හංසරාජනිදානම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිස් සිරුරේ හටගන්නා රෝග ලක්ෂණ පිළිබඳ ව මධුර වෘත්තයෙන් රචිත සංස්කෘත මහාකාව්‍යයකි. රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි විවරණයක් කෙරෙන මෙම ග්‍රන්ථය ආයුර්වේදයෙහි විශාරදයෙකු වූ හංසරාජ නම් පඬිවරයෙකු විසින් මෙය රචනා කර තිබේ. මේ වෛද්‍යවරයා මාධව, වාග්භවාදී ආයුර්වේද ශාස්ත්‍රඥයන් විසූ අවධියට මැද භාගයෙහි විසූවෙකු බව පූර්වාචාර්යයන්ගේ නාමානුස්මරණ පද්‍යයෙන් වැටහේ. ග්‍රන්ථාරම්භයෙහි රෝග පරීක්ෂාවට අදාළ වූ දේශකාලාදී විෂය දක්වා නාඩි පරීක්ෂාවෙන් පටන්ගෙන තිබේ. රෝග නිදාන ගැන උගන්වන අනිත් නිදාන ග්‍රන්ථයන්හි නාඩි පරීක්ෂාව ගැන විස්තරයක් නොමැති වීම මෙය හංසරාජ නිදානයෙහි විශේෂයක් හැටියට සැලකිය හැකි ය. හංසරාජනිදානය අන්‍ය සංහිතා ග්‍රන්ථවල සඳහන් නිධාන ලක්ෂණ උපුටා ගෙන සකස් කරන ලද්දක් බව පෙනේ. ග්‍රන්ථය අවසන් කොට තිබෙන්නේ මුත්‍රා පරීක්ෂා විස්තරයෙනි. හංසරාජනිදානයෙහි ක්‍රයෝදශ සන්නිපාත ලක්ෂණ විශේෂයෙන් විස්තර කොට ඇත. ධාතුගත ජ්වරයන් ගැන ද වෙසෙසින් සඳහන් කොට ඇති බැවින් ග්‍රන්ථ කර්තෘවරයා චිකිත්සා කර්මයෙහි නිපුණ වූ කෘතහස්ථ වෛද්‍යවරයෙකු බව ද හැඳින්වේ. හංසරාජ කවීහු කුමන ශතවර්ෂයක විසූවෙක් දැයි භාෂා ටීකා යයි නම් කෙරෙන හින්දි අනුවාදයෙහි ද සඳහන් ව නැත්තේ ය. හංසරාජ නිදානය භාරත දේශයේ ආයුර්වේද වෛද්‍යවරයන් විසින් අන්‍යන්ත සමාදරයෙන් පරිශීලනය කරනු ලැබේ. මථුරාදත්තරාම නම් පඬිවරයෙක් හංස රාජනිදානයට ‘හංසරාජාර්ථබෝධිනී’ නම් භාෂා ටීකාවක් ලියා තිබේ. එය ඉතා සරල බැවින් විද්‍යාර්ථින්ට මහෝපකාරී වේ.

(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ: 1961)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හංසරාජනිදානම්&oldid=4637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි