නුවරවැව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුර නගරයට නුදුරුව, ඊට ගිනිකොන දිග, මල්වතු ඔයට නැගෙනහිර පස පිහිටා තිබේ. නොගැඹුරු සමතලා මිටියාවතක පිහිටි එහි ජලවහන ප්‍රදේශය සතරැස් සැතපුම් විසිනවයක් පමණ වේ. ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 55ක් පමණ වන බැවින් වැව උතුරා යෑමෙන් ගංවතුර ඇති වීමට මෙහි ඉඩ නැත.

වැව අක්කර 3000ක් පමණ විශාල ය. එහි ජලය ආසන්නයේ වූ විහාරාමවල ප්‍රයෝජනය සඳහා ද වැවට පහළින් වූ කුඹුරුවල වී ගොවිතැන් කිරීම සඳහා ද ප්‍රයෝජනයට ගන්නා ලද්දේ විය. වැව් බැම්ම සැතපුම් 3ක් පමණ දිග ය. කොටස් තුනකින් සමන්විත එහි මැද කොටස මිටියාවත හරස් කොට ඉදිකර තිබේ. එහි දෙකෙළවරින් පටන්ගන්නා ඉතිරි කොටස් දෙක උඩුගං බලා උස්බිම් දක්වා තනා ඇත. වැව් බැම්මේ උස ම තැන අඩි 37ක් උස ය. බැම්මේ මුදුන අඩි 12 සිට 16 දක්වා පළල් වේ. එහි ඇතුල් පැත්ත ඇළ අඩි තුනකට, උස අඩි එක බැගින් බෑවුම් වෙයි. රළ පහර වැදී සේදී යාම වැලැක්වීම පිණිස මේ ඇතුල් පැත්ත ගල් අතුරා නිමවා තිබේ. බැම්මේ පිට පැත්ත ඇල අඩි දෙකහමාරකට උස අඩි එක බැගින් බෑවුම් වෙයි. ඉහළ සොරොව්ව හා පහළ සොරොව්ව වශයෙන් මෙහි සොරොව් දෙකක් තිබේ. පහළ සොරොව්වේ බිසෝකොටුව අඩි 11ක් පළල හා අඩි 15ක් දිග වන අතර එහි බිත්ති අඩි තුනහමාරක් ඝනකම සහිත ය. පතුලේ සිට අඩි 14ක් උසට බිසෝකොටුවේ බිත්ති ගල්පතුරු අල්ලා තනා තිබේ. පහළ සොරොව්වේ බිසෝකොටුව ගලින් නොව ගඩොලින් සාදා ඇත. එය අඩි 8යි අඟල් 4ක් දිග හා අඩි 7යි අඟල් 10ක් පළල වන අතර උස අඩි 22කි. එහි බිත්ති අඩි තුනක් ඝනකම සහිත ය. මේ එක් සොරොව්වකට ගලින් තැනූ ජල මාර්ග දෙක බැගින් වේ. ඒවා වැව් බැම්ම හරහා යටින් තනා තිබේ. වැවේ වතුර බිසෝ කොටුවට වුවමනා ප්‍රමාණයට ගෙන යළි වුවමනා පරිදි මේ ජලමාර්ග ඔස්සේ වැවට පහළින් වූ ඇළවල් කරා යවනු ලැබේ.

මෙය ක්‍රි.පූ. පළමුවන සියවසේ මුල් කාලයට අයත් බව පාකර් කියයි. එසේ ම එය වරින් වර අලුත්වැඩියා කර තිබෙන බව ද ඔහු අදහස් කරයි. තුන්වන හා පස්වන සියවස්වල දී කරන ලද අලුත්වැඩියාවන්ට අයත් ගඩොල් ඔහුට ලැබී තිබේ. පළමුවන ගජබා (114-136) රජුගේ ශිලාලිපියේ හඳහන් වන නකරවව් යනු නුවරවැව බවට හඳුනාගෙන ඇත. වැව් බැම්මේ උතුරු කොටසට පහතින් වූ පාචීනතිස්සපබ්බතවිහාරය ඉතිහාසත සටන් දෙකක් සිදු වූ තැනක් ලෙස හඳුනාගනු ලැබ ඇත.

වැව පිරවීමට වැසි දිය ප්‍රමාණවත් නොවූ නිසා මල්වතු ඔය ඉහත්තාවේ දී ඔය හරස් කොට බැම්මක් ඉදි කොට ඔයේ රැස්වන වතුර නුවර වැවට ගෙන ඒමට ඇළක් තනා තිබුණු බව ද නටබුන් ව තිබුණු එම බැම්මේ ගඩොල් ගලවාගෙන ගොස් 1873 දී මහපාරේ පාලම තැනීමට යොදාගන්නා ලද බව ද පාකර් තවදුරටත් කියයි. මේ ඇළ සැතපුම් 6ක් පමණ ගිය තැන ඔයක් හරහා යා යුතු විය. එතැන දී ඔය හරහා ගල් කණු මත සෑදූ පාලම් ඇළියක් මඟින් වතුර ගෙන ගොස් ඇත. පුරාණ සිංහල ඉංජිනේරුවන්ට භූමියේ විෂමතා ප්‍රශ්නයක් නොවූ බවට මෙයත් සාධකයකි. මේ වැව 1889 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අපුත්වැඩියා කරනු ලැබ ඇත.

(කර්තෘ: සෝමපාල ජයවර්ධන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නුවරවැව&oldid=4820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි