලන්ද පළාතේ දකුණ හා යූට්රෙක්ට් පළාත ගනසැරේට ජනගහනය ඇති ප්රදේශයි. ඕලන්දයේ රාජ්‍ය අගනුවර හේග් (1970 දී 679,032) ය. අගනුවර හා විශාලතම නගරය ඇම්ස්ටර්ඩෑම් (1970 දී 820,406) ය. ප්‍රධාන වරාය රොටර්ඩෑම් (1968 දී පිටනුවර ද සමග 1,056,038) ය. රොටර්ඩෑම් අද ලෝකයේ ඉතා ම දියුණු වරාය හැටියට සැලකේ. මෙහි වෙනත් විශාල නුවරවල් නම් යූට්රෙක්ට් (441,459), හාර්ලම් (239,500), ලයිඩන් (157,877), හිල්වර්සම් (116,869) ආදියයි.
ජනතාවෙන් 44%ක් ප්‍රොතෙස්තන්ත ක්රිස්තියානිහුය. 39%ක් කතෝලිකයෝය.
වයස 6-15 අතර ළමයින්ට අධ්‍යාපනය අනිවාර්යය. නගරසභා මගින් පැවැත්වෙන රාජ්‍ය ප්‍රාථමික පාඨශාලා ද යම් යම් සංවිධාන මගින් පිහිටුවන ලද ස්වේච්ඡා පාඨශාලා ද සම්පූර්ණයෙන් ම වාගේ නගර සභා මගින් නඩත්තු වේ. ඕලන්දයේ විශ්වවිද්‍යාල 9කි. 1968-1969 කාලයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව 78,000ක් පමණ විය. 1970 දී විශ්වවිද්‍යාල සිසුන් ද ඇතුළුව උසස් අධ්‍යායනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 182,044ක් විය.
ආණ්ඩුව
නෙදර්ලන්තයේ පවත්නේ ව්‍යවස්ථානුකූල සසීම රාජාණ්ඩුවකි. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක අංශය කිරීටය හෙවත් රැජින හා ඇමති මණ්ඩලය ද ස්ටේට්ස් ජනරාලය ද අත වේ. ස්ටේට්ස් ජනරාලය මණ්ඩල 2කින් සැදි ඇත. නව පනත් ඉදිරිපත් කෙරෙන්නේ දෙවන මණ්ඩලය මගිනි. එය සම්මත කළ පනත්වලට ප්‍රථම මණ්ඩලයේ ද කැමැත්ත ලැබුණු පසු රැජිනගේ අනුමැතිය පිණිස යවනු ලැබේ. ප්‍රථම මණ්ඩලයට දෙවන මණ්ඩලය ඉදිරිපත් කරන පනත් ප්‍රතික්ෂේප කරනු හෝ ස්ථිර කරනු මිස වෙනස් කරනු නොහැක.
නෙදර්ලන්තයේ වර්තමාන රාජ්‍ය නායිකාව ජුලියානා බිසවය. බර්න්හාඩ් කුමරා ඇගේ වල්ලභයායි. ඇයගේ රාජධානිය නෙදර්ලන්තය, සුරිනාම් හා නෙදර්ලන්ත ඇන්ට්ලිස් යන ස්වායත්ත කොටස් තුනකින් සමන්විතය.
ඕලන්දය (නෙදර්ලන්තය) පහත දැක්වෙන ප්‍රදේශ 11න් සෑදි ඇත. එක් එක් ප්‍රදේශයකට වෙන ම ව්‍යවස්ථාදායකයක් වේ. ප්‍රදේශයේ ආණ්ඩුකාරතැන පරමාධිපති (රැජින)ගේ කොමසාරිස් වශයෙන් හැඳින්වේ. විධායකය රාජකීය කොමසාරිස්වරයා සහ සාමාජිකවරුන් සදෙනකුගෙන් සෑදී ඇත.
ඉතිහාසය
ඕලන්දයේ හෙවත් නෙදර්ලන්තයේ මුල් කාලයේ ඉතිහාසය ඕලන්දය, බෙල්ජියම, ලක්සම්බ’ග් යන තුන් ප්‍රදේශයෙන් සැදි රයින් ඩෙල්ටාව බද පහත් භූමි ප්‍රදේශයේ ඉතිහාසය හා බැඳී පවතී.
අවුරුදු 2000කට පමණ පෙර ජූලියස් සීසර් මෙම පහත් ප්‍රදේශය හෙවත් නෙදර්ලන්තය ආක්‍රමණය කොට එය රෝම අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කෙළේය. එවක එපෙදෙස පදිංචිව සිටියේ කලින් එහි සිටි කෙල්ටික්වරුන් පලවා හැර එය සිය වාස භූමිය කොටගත් ෆ්රිෂානු, බතාවියානු වැනි ජර්මනික ගෝත්‍රවලට අයත් ජනයායි. රෝමවරු රයින් ගඟෙන් දකුණු දිග සිය බලය තහවුරු කොටගෙන ජනපද පිහිටුවා ගනිමින් ද මංමාවත් තනා ගනිමින් ද වෙළහෙළඳාම් කරමින් ද විසුවාහු නෙදර්ලන්තයේ පශ්චාත් ශිෂ්ටාචාරය කෙරෙහි බෙහෙවින් බලපෑ පාලනාවශිෂ්ට ශේෂ කළහ. රෝම යුගයේ අවසාන සමයේ දී මෙහි ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත විය. ක්‍රි.ව. 500 වන විට ක්ලෝවිස් යටතේ සේලියන් ෆ්රැන්ක්වරු නෙදර්ලන්තයේ ප්‍රධාන දේශපාලන බලාධිකාරීන් බවට පත්වූහ. ක්ලෝවිස් ද ක්‍රිස්තු ධර්මය පිළිගැනීම එරට එම ධර්මයේ ව්‍යාප්තියට රුකුලක් විය. ක්ලෝවිස්ගෙන් පසු 724-814 කාලයේ ෆ්රෑන්ක් රජ පදවිය දැරූ ෂාර්ල්මාං අධිරාජයා (800-814) දක්වා ඩච් (නෙදර්ලන්ත) ඉතිහාසය බෙහෙවින් අඳුරෙන් වැසී ඇත. ෂාර්ල්මාං උතුරු මුහුද හා මධ්‍යධරණී මුහුද අතර මුළු ප්‍රදේශය එක් ප්‍රබල රාජ්‍යයක් වශයෙන් එක්සත් කෙළේය. ඔහුගෙන් පසු ක්‍රි.ව. 843 දී ව’ඩන් ගිවිසුමෙන් එම අධිරාජ්‍යය කොටස් 3කට කැඩී වෙන්වීමත් සමග නෙදර්ලන්ත ඉතිහාසයේ මුල් යුගය අවසන් වේ.
මධ්‍යතන යුගයේ මුල් කාලයේ දී එරට අවුල්වියවුල්වලින් ගහනව පැවතිය ද ක්‍රමයෙන් කුඩා දේශපාලන ඒකක පහළව ඒවා රාජ්‍ය බවට තහවුරු විය. මේ අතින් දකුණු ප්‍රදේශය වත්මන් බෙල්ජියමට අයත් පෙදෙසට වඩා පුරෝගාමී විය. ෆ්ලාන්ඩර්ස් කවුන්ට් ප්‍රදේශය, බ්රබන්ට් ඈපා ප්‍රදේශය හා ලිම්බ’ග් ඈපා ප්‍රදේශය ඒවායේ රදල නින්දහිමිවරුන් විසින් බොහෝදුරට ශුද්ධ රෝම අධිරාජ්‍යයෙන් නිදහස් වූ ප්‍රදේශ රාජ්‍ය බවට පත් කර ගන්නා ලදි. උතුරේ හොලන්ඩ් ප්‍රදේශය හා හෙල්ඩර් කවුන්ට් ප්‍රදේශය ද ක්‍රි.ව. 922 සිට 15 වන සියවසේ මුල් කාලය දක්වා ආදිපාදයන් යටතේ පාලනය වූ අතර බිෂොප්වරුන් විසින් යූට්රෙක්ට් පාලනය කරන ලදි. 12 වන සියවස වන විට වෙළහෙළඳාම, රෙදි විවීමාදි කර්මාන්ත අතින් ෆ්ලාන්ඩර්ස් හා ට්රබන්ට් වැනි නගර දියුණුවට පත්ව තිබිණි. ෆ්ලාන්ඩර්ස් මේ කාලයේ සිට ම යුරෝපයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැත්තේය. උතුරේ නගර එවැනි දියුණුවක් දැක්වූයේ ඉන් කලක් ගත වූ පසුවය. දියුණු නගරවල වැසියෝ පෙහෙරන්, සොම්මරුන්, කම්මල්කරුවන්, රෙදි සායම් කරන්නන් ආදි වශයෙන් වෙළඳ ශ්‍රේණි පිහිටුවා ගෙන සංවිධානව සිටියාහු රදලවරුන්ගේ අත්තනෝමතික පාලනයෙන් ද බොහෝ දුරට මිදී සිටියහ. නාගරිකයෝ දේශපාලන බලය පතා රදලයන් හා පූජක පක්ෂ සමඟ එක්වූහ. මේ නිසා නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලවල වැඩිවීමක් ද දැකිය හැකි විය. මේ අතර ම දෙමාපිය උරුමයෙන් සිහසුන හිමිවීමේ මූලධර්මය නිසා මෙම ප්‍රදේශවල පාලක පරම්පරා සම්බන්ධකම් වර්ධනය විය.
1382 දී ෆ්ලාන්ඩර්ස්හි අවසාන රදල පාලකයා වූ ලුවී II ද මාල් (de Male) නමැත්තාට බ’ගන්ඩි, ආර්ත්වා යන ප්‍රදේශ සිය මව වූ ප්‍රංසයේ මාග්‍රට් කෙරෙන් උරුම විය. දෙවසකින් ලුවී මිය ගියෙන් මේ සියලු පෙදෙස් ඔහුගේ දියණියන් වූ 1369 බ’ගන්ඩිහි ආදිපාද පිලිප් ද බෝල්ඩ් හා විවා වුණු මාග්‍රට් කුමරියට අයත් විය. 1384 දී බ’ගන්ඩි ඈපාවරයා සිය දේවියගෙන් අයත් වූ ප්‍රදේශවල පාලක පදවිය ලැබීය. පිලිප්ගේ අයිතිවාසිකම් ඔහු ඇවෑමෙන් ඔහුගේ පුතුන් තිදෙනා අතර බෙදී ගිය නමුත් වැඩිමල් පුත් ජෝන් ද පියර්ලස්ගේ පුත් පිලිප් ද ගුඩ් තමාට නෙදර්ලන්තයෙන් උරුම වූ භූමිය ටික කලකින් ම තෙගුණයකින් විශාල කොට ගැන්මෙහි සමත් විය. තම ඥාති සහෝදරාදීන් යටතේ පැවති හොලන්ට්, ෆ්රිෂානු ප්‍රදේශ, බ්රබන්ට් හා ලක්සම්බ’ග් යන ඈපා ප්‍රදේශ ඔහුගේ පාලනය යටතට පත් වූ අතර යූට්රෙක්ට්, කැම්බ්රේ ආදි බිෂොප් පාලිත ප්‍රදේශ තමාගේ ආරක්ෂාව යටතට ගැනීමට ද හේ සමත් විය. පිලිප් ද ගුඩ් යටතේ පාලනය වූ ප්‍රදේශ විෂයෙහි ශුද්ධ රෝම අධිරාජ්‍යය හෝ ජර්මන් රජවරුන් තම අධිකාර බලයක් දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා එම ප්‍රදේශ පූර්ණ නිදහස් රාජ්‍යයක තත්වයට ගෙන ඒමට 1447 දි යෝජනා කැරිණි. එහෙත් පිලිප් කවදාවත් රාජ තත්වය නොදැරීය. පිලිප්ගේ අවසාන කාලයේ දී (1464) බ’ගන්ඩියානු නෙදර්ලන්ත ප්‍රදේශවල නියෝජ්‍ය නායකයන්ගේ රැස්වීමක් කැඳවනු ලැබීය. නෙදර්ලන්ත ස්ටාටන්-කේනෙරාල් (ස්ටේට්ස්-ජනරාල්) ආයතනය පහළ වුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
පිලිප් ද ගුඩ් එකට ඈඳු ප්‍රදේශ රාජ්‍ය සමුදාය නොකැඩී නොබෙදී ඔහුගේ එක ම නීත්‍යනුකූල පුත්‍රයා වූ චාල්ස් ද බෝල්ඩ්හට අයත් විය. ඔහු එය තවදුරටත් විශාල කොට වඩාත් ස්ථාවර බවට පත් කෙළේය. එහෙත් 1477 දී නැන්සිහි යුද්ධ භූමියේ දී ඔහුට අත් වූ මරණය නිසා බ’ගන්ඩිහි ව්‍යාප්තිය නතර විය. ප්‍රංසයේ ලුවී XI තමන්ට අයත් නින්දභූමි ආපසු ඉල්ලා සිටියේය. ඈපා ප්‍රදේශ උරුම වූ මේරිහට ස්ටේට්ස්-ජනරාල් ආයතනයෙන් ද මුල් අවධියේ දී කරදර ඇති විය. එහෙත් පසුව හැප්ස්බර්ග් ප්‍රෙඩ්රික් III ශුද්ධ රෝම අධිරාජයාගේ පුත්‍ර ඕස්ට්‍රියානු මහාදිපාද මැක්සිමිලියන් හා ඇගේ විවාහය අනුමත කළ ස්ටේට්ස්-ජනරාලය ඇයට සහයෝගය දුන්නේය. 1477 දී මැක්සිමිලියන් හා විවාපත් ඈ 1482 දි මිය ගියෙන් එම ආදිපාද තෙම ඔවුන්ගේ පුත් පිලිප් ද හෑන්සම්ගේ රාජ ප්‍රතිනිධි වශයෙන් 1494 දක්වා කටයුතු කෙළේය. 1494 දක්වා කාලයේ දී මැක්සිමිලියන් හා ප්රංසය අතර කිහිප වරක් යුද සටන් ඇවිළී පැවතිය ද පිලිප් ද හෑන්සම්හට ප්‍රදේශ භාර දෙන විට සාමය හා අණසක තහවුරුව පැවතිණි.
1496 දී පිලිප් ඈපා ඇරගන්හි ෆර්ඩිනන්ඩ් II හා කැස්ටීල්හි ඉසබෙලා යන දෙදෙනාගේ දුහිතෘ කුමරිය සමග විවා වීමෙන් පසු එම රජ පවුලේ ඇති වූ මරණ නිසා 1500 දී ඔහු ස්පාඤ්ඤයේ දී රාජ්‍ය උරුමක්කාරයා බවට පත් විය. එහෙත් 1506 දී ඔහු හදිසියේ මිය ගියෙන් ඔහුගේ බ’ගන්ඩියානු හා ස්පාඤ්ඤ ප්‍රදේශ ඔහු දෙටු පුත් සාවුරුදු චාල්ස් (පසුව ශුද්ධ රෝම අධිරාජ චාල්ස් V) හට අයත් විය. ළාබාල චාල්ස් වෙනුවෙන් යළිත් මැක්සිමිලියන් රාජ ප්‍රතිනිධි වශයෙන් 1515 දක්වා කටයුතු කෙළේය. එම වසරේ නෙදර්ලන්ත භූමිවල පාලක පදවිය ලත් චාල්ස් 1520 දී කැස්ටීල් හා ඇරගන් ප්‍රදේශයන්හි රජබව ද ඕස්ට්‍රියානු රජ පවුලේ නායකත්වය ද ශුද්ධරෝම අධිරාජ පදවිය ද ලැබීය.
1555 දී චාල්ස් V බ්රසල්ස්හි දී පවත්වන ලද ස්ටේට්ස්–ජනරාල රැස්වීමක දී නෙදර්ලන්ත පාලක පදවියෙන් ඉල්ලා අස් වී එම පදවිය සිය පුත් පිලිප් හට පැවරීය. ස්පාඤ්ඤයේ පිලිප් II හැටියට 1556 දී සිංහාසනාරූඪ වූයේ මොහුය. පිලිප් නෙදර්ලන්ත ප්‍රදේශවල රාජ ප්‍රතිනිධි වශයෙන් පාර්මාහි ඈපාවරිය පත්කොට ස්පාඤ්ඤයට ආපසු යාමෙන් පසු එහි අර්බුද තත්වයක් ඇති විය. නෙදර්ලන්ත උතුරු ප්‍රදේශවල රෙපරමාදු නිකාය පහළ වීම කතෝලික පිලිප් නොඉවසීය.
රෙපරමාදු සභා ව්‍යාප්තිය මැඩලීමට ඉටාගෙන ක්‍රියා කළ ඔහු ඉතා දරුණු පුද්ගලයකු හැටියට නම ගොස් සිටි ස්පාඤ්ඤ සෙනෙවි අල්වාහි (අල්බාහි) ආදිපාදවරයා 1567 දී පාර්මාහි ආදිපාද දේවියගේ තැන ගෙන ආගම් ප්‍රතිසංස්කරණවාදීන් මර්දනය කිරීම සඳහා පත්කොට එවීය. අල්වා විගස ම භීෂණ පාලන සමයක් ඇති කෙළේය. එග්මොන්ට් හා හෝර්න් යන ආදිපාදවරුන්ට මරණ දඬුවම දුන් හෙතෙම ඔරෙන්ජ්හි විලියම් (විලියම් ද සයිලන්ට්) කුමරාට නෙදර්ලන්ත ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කෙළේය. අධර්මමර්දනාධිකරණය (The Inquisition) මගින් ද විශාල සංඛ්‍යාවක් මරණයට කැප කරනු ලැබූහ. මේ දරුණු ක්‍රියා නිසා බලවත් පීඩාවට පත් රෙපරමාදු ක්‍රිස්තියානි ලන්දේසි ජනයා ඔහුගේ පාලනයට විරුද්ධව නැඟී සිටියහ.
නිදහස් යුද්ධය
1568 දී විලියම් ද සයිලන්ට් කුමරාගේ නායකත්වයෙන් කැරලිකරුවෝ හයිලිගෙර්ලේ (Heiligerlee) නම් ස්ථානයේ දී අල්වාගේ සේනා පරදවා ජයක් ලත්හ. හොලන්ඩ් හා සීලන්ඩ් යන ප්‍රදේශවල සෑම නගරයක් ම වාගේ ක්‍රමයෙන් කැරලිකරුවන්ට එක් විය. සමුද්‍ර බලය අතින් බලසම්පන්නව පැවති මේ දෙපෙදෙස, දකුණු ප්‍රදේශවල රෙපරමාදු නිකායිකයන්හට ද අභය භූමියක් විය. ක්‍රමයෙන් අල්වාට සිය ප්‍රදේශ සෙමෙහි තබාගැනීම දුෂ්කර වන්නට විය. 1573 දී ඉතා අමාරුවෙන් ඔහු හාර්ලම් නගරය කැරලිකරුවන්ගෙන් මුදාගත් නමුත් එම වර්ෂයේ දී ම අල්ක්මාර් (Alkmaar) සටනින් කැරලිකරුවෝ ජය ගත්හ. අනතුරුව අල්වාගේ නාවික හමුදාව සයිඩර් සේහි දී පරදවන ලදි. 1573 දී මේ පරාජය නිසා රජුගේ ද අප්‍රසාදයට ලක්වූ අල්වා සදහට ම නෙදර්ලන්තයෙන් ඉවත්ව ගියේය. අල්වාගෙන් පසුව ඒ තැනට පත්ව ආ රෙකේසේන්ස්ගේ (Requesens) කාලයේ දී ද කැරලි සටන් දිගට ම පැවැත්තේය. 1576 දී ඔහු මිය යාමෙන් පසු, ඔහුගේ ස්පාඤ්ඤ භට හමුදා වැටුප් නොලැබීම නිසා කැරලි ගසා ඇන්ට්වර්ප් නුවර විනාශ කොට දැමූහ. ස්පාඤ්ඤ කෝපාග්නිය (the Spanish fury) නමින් මෙය හැඳින්වේ. 1576 දී ගෙන්ට්හි (Ghent) සාමකරණය මගින් නෙදර්ලන්ත ප්‍රදේශ පිලිප් IIගේ ස්වාධිපත්‍යය පිළිගත් අතර විදේශ (ස්පාඤ්ඤ) සේනා පිට කිරීම ද වඩා නිදහස් ආණ්ඩුවක් හා ආගමික සහනයක් ද ඉල්ලා සිටියහ. මේ අතර නෙදර්ලන්ත ප්‍රදේශවල නවපාලකයා වූ ඕස්ට්‍රියාවේ දොන් ජෝන් දකුණු ප්‍රදේශ කතෝලිකාගමට බැඳ තැබීමෙහි සමත් විය. මේ නිසා උතුරු ප්‍රදේශ පමණක් එක්ව වෙන ම යූට්රෙක්ට්හි ප්රකාශනය අත්සන් කොට නිදහස හා ආගමික නිදහස උදෙසා සටන් කිරීමට තීරණය කළහ. කොයිහැටිත් විලියම් ද සයිලන්ට් ප්‍රොතෙස්තන්ත, කතෝලික දෙපක්ෂය අතර භේදය උග්‍ර විය නොදී වැළැක්වීමට ක්‍රියා කළ නමුත් දොන් ජෝන්ගෙන් පසුව පාලක පදවියට පත් කර එවනු ලැබූ පාර්මාහි ආදිපාද ඇලෙසැන්ද්‍රෝ ෆාර්නේසේ (Farnese) කුමරා කතෝලික වලූන් ප්‍රදේශ තම පක්ෂයට නම්මවා ගැනීමෙහි සමත්විය. විලියම් හා ඔහුගේ සහෝදර නාසෝහි ජෝන් කුමරා ද තවදුරටත් ආගමික සමගිය සඳහා ක්‍රියා කළහ. ජෝන් කුමරාගේ මුල් වීමෙන් 1579 දී යූට්රෙක්ට්හි සංගමය ඇති කරන ලදි. පාර්මා ආදිපාදයා අත නොවූ කතෝලික ප්‍රදේශ හා ප්‍රොතෙස්තන්ත ප්‍රදේශ මෙයට අයත් වූ අතර පසුව ඇති වූ එක්සත් නෙදර්ලන්ත ජනරජය ඇතිවීමට එය මුල් විය. මේ අතර ස්පාඤ්ඤ බලයට විරුද්ධව ප්රංස සහාය පැතූ සංගමය 1581 දී පිලිප්ගේ ස්වාධිපත්‍යය ප්‍රතික්ෂේප කොට ප්රංස රජුගේ සහෝදර ඇන්ජූහි ඈපාවරයාට, එම බලය පැවරූ නමුත් කතෝලික එකුමරා කෙරෙහි බහුජන ප්‍රසාදයක් නොතිබිණි. ඔහු ද ස්ටේට්ස්-ජනරාලයේ උවදෙස් උඩ ව්‍යවස්ථාවන රජකු හැටියට ක්‍රියාකිරීමට නොකැමැති විය. දෙවසක් තුළ දී ඔහු ආපසු සිය රටට ගිය අතර 1584 දී විලියම් ද සයිලන්ට් කුමරු සාහසික මරණයට ගොදුරු වීමෙන් එම පක්ෂයට සිදු වූයේ බලවත් පාඩුවකි.
1585 දී පාර්මාහි ආදිපාදවරයා ඇන්ට්වර්ප් යටත් කරගත්තේය. මේ අතර නෙදර්ලන්තය එලිසබත් I බිසවගේ ආධාරය ලබා ගැන්මෙහි සමත් විය. එලිසබත් බිසව විසින් ඉංග්‍රීසි සේනාංකයක නායකත්වය දී එවන ලද ලෙස්ටර් (Leicester) ආදිපාදයාහට නෙදර්ලන්ත ප්‍රදේශවල ආණ්ඩුකාර පදවිය ද පවරන ලදි. එහෙත් ක්‍රමයෙන් ස්පාඤ්ඤ-නෙදර්ලන්ත වෙළඳාම සම්බන්ධයෙන් ඔහු ගත් තහනම් කිරීමේ පියවර උඩ ඇති වූ අර්බුදය නිසාත් යුද සෙනෙවියකු වශයෙන් අකාර්යක්ෂම වීම නිසාත් ඔහුට අස්ව යාමට සිදු විය.
ලෙස්ටර් සිද්ධියෙන් පසු තවදුරටත් අන් රටවල රාජ කුමාරවරුන්ගේ සහාය නොපැතූ නෙදර්ලන්ත උතුරු ප්‍රදේශ රාජාණ්ඩු ක්‍රමයක් පිහිටුවා ගැනීමේ අදහස අත්හළ බව පෙනේ. එහෙත් ආණ්ඩු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ජනරජයක් ප්‍රකාශ කිරීම හෝ නියම වශයෙන් කැරුණේ ද නැත. කොයිහැටිත් යූට්රෙක්ට් සංගමයේ ව්‍යවස්ථා පදනම හැටියට සැලකීමෙන් උතුරේ හොලන්ඩ් (හෝලන්තය), ගෙල්ඩර්ලන්තය, සීලන්තය, යූට්රෙක්ට්, ෆ්රීස්ලන්තය, ඕවර්අයිසල් හා ග්රෝනිංගන් යන සප්ත ප්‍රදේශයන්ගෙන් එක්සත් සන්ධීය ජනරජයක් 1588 දී උදාවිය. විලියම්ගේ පුත්‍ර රණශූර මොරිස් කුමරා හා ඕල්ඩන්බානෆෙල්ට් නම් රාජතන්ත්රඥයා යටතේ නිදහස් සටන නොනවත්වා ම ගෙන යන ලදි. 1588 දී ලන්දේසීන්ගේ ආධාරය ද ඇතිව ඉංග්‍රීසි නාවික හමුදාව ‘අනභිභවනීය’ ස්පාඤ්ඤ නාවික හමුදාව පැරදවීමත් මොරිස්ගේ යුද්ධ ජයග්‍රහණයත් නිසා 1595 දී ස්පාඤ්ඤ හමුදා උතුරු නෙදර්ලන්ත ප්‍රදේශවලින් ඉවත් කරගනු ලැබූහ. 1609 දී දොළොස් වසක යුද්ධ නැවැත්වීමක් දෙපක්ෂය විසින් අත්සන් කරන ලදි. එය නෙදර්ලන්ත නිදහස පිළිගැනීමක් බඳු විය. යුරෝපීය රාජ්‍යයෝ ද 16 වන සියවසේ අවසාන දශකයේ සිට ම වාගේ නෙදර්ලන්ත එක්සත් ප්‍රදේශ ජනරජය පිළිගත්හ.
යුද්ධ නවත්වා තුබුණු යුගයේ දී රෙපරමාදු සභාව (කැල්වින් වාදය) තුළ ඇති වූ ගැටුමක් දීර්ඝ කාලීන දේශපාලන භේදයක් බවට ලියලා ගියේය. ඕල්ඩන්බානෆෙල්ට්, ආර්මිනියස්ගේ පක්ෂය ද මොරිස් කුමරා අනික් පක්ෂය වූ ගොමාරස්ගේ පක්ෂය ද ගත්හ. අවසානයේ ඕල්ඩන්බානෆෙල්ට්, ස්ටාට්හෝල්ඩර් හා මහසෙනෙවි පදවිධාරි මොරිස්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමක් සමාන වූ ‘තීව්ර යෝජනය’ (Sharp Resolution) නමින් දන්නා යෝජනාවක් සම්මත කොට ගෙන ක්‍රියා කිරීමෙන් උග්‍ර තත්වයක් ඇති විය. එහෙත් යුද්ධ සේනාව මොරිස්හට පක්ෂපාතීව සිටීම නිසා වසක් ගත වූ තැන හේ විරුද්ධවාදීන් මැඩලීය. ඕල්ඩන්බානෆෙල්ට්හට මරණ දඬුවම පැනවිණ.
1621 දී තාවකාලික යුද්ධ සමාදානයේ කාලපරිච්ඡේදය අවසන් වීමෙන් යළි ස්පාඤ්ඤය හා යුද්ධය ඇවිළිණ. 1625 දී මොරිස් කුමරා මියගියෙන් ඔහුගේ තැනට පත් වූයේ ඔහුගේ ම සහෝදර ප්‍රෙඩ්රික් හෙන්රි කුමරායි. යුද්ධයෙහි මෙන් ම රාජ්‍ය තන්ත්රයෙහි ද කැපී පෙනුණු දක්ෂතාවකින් හෙබි ඔහුගේ කාලය ජනරජයේ දීප්තිමත් යුගයක් විය. මෙවක නැගෙනහිර හා බටහිර ඉන්දියා වෙළඳ සමාගම් පිහිටුවන ලද්දේය. නෙදර්ලන්ත වෙළඳ කටයුතුවල හා ආර්ථිකයේ අති ශීඝ්‍ර දියුණුවක් දක්නා ලද මේ කාලයේ දී නැගෙනහිර හා බටහිර ඉන්දියා කොදෙව්වලත් උතුරු හා දකුණු ඇමෙරිකා මහාද්වීපවලත් ඕලන්ද විජිත හා ජනපද පිහිටුවා ගනු ලැබිණි. 1647 දී ස්පාඤ්ඤ-නෙදර්ලන්ත සාමසාකච්ඡා පවත්වාගෙන යනු ලබද්දී හෙන්රි මිය ගියෙන් ඔහු පුත් ඔරෙන්ජ්හි විලියම් IIට ඔහුගේ තැන අයත් විය. 1648 දී වෙස්ට්ෆේලියා (ම්යුන්ස්ටර්) ගිවිසුමෙන් ස්පාඤ්ඤය නෙදර්ලන්ත එක්සත් ප්‍රදේශවල ස්වාධීනතාව හා ස්වාධිපත්‍යය පිළිගැනීමෙන් ඕලන්ද නිදහස් යුද්ධය සමාප්ත විය. මේ වන විට නෙදර්ලන්ත ජනරජය ප්‍රධාන පෙළේ දේශපාලන බලයක් බවට ද වැඩී පැවැත්තේය.
ප්‍රධාන පෙළේ බලයක්
1648න් උදා වූ කාලය නෙදර්ලන්ත ජනරජයේ දියුණුව අතින් රන්යුගයක් වුව ද ඒ කාලය තුළ දී එරටට යුද්ධ අරගල කීපයකට ම මුහුණ දෙන්නට ද සිදුවිය. මේ වියවුල්වලට මුහුණ දී දේශපාලන පාර්ශ්වයෙන් පමණක් නොව විද්‍යාව හා සංස්කෘතිය අතින් ද නෙදර්ලන්ත ජනරජයට විශාල දියුණුවක් අත් කර ගත හැකි වූයේ ස්ටාට්හෝල්ඩර්වරයකු නොසිටි 1650-1672 කාලයේ ආණ්ඩු බලය දැරූ යාන් ඩිවිට් සහ 1672 සිට ස්ටාට්හෝල්ඩර් පදවිය දැරුවා වූ ද 1688 දී එංගලන්තයේ රජ බව ලැබුවා වූ ද විලියම් III යන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දෙදෙනා නිසාය. මුල දී 1652-1653 සහ 1665-1667 කාලවල එංගලන්තය සමග යුද ඇවිළිණි. මේ යුද්ධයන්හි දී ඕලන්ද නැව් හමුදාවට බලවත් අලාභ හානි සිදුවුව ද දේශ ගෞරවයත් සමුද්‍රයේ තැනත් රැකගෙන එම යුද්ධයන් සාමය කරා ගෙන ඒමට ඩිවිට් සමත් විය. 1672-1678 කාලයේ ජනරජයට විරුද්ධව ඉංග්‍රීසි, ප්රංස දෙවර්ගය අවි ගත් කල්හි ඔරෙන්ජ්හි විලියම් IIIගේ ශූර නායකත්වය ලබා ගැනීමෙන් නෙදර්ලන්තය එම ව්‍යසනයෙන් මිදුණා පමණක් නොව යුරෝපීය රටවල් අතර උසස් තත්වයක් ද ලබා ගත්තේය. ඉංග්‍රීසි නාවික හමුදා මුහුදු සටන් ගණනාවකින් ම ලන්දේසීන් අතින් පරාජයට පත් වීම නිසා එංගලන්තයේ චාල්ස් II රජ 1674 දී නෙදර්ලන්ත ජනරජය සමග සාමයට එළඹ ප්‍රංසයට විරුද්ධව එරටට ආධාර දීමට ද පොරොන්දු විය. විලියම් ඉන් පෙර සිටි ස්ටාට්හෝල්ඩර්වරුන්ට වඩා බලසම්පන්න තත්වයකට පත් වූයේ බොහෝ දුරට රජකුගේ තත්වයක් ඉසිලීය. 1677 දී ඔහු චාල්ස් II රජුගේ ලේලිය වූ මේරි කුමරිය හා විවාහ වීමෙන් ස්ටුවට්-ඔරෙන්ජ් වංශ සම්බන්ධය තහවුරු කෙළේය. ඊළඟ වර්ෂයේ දී එංගලන්ත සහාය ද ජනරජයට ලැබීම නිසා ප්‍රංසයට යුද්ධය නැවැත්වීමට සිදුවිය. 1688 දී ස්ටේට්ස්-ජනරාලයේ ආධාරය ද ඇතිව එංගලන්තවාසී විශාල කොටසකගේ ඉල්ලීමෙන් එරටට ගොඩබට ඔහු වෙත ඉංග්‍රීසීහු 1689 දී එරට රජකම පිරිනැමූහ. (විලියම් III බ.) අනතුරුව විලියම් ප්රංස අධිරාජ්‍ය බලයට විරුද්ධව යුරෝපා ජාතික හවුලේ නායකත්වය ගෙන ක්‍රියා කෙළේය. මේ නිසා නැතක් යුද්ධවලට ඇදී යෑම් ආදියෙන් 1702 දී ඔහු මිය යන කාලයේ දී විලියම්ගේ ජනප්‍රියත්වය පිරිහෙමින් පැවති අතර යුද වියදම නිසා ජනරජය ද පිිරිහෙමින් පැවතිණ. 1713 දී යූට්රෙක්ට් ගිවිසුමෙන් අවසානයට පත් ස්පාඤ්ඤ රාජ්යානුප්රාප්තික යුද්ධයේ දී ජනරජයේ දුර්වලතාව පැහැදිලිව පෙනී ගිය අතර එතෙක් ප්‍රධාන ජාතීන් අතර එය දැරූ වැදගත් තැන ද නැතිව ගියේය. විලියම්ගේ කාලයේ දී සංස්කෘතිය හා විද්‍යාව අතින් ද කැපී පෙනෙන දියුණුවක් දක්නා ලදි. විශේෂයෙන් ම හ්යුගිනෝ සරණාර්ථීන් ජනරජයේ රැකවරණ සොයාවිත් පදිංචි වීම මේ දියුණුවට බෙහෙවින්උපස්තම්භක විය. රෙම්බ්‍රාන්ට්, වර්මේරි, ස්ටේන් වැනි චිත්රකලාකරුවෝ ද ස්පිනෝසා, ඩෙකාර්ට් (මෙවක මොහු විසුවේ නොදර්ලන්තයේය) වැනි දාර්ශනිකයෝ ද වොන්ඩල්, කොන්ස්ටන්ටයින්, ගොයිගන්ස් වැනි සාහිත්‍යකරුවෝ ද ග්රෝෂියස් වැනි නීතිවේදියෝ ද මේ යුගයේ දී වැජඹුණහ.
1702-1747 කාලය ජනජයේ ස්ටාට්හෝල්ඩර්වරයකු නැති දෙවන යුගය විය. 1742-1748 ඕස්ට්‍රියානු රාජ්යානුප්රාප්තික යුද්ධය අවසන් වන්නට කිට්ටුව 1747 දී විලියම් IV සියලු එක්සත් ප්‍රදේශවල ස්ටාට්හෝල්ඩර් බවට පත්විය. විලියම් III මිය යන විට බාලවියේ සිටි ඔහු එතෙක් ෆ්රීස්ලන්ත ප්‍රදේශයේ පමණක් ස්ටාට්හෝල්ඩර් හා යුදසෙනෙවි වශයෙන් සිටියේය. 1748 දී ගිවිස ගත් එක්ස්-ලා-ෂපෙල් සාමයේ දී කලින් නෙදර්ලන්තයට නැතිව ගිය ප්‍රදේශ සියල්ල ම වාගේ එයට ආපසු ලැබිණ. 1751 දී විලියම් IV මිය යාමෙන් පසු ඈන් බිසව ළදරු පුත්‍රයා (පසුව විලියම් V) වෙනුවෙන් රාජප්‍රතිනිධි වශයෙන් කටයුතු කළාය. 1766 දී විලියම් V ජනරජයේ ස්ටාට්හෝල්ඩර් පදවියට පත්විය. ඇමෙරිකානු නිදහස් සටනේ දී ලන්දේසීහු ඉංග්‍රීසින්ට විරුද්ධව ඇමෙරිකානු ජනපද වාසීනට ආධාර දුන්හ. එහෙත් මේ යුද්ධ සමයේදී ජනරජයට බලවත් හානි සිදු විය. නැව් හමුදාව අන්ත පරාජයට පත්විය. 1784 පැරිස් සාම ගිවිසුමෙන් ලන්දේසීන්ට නාගපටන ද නැති වී ගියේය. මේ අවධිය වන විට විලියම් Vට විරුද්ධ බලවත් පක්ෂයක් ඇති විය. 1789 දී ඇරඹුණු ප්රංස විප්ලවය මෙයට පොහොර දැමීය.
1795 දී ප්රංස හමුදාවෝ හෝලාන්ඩ් ප්‍රදේශයට කඩා වැදුණහ. භීතියට පත් විලියම් V රට හැර දමා පැන ගියේය. 1798 දී නෙදර්ලන්ත ප්‍රදේශවල ඇති වූ බතාවියානු ජනරජය ප්රංසය විසින් පිළිගන්නා ලදි. 1805 දී බතාවියානු ජනරජය බතාවියානු පොදුරාජ්‍යය බවට පත්විය. 1806 දී නැපෝලියන් බොනපාට් (බ.) නෙදර්ලන්ත ප්‍රදේශවල ප්‍රථම වරට රාජාණ්ඩුවක් ඇති කරමින් සිය සොහොයුරු ලුවී එහි රජු හැටියට පත් කොට යැවීය. 1795-1806 අතර කාලය දේශපාලන අවුල්වලින් පිරි සමයක් වූ අතර ලන්දේසීන්ට අයත්ව පැවති ලංකාවේ මුහුදුබඩ පෙදෙස් ඇතුළු විජිත කීපයක් ම ඔවුනට නැති විය. ආර්ථික අතින් ද පිරිහී ගිය මේ කාලයේ නාවික යුද්ධ පරාජය නිසා මුහුදු බලය අතින් ද එරට ඉතා පහත් තැනකට ඇද වැටිණි. 1796 දී ස්ටේට්ස්-ජනරාලය සදහට ම අහෝසි කරනු ලැබීය. 1802 ඒමියන්ස් ගිවිසුමෙන් එංගලන්තය අල්ලාගෙන තිබුණු විජිත ආපසු නෙදර්ලන්තයට භාර දෙන ලද නමුත් ලංකාව එලෙසින් ආපසු භාර දෙනු නොලැබිණ. 1810 දී නැපෝලියන් සමග ඇති වූ අර්බුද නිසා ලුවී රජු ඉල්ලා අස්වීමෙන් ප්‍රථම රාජාණ්ඩුව අභාවයට පත් වූවා පමණක් නොව නැපෝලියන් එම ප්‍රදේශ තම පාලනය යටතට ගැනීමෙන් එතෙක් එහි පැවති ස්වාධීනතාව ද නැති වී ගියේය. එහෙත් 1813 ලයිප්සිග් සටනින් අනතුරුව ප්රංස ආධිපත්‍යයට විරුද්ධව නිදහස පතා සටන් කළ නායකයෝ තාවකාලික රජයක් පිහිටුවා හිටපු ස්ටාට්-හෝල්ඩර්ගේ පුත්‍ර ඔරෙන්ජ් කුමරා කැඳවා බලයට පත් කළහ. ඔරෙන්ජ් බලයට පත් වූයේ ස්ටාට්-හෝල්ඩර් වශයෙන් නොව ස්වාධිපති කුමරකු ලෙසිනි.
ජාතික නිදහස පතා කළ සටනේ මුල් තැන ගත් ෆාන් හෝගෙන්ඩෝප්ගේ මෙහෙයීමෙන් පරම්පරානුගත රාජාණ්ඩු ක්රමයකි, එහි ඇති කරන ලද්දේ. ප්‍රාදේශීය රදල පේරු මගින් තෝරන ලද නියෝජිතයන්ගෙන් සැදි නියෝජිත මණ්ඩලයක් (මෙය ද ස්ටාටන්-කේනෙරාල් නම් විය) ද පිහිටුවන ලදි. එහෙත් එය මුල් ස්ටේට්ස්-ජනරාලය තරම් බලසම්පන්න වූවක් නොවීය. 1814 පෙබරවාරි මාසයේ දී වියෙනා සම්මේලනයේ දී යුරෝපීය ජාතීහු බෙල්ජියම, නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් එක්කොට එක්සත් රාජධානියක් පිහිටුවීමට කටයුතු කළහ. 1815 මාර්තු මාසයේ දී විලියම් I තමා එකී එක්සත් රාජධානියේ රජු වශයෙන් ප්‍රකාශ කෙළේය. ඔහුගේ හමුදාවෝ නැපෝලියන්ට විරුද්ධව යුරෝපීය ජාතීන් සමග එක්ව සටන් කළහ. එක්සත් රාජධානිය අවුරුදු 15ක් පැවැත්තේය. ඒ කාලයේ දී කලින් නෙදර්ලන්තයට අහිමි වී ගිය විජිතවලින් ලංකාව හා කේප් කොලනිය හැර සෙසු සියල්ල ම වාගේ ආපසු ලැබුණේය. දකුණු (බෙල්ජියම්) පෙදෙස්වල කාර්මික දියුණුවට විශේෂයෙන් කටයුතු කරන ලදි. මුළු රාජ්‍යයේ ම මහත් සමෘද්ධියක් දක්නා ලදි. එසේ වුව ද ප්‍රධාන කොට වෙළඳාමෙන් දියුණු වූ උතුරු ප්‍රදේශවාසීන්ගේ ඕනෑඑපාකම් හා දකුණු ප්‍රදේශවාසීන්ගේ ඕනෑඑපාකම් අතර ඝට්ටන ඇතිවිය. බෙල්ජියානු කතෝලික පියවරුන් ප්‍රොතෙස්තන්ත උතුරු ප්‍රදේශ කෙරෙහි දැක් වූ විරෝධය දුරුකරලීමට විලියම් රජු විසින් ගන්නා ලද තැන ද සාර්ථක නොවීය. 1830 දී දකුණු ප්‍රදේශ කැරලි ගසා වෙන ම ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් පිහිටුවා ගත්හ. කෝබ’ග්හි ලියොපෝල්ඩ් ප්‍රථම රජ විය. දකුණේ බෙදී වෙන් වීම නිල වශයෙන් පිළිගන්නා ලද්දේ 1839 දීය. ඉන්පසු විලියම් I ලක්සම්බ’ග් පාලනය කෙළේ ද එහි ස්වාධීනතාව පිළිගනිමිනි. 1840 දී විලියම් I සිහසුනෙන් අස්ව විලියම් II නමින් රජ වූ සිය පුත්‍රයාට රට භාර දුන්නේය. 1848 දී නව ආණ්ඩුක්‍රමයක් පිළිගැනිණි. ඒ අනුව ද්විතීය මණ්ඩලය තේරී පත්වුණු නියෝජිතයන්ගෙන් සමන්විත විය. මේ නිසා පැරණි පෙඩරල් (සන්ධීය) ක්‍රමය අහෝසි විය.
මෙම නව ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව විලියම් III 1849 සිට ක්‍රියාත්මක කෙළේය. එවක් පටන් නෙදර්ලන්තය විදේශ ප්‍රතිපත්තිය අතින් සාමකාමී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේය. බුවර් යුද්ධ සමයේ දී පමණක් බ්‍රිතාන්‍ය විරෝධී හැඟීම් පහළ වුව ද එහි දී පවා ඕලන්දය ක්‍රියාත්මක ලෙස පක්ෂයක් ගැනීමෙන් වැළකී සිටියේය. 1849යෙන් පසු කාලයේ දී නෙදර්ලන්ත රාජාණ්ඩුව පෙරදිග ඉන්දියා කොදෙව්වල සිය පාලනය වඩා ශක්තිමත් කෙළෙන් නෙදර්ලන්තය හා එම විජිත අතර ආර්ථික බැම්ම වඩාත් තර විය. 1890 දී විලියම් III මිය ගියෙන් එමා බිසව ඔවුන්ගේ ළාබාල දුව (විල්හෙල්මිනා) වෙනුවෙන් 1898 දක්වා රාජ ප්‍රතිනිධි වශයෙන් කටයුතු කළාය. 1898 දී කිරුළු පලන් විල්හෙල්මිනා 1948 දක්වා රජ පදවිය දැරුවාය.
පළමුවන ලෝක යුද්ධයේ දී නෙදර්ලන්තය මධ්‍යස්ථව සිටියේය. එහෙත් ලන්දේසි නැව්වලින් බොහොමයක් ජර්මනුන් විසින් ගිල්ලන ලද අතර සමහරක් බ්‍රිතාන්‍ය-ඇමෙරිකන් මිත්‍ර පක්ෂය විසින් අල්ලා ගන්නා ලදි. යුද්ධාවසානයේ දී ජර්මන් අගරජුට හා ඔහුගේ සිහසුන හිමි කුමරාට ද ඕලන්දයේ සරණ හා නවාතැන් දීමත්, මිත්රපක්ෂයේ ඉල්ලීම පරිදි ඔහු ඕලන්දයෙන් පිටකර එම පක්ෂයට භාර නොදීමත්, බෙල්ජියමේ සිට ජර්මන් හමුදාවනට ඕලන්දය හරහා සියරට යාමට ඉඩදීමත් ගැන එම පක්ෂය බෙහෙවින් උරණව සිටියේය. මේ වාතාවරණය යටතේ බෙල්ජියම ඕලන්දයට අයත් සීලන්ඩ්-ෆ්ලාන්ඩර්ස් පෙදෙස ඈඳා ගැනීමට වෑයම් කෙළේය. මේ නිසා කලක් ම ඕලන්ද-බෙල්ජියම් සම්බන්ධය පළුදු වී පැවතිණ.
1920 දී ඕලන්දය ජාතීන්ගේ සංගමයට ඇතුළු විය. 1926 සිට එහි කවුන්සිල් සභා සාමාජිකත්වය දැරූ එරට දේශපාලන ක්ෂේත්රයෙන් පිට කරුණුවල දී මුල් තැන ගෙන ක්‍රියා කෙළේය. මේ කාලයේදී හේග් නුවර ස්ථිර ජාත්‍යන්තර අධිකරණය පිහිටුවන ලදි. 1929-1930 කාලයේ ලෝක ආර්ථික අවනති සමයේ දී නෙදර්ලන්තයේ කර්මාන්ත හා කෘෂිකර්මය අඩපණ විය. රැකීරක්ෂා හිඟය උග්‍ර විය. මේ නිසා එතෙක් එරට ගෙනගිය අබාධ වෙළඳ ප්‍රතිපත්තිය 1931 දී හැරදමා ආයාත සීමා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. මේ කාලයේ දී නෙදර්ලන්ත විජිත ප්‍රතිපත්තියේ ද වෙනසක් දැකිය හැකි විය. විශේෂයෙන් ඉන්දුනීසියානු ජාතිවාදී විමුක්තිකාමීන්ගේ ඉල්ලීම්වලට ගරු කරමින් 1925 දී ජනතා මන්ත්‍රී මණ්ඩලයේ ඉන්දුනීසියානු ජාතිකයන්ගේ නියෝජනය පුළුල් කරන ලදි. අග්‍රාණ්ඩුකාරයාට පෙරට වැඩි ස්වාධීනතාවක් දෙන ලදි. එහෙත් මින් සැහීමට නොපත් එරට සමාජවාදී කොටස් සුකර්ණෝ හා මුහම්මද් හත්තා ආදීන්ගේ නායකත්වයෙන් කැරලි ගැසූහ.
දෙවන ලෝක සංග්‍රාමයේ දී ද නෙදර්ලන්තය මධ්‍යස්ථතාව රැකගැනීමට තීරණය කර කටයුතු කරගෙන ගියේය. එහෙත් 1940 මැයි මාසයේ දී නාට්සිහු එරට ආක්‍රමණය කළහ. රොටර්ඩෑම් නගරය මුළුමනින් ම වාගේ විනාශ විය. දින පහකින් ඕලන්දය නාට්සි ග්‍රහණයට අසු විය. එංගලන්තයට පැන ගිය විල්හෙල්මිනා බිසව හා ඇමතිවරු එහි විප්‍රවාස රජයක් පිහිටුවා ගත්හ. 1942 දී ජපන්නු පෙරදිග ඉන්දියා කොදෙව් තම වසඟයට ගත්හ. බ්‍රිතාන්‍ය-ඇමෙරිකා මිත්‍ර පක්ෂය නාට්සින් දකුණු මායිමට පලවා හැරීමෙන් පසු 1944 දී ඕලන්දය ජර්මන් ග්රහණයෙන් මිදුණ ද 1945 මැයි දක්වා ඔවුහු පහළ රයින් පෙදෙසට අරක් ගෙන සිටියහ.
නාට්සි ප්‍රහාරවලින් ඕලන්දයට කෙතරම් හානි වී දැයි නියම වශයෙන් මිනිය නොහැකිය. එහි නිවාසවලින් තුනෙන් පංගුවකට ද වැඩියෙන් යුද්ධය නිසා විනාශව තිබිණ. නිෂ්පාදන ශක්තිය තුනෙන් දෙකකින් අඩු වී ගොස් තිබුණු අතර ආර්ථිකය සම්පූර්ණයෙන් ම වාගේ ඇද වැටී තිබිණ. මේ නිසා යුද්ධයෙන් පසු මුල් කාලයේ දී ඕලන්දය ආර්ථීක වශයෙන් සම්පූර්ණයෙන් ම වාගේ ඇ.එ.ජ. රාජ්‍යයට ගැතිව පැවැත්තේය. ඕලන්ද කර්මාන්ත පුනරුත්ථාපනයට බෙහෙවින් ම ආධාරකාරී වූයේ 1947 දී ඇතිකරන ලද මාර්ෂල් ආධාර ක්‍රමයයි. 1948 දී විල්හෙල්මිනා සිය දියණි ජුලියානාට සිහසුන පවරා රජකම අත්හැරියාය.
1945 දී ජපනුන් යටත් වීමෙන් පසු ඉංග්‍රීසි හා ඕලන්ද සේනා ඉන්දුනීසියාවට එවන ලද නමුත් සුකර්ණෝ සහ හත්තා ප්රමුඛ ජාතික නායකයෝ ජනරජයක් ප්‍රකාශකොට සුමාත්‍රා හා ජාවා දූපත් එහි අධිකාර බලය යටතට ගත්හ. නෙදර්ලන්ත රජය කලක් ම මෙම ජනරජය නොපිළිගෙන ඉන්දුනීසියාවට සේනාවන් යැවීම ද නොනවත්වා ම කරගෙන ගියේය. 1949 දී ඉන්දුනීසියාවේ ස්වාධීනතාව පිළිගන්නා ලදි (ඉන්දුනීසියාව බ.). 1954 නව ආඥා පනතකින් සුරිනාම් ඕලන්ද ගයනාව හා නෙදර්ලන්ත ඇන්ටිලිස් (කුරසව් ආදි බටහිර ඉන්දියා කොදෙව්) යටත් විජිත තත්වයෙන් මුදා නෙදර්ලන්තයත් මෙම ප්‍රදේශ ද්වයත් එක ම රාජධානියක පූර්ණ ස්වායත්ත කොටස් හැටියට පිළිගන්නා ලදි. 1962 දී නෙදර්ලන්තය බටහිර නිව් ගිනියාවේ (බටහිර ඉරියානයේ) අයිතිය අත්හැර දැමීය.
1945 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකත්වය දරන නෙදර්ලන්තය යුරෝපා ආර්ථික හවුලේ (යුරෝපා පොදු වෙළඳපොළේ) ආරම්භක සාමාජිකයෙකි.
(සංස්කරණය: 1974)