ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි මධ්‍ය ප්‍රදේශය වසා පිහිටි මෙය වත්මන් ලෝකයේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතුරෙන් ඉතා ම ප්‍රබල රාජ්‍යය වේ.

පිහිටීම

උතුරින් කැනඩාවෙන් ද දකුණින් මෙක්සිකෝවෙන් හා මෙක්සිකෝ බොක්කෙන් ද නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙන් ද බටහිරින් ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇති මහාද්වීපික ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ජනපද 48කින් යුක්තය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ම කොටස් වූ ඇලස්කාව (බ.) හා හවායි (බ.) යන ජනපද දෙක මින් වෙන්ව පිහිටා ඇත. මහාද්වීපික ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි විශාලත්වය වර්ග සැතපුම් 3,022,387කි. ඇලස්කාව හා හවායි ජනපද වර්ග සැතපුම් 534,040ක් විශාලය. මේ සියල්ල එක් වූ විට පෘථිවියෙහි ගොඩබිමෙන් දහසයෙන් පංගුවක් පමණ වසා පවත්නා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය යුරෝපා මහාද්වීපය තරම් ම විශාල යැයි කිව හැකිය. භූමිප්‍රමාණයෙන් ඊට වඩා විශාල රටවල් නම් සෝවියට් සංගමය, කැනඩාව හා චීනය පමණි.

භූමි නිර්මාණය හා භූවිද්‍යාව

මහාද්වීපික ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ භූමි නිර්මාණය දළ වශයෙන් කොටස් අටකට බෙදිය හැකිය. 1. අත්ලන්තික් හා මෙක්සිකෝ වෙරළාසන්න තැනි 2. ඇපලේචියන් උස්බිම් 3. ලොරෙන්සියානු උස්බිම් 4. අභ්‍යන්තර උස්බිම් 5. අභ්‍යන්තර තැනිබිම් 6. රොකී කඳු 7. ගිරිතර සානු හා 8. පැසිෆික් කඳු මණ්ඩලය යනුවෙනි.

අත්ලන්තික් හා මෙක්සිකෝ වෙරළාසන්න තැනි

නිව් යෝක් ප්‍රාන්තයේ සිට රියෝ ග්රෑන්ඩ් මෝය දක්වා වූ අත්ලන්තික් හා මෙක්සිකෝ වෙරළාසන්න තැනිබිම් මෙම භූගෝලීය ප්‍රදේශයට ඇතුළත් වේ. දළ වශයෙන් අභ්‍යන්තර ඇලි ඉමේ (fall line) සිට වෙරළ දක්වා විහිදි මෙම තැනිබිම් කෛනසොයික හා නූතන අවසාදිත පාෂාණ ද්‍රව්‍යයන්ගෙන් සැදුණේ වේ. මෙම අවසාදිත පාෂාණ තට්ටුව, ගොඩබිම වශයෙන් පවත්නා වෙරළාසන්න තැනිබිම්වලට පමණක් සීමා වූවක් නොව වෙරළින් ඔබ්බෙහි මුහුද දෙසට ද ක්‍රමයෙන් බෑවුම් සහිතව විහිදී ඇත්තකි. මහාද්වීපික තටකය වශයෙන් හඳුන්වනු ලබන්නේ වෙරළින් ඔබ්බෙහි මුහුදු දිය යටින් විහිදී ඇති මෙම බිම් තලාවයි. මෙහි විස්තර කෙරෙන තැනිබිම් ප්‍රදේශය ඈත අතීතයේ දී මුහුදින් යට වී පවතින්නට ඇතැයි ද කලින් කල ක්‍රමයෙන් මුහුද පසුබැසීම නිසා එම වෙරළාශ්‍රිත තැනිබිම් තීරය පුළුල් වී යයි ද භූවිද්‍යාඥයෝ සිතති. මෙක්සිකෝ වෙරළාසන්න තැනිබිම්වලින් වැඩි කොටස මිසිසිපි ඩෙල්ටාවෙන් හා ‍ෆ්ලොරිඩා අර්ධද්වීපයෙන් සමන්විතය.

ඇපලේචියන් උස්බිම්

අත්ලන්තික් වෙරළට බටහිර දෙසින් ඊට ආසන්නව නිරිත දෙස සිට ඊසාන දෙසට සැතපුම් දාහකට අධික ප්‍රමාණයක් දුර ඇපලේචියන් උස්බිම් විහිදී ඇත්තේය. මෙම උස්බිම් තීරයෙහි නිරිත දිග කොටස ඊසාන දිග කොටසට වඩා පැරණිය. ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයන්ගෙන් සැදි පැරණි ඇපලේචියන් උස්බිම්, පීඩ්මොන්ට් (ගිරිපාද සානුව) හා බ්ලූ රිජ් කඳු යැයි කොටස් දෙකකට බෙදිය හැකිය. විශේෂයෙන් ම ප්ලයිස්ටොසීන අයිස් යුගයේ දී අයිස් යායෙන් නොවැසුණු ගිරිපාද සානුව දිරාපත් වූ ඉපැරණි පාෂාණ ද්‍රව්‍යයන්ගෙන් යුක්තය. අතරින් පතර ප්‍රතිරෝධ ගිරි (monadnocks) දක්නට ලැබේ.

ලොරෙන්සියානු උස්බිම්

නැගෙනහිර කැනඩාවේ ප්‍රධාන භූමි ලක්ෂණයක් වන ලොරෙන්සියානු උස්බිම්වලින් කොටසක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ඊසාන දිග කෙළවරෙහි දක්නට ලැබේ. ඇඩිරොන්ඩැක් කඳු (බ.) මෙම භූගෝලීය ප්‍රදේශයෙන් කොටසකි. මෙහි ඇත්තේ ප්‍රාක්කේම්බ්‍රිය ආග්නේය හා විපරීත පාෂාණය. ප්ලයිස්ටොසීන අයිස් යුගයේ දී බෙහෙවින් ඛාදනය වී ඇති බවට දෙස් දෙන භූමි ලක්ෂණ මෙහි බහුලය.

අභ්‍යන්තර උස්බිම්

මේ වනාහි මිසිසිපි ගඟට බටහිරින් හා මිසූරි ගඟට දකුණින් පිහිටි උස්බිම් ප්‍රදේශයකි. එය සාන්ත ෆ්‍රැන්සිස් කඳු, ඕසාක් සානුව, බොස්ටන් කඳු, ආකැන්සස් නිම්නය හා වොෂිටා කඳු යන මේවායින් යුක්ත වේ. ඛාදනය නිසා මතු වී ඇති ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයෙන් යුත් සාන්ත ෆ්‍රැන්සිස් කඳුවලින් කොටසක් පේලියොසොයික යුගයේ දී භූමියේ උස්වීමකට භාජන වූ බව ද පෙනී යයි. නැගෙනහිරට බෑවුම් වී ඇති පේලියොසොයික පාෂාණයෙන් යුත් ඕසාක් කඳු ද දීර්ඝකාලීන ඛාදනය නිසා මුදුන් රවුම් වී ඇති උස්බිම් සමූහයකි. මුහුදු මට්ටමේ සිට අඩි 2,000-4,000 දක්වා උස් වූ බොස්ටන් කඳු ද පේලියොසොයික දියළු පාෂාණයෙන් සැදී ඇති අතර උද්ගත වූ අඩතැන්නක ඇති වූ කඳු මණ්ඩලයක ලක්ෂණ දක්වයි. භූවිද්‍යානුකූලව නව ඇපලේචියන් කඳුවලට සමාන වූ වොෂිටා කඳු මුදුන් මුහුදු මට්ටමේ සිට අඩි 800-900කට වඩා උස් නොවේ. පශ්චාත් කාලීන භූචලනයන් නිසා නැමි සහිතව විභේදනය වී ඇති පේලියොසොයික සාගරික නිධි මෙහි දක්නට ලැබේ. වොෂිටා කඳුවලට උතුරින් පිහිටියා වූ ආකැන්සස් නිම්නයෙහි ද එම පාෂාණයන් ම ඇතත් ඒවා යටි නැම්මක ආකාරයෙන් එහි පවතී. ආකැන්සස් නිම්නයෙහි බටහිර කොටස කුවෙස්ටා වැටිවලින් යුක්ත වූ අතර ආකැන්සස් ගඟට දකුණෙහි කුඩා නිම්නයන්ගෙන් එකින් එක වෙන් වී ඇති ‘මේසා’ නම් වූ සානු වැනි භූමි ලක්ෂණයක් ඇත.

අභ්‍යන්තර තැනිබිම්

ඇපලේචියන් උස්බිම් මෙක්සිකෝ වෙරළ හා රොකී කඳුවලට මැදි වී පිහිටි ප්‍රදේශයෙහි අභ්‍යන්තර උස්බිම් යැයි හැඳින්වූ කොටස් හැරුණු විට සෙසු ප්‍රදේශය අභ්‍යන්තර තැනිබිම් ලෙස ගැනේ. ඇපලේචියන් කඳු පාවුල්වල සිට මිසූරි නිම්නය දක්වා ප්‍රදේශය මධ්‍යම පහත් බිම් යැයි ද රොකී කඳුවැටියට සමාන්තරව අනුක්‍රමයෙන් රොකී කඳු දෙසට උස්ව යන ප්‍රදේශය මහා තැනිතලාව නමින් ද හැඳින්වේ. ඇපලේචියන් පාවුල් බිම්වල සිට රොකී කඳු දක්වා අඩි 4,000ක් පමණ ක්‍රමයෙන් උස්ව යන මෙම මහා තැනිතලා ප්‍රදේශය ප්‍රධාන වශයෙන් ඛටිකාමය හා තෘතීයික නිධිවලින් සෑදී ඇත. මිසූරි හා ඔහායෝ ගංගා අතර ප්‍රදේශය ප්ලයිස්ටොසීන අයිස් ඛාදනයෙන් පසු ශේෂ වූ මොරේන හා ගල් වැලි ආදියෙන් වැසී ඇත. තවද මෙම මධ්‍යම පහත් බිම්වල නැගෙනහිර සීමාව වශයෙන් ගිණිය හැක්කා වූ ද උතුරේ සිට දකුණට විහිදියා වූ ද ප්‍රපාතාකාර බිම්කඩක් ඇත. මධ්‍යම පහත් බිම් ප්‍රදේශයෙහි පයින් රිජ් නම් වූ කඳුවැටියට උතුරින් වූ මිසූරි සානුව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි නැගෙනහිර අයිනේ ප්‍රපාතාකාර බිම්කඩ කෝට් ඩ මිසූරි නම් වේ. පයින් රිජ් වැටියට දකුණින් පවත්නා ප්‍රදේශය ග්ලැසියර ඛාදනයට භාජන නොවුව ද බොහෝ සෙයින් කඩ කඩ වී ගිය පහත් සානු කඳුවැටිවලින් හා නිම්නයන්ගෙන් යුත් වූවකි. උතුරු කෙන්ටකි, දකුණු ඉන්ඩියානා හා ඔහායෝ ආශ්‍රිතව විහිදි මෙම පෙදෙසෙහි හුනුගල් පවත්නා තන්හි ‘කාස්ට්’ (karst) නම් වූ භූමි ලක්ෂණය දක්නට ලැබේ.

උස්තැන්න නම් වූ ප්‍රදේශයෙහි උතුරු කොටසෙහි හෙවත් දකුණු ඩැකෝටා ජනපදයෙහි බ්ලැක් හිල්ස් නමින් කඳු පෙදෙසක් ඇත. මෙය රොකී කඳු වැටියෙහි බිහිකන්ද (outlier) වශයෙන් ගැනේ. උස්තැන්නෙහි තැන්පත් වූ දියළු නිධි අතරින් උද්ගත වී ඇති මෙම බ්ලැක් කඳු මධ්‍යයෙහි ද ඛාදනය නිසා ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණ මතු වී තිබේ. මෙම බ්ලැක් කඳුවලට නැගෙනහිරින් වයෝමින් හා දකුණු ඩැකෝටා ජනපදයන්හි මෘදු පාෂාණ දැඩි ඛාදනයට භාජන වීම නිසා හෑරී සේදී ගියාවූ ‘බෑඩ් ලෑන්ඩ්ස්’ නම් ප්‍රදේශයක් ඇත. උස්තැන්නේ දකුණෙහි ටෙක්සස් ජනපදයේ ස්ටේක්ට් තැන්න හෙවත් ලානෝ එස්ටකාඩෝ නම් සානුවක් ඇත. තද වූ දියළු නිධි මත කැපී ඇති මෙම සානුව තෘතීයික නිධිවලින් වැසී ඇත. ස්ටේක්ට් තැන්නට බටහිරින් පෙකොස් නම් වූ පහත් බිමකි. ස්ටේක්ට් තැන්නට ගිනිකොන දිගින් එඩ්වඩ් සානුව පිහිටියේය. මෙය නියම වශයෙන් ඛටිකාමය හුනුගලින් සැදුණේ වේ. ගිනිකොන දිග කොලරාඩෝ හා නව මෙක්සිකෝ ජනපද ආශ්‍රිත වූ ප්‍රදේශයෙහි කැනියම්වලින් හා සානුවලින් යුත් වූ යමහල් පාෂාණමය ලාවා සහිත භූමියක් ඇත.

මේ නයින් බලන කල අභ්‍යන්තර තැනිබිම් වූකලි සැතපුම් දහස් ගණනක් ඔස්සේ ඒකාකාරව විහිදියාවූ මහා තැනිතලාවක් නොව එක් එක් භූ යුගයක නොයෙක් බලපෑම්වලට ලක් වූ ද එහෙයින් විවිධ වූ භූ ලක්ෂණයෙන් යුත් වූ ද කුඩා ප්‍රදේශ කීපයකින් සමන්විත වුවත් තදාසන්න භූමිප්‍රදේශ අනුව සසඳන කල දළ වශයෙන් ඒකීයභාවයක් පෙන්නුම් කරන ප්‍රදේශයකි.

රොකී කඳු

උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි බටහිර වෙරළට සමාන්තරව විහිදෙන මෙම මහා කඳුවැටිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි මධ්‍යම කොලරාඩෝ, බටහිර වයෝමින්, මොන්ටානා හා උතුරු අයිඩහෝ යන පෙදෙස් ද කැනඩාවෙන් ඔබ්බෙහි ඇලස්කාව ද හරහා පවත්නේය. ප්‍රථම වරට මෙසෝසොයික යුගයේ අග දී පර්වත කාරක චලනයක් සමඟ නැමී ගිය ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයෙන් සැදි රොකී කඳු වැටි ඉන් පසු කාලයන්හි දී විටින් විට ග්ලැසියර හා සාමාන්‍ය ඛාදනය, භූ චලන යනාදියට බෙහෙවින් ලක් වීම නිසා ඉතා ම සංකීර්ණ කඳු මණ්ඩලයක් බවට පත් වී තිබේ. ප්ලැට් ගඟින් දකුණෙහි රොකී කඳු මණ්ඩලය උතුරේ සිට දකුණට විහිදි ග්‍රැනිට් පාෂාණමය මධ්‍යයකින් යුත් කඳුවැටි කීපයකින් සමන්විතය. මෙම කඳු පාවුල්හි ඝනව තැන්පත් වූ අවසාදිත පාෂාණ තට්ටුවක් තිබේ. ඛාදනය නිසා මෙන් ම භූමිය උද්ගත වීම නිසා ද ඇති වූ ශිඛර මෙහි ඇත. පයික්ස් පීක් (14,110’) හා ලෝංස් පීක් (14,255’) සහිත කොලරාඩෝ ෆ්‍රන්ට් රේන්ජ් ද සැන් වොන්, ලැරමි, මෙඩිසින් බෝ හා රේන්ජ් ඩි ක්‍රිස්ටෝ ද මෙහි ප්‍රමුඛ කඳුවැටිය.

ප්ලැට් ගඟ හා යෙලෝස්ටෝන් ගඟ අතර රොකී කඳු, බෙයාටූත්, බිග් හෝන්, යුඉන්ටා, වොසැච්, ඇබ්සාරෝකා ආදි කඳු වැටි කීපයකින් යුක්තය. වයෝමින් ද්‍රෝණිය මෙම මධ්‍යම රොකී කඳුවලට මැදිව පිහිටි භුමි ලක්ෂණයකි. බිග් හෝන් කඳුවැටි ප්‍රදේශය ග්ලැසියර ඛාදනයට භාජන වී ඇති බව පෙනේ. යමහල් පාෂාණයෙන් සැදි ඇබ්සාරෝකා වැටිය හා යෙලෝ ස්ටෝන් සානුව ආශ්‍රිත ප්‍රදේශයෙහි දැනුදු උණු දිය උල්පත් ආදිය තිබේ.

යෙලෝස්ටෝන් ගඟට උතුරින් වූ රොකී කඳු මණ්ඩලය භූවිද්‍යානුකූලව මෙන් ම ව්‍යූහය අතින් ද දකුණු හා මධ්‍යම රොකී කඳු ප්‍රදේශයට සමාන වුව ද එහි පැහැදිලිව වෙන් වෙන්ව හඳුනාගත හැකි කඳුවැටි නොමැතිය. එක් එක් අතට විහිදි කුඩා කඳුවැටි හා ගිරි කුළු රාශියක් මෙහි ඇත. අයිඩහෝ හා මොන්ටානා ප්‍රදේශයන්හි ඛාදනය නිසා ආග්නේය පාෂාණ මතු වී තිබේ. ගිරි අතර පහත් නිම්න හා සානු තෘතීයික නිධිවලින් පිරී ඇත. භූ විභේදනය නිසා හටගත් දොරු ද මෙහි බහුලය. රොකී මවුන්ටන් ට්‍රෙන්ච් නම් වූ භූමි ලක්ෂණය ඉන් එකකි.

ගිරිතර සානු

නැගෙනහිරින් රොකී කඳුවලට හා බටහිරින් පැසිපික් කඳුවලට මැදි වී ඇති ප්‍රදේශයෙහි උතුරේ සිට දකුණට කොලම්බියා සානුව, ද්‍රෝණි හා වැටි ප්‍රදේශය, කොලරාඩෝ සානුව යැයි දළ වශයෙන් වෙන් කළ හැකි ප්‍රධාන ගිරිතර සානු තුනක් ඇත. වර්ග සැතැපුම් 100,000ක් පමණ විශාල වූ මෙය අඩි 5,000ක් පමණ ගනකමට පැතිරී ඇති ලාවාවලින් හා බැසෝල්ට්වලින් වැසී ඇත. එක් කලක දී පැතිරී ගිය ලාවා කලක් මුළුල්ලෙහි ඛාදනය වීමෙන් පසුව නැවත වරක් පැතිරී ගිය ලාවා තට්ටුවලින් පොළොව වැසී යෑම නිසා හටගත් භූමි ලක්ෂණ මෙහි ඇත. ද්‍රෝණි හා වැටි ප්‍රදේශය නමින් හැඳින්වෙන කොටස එකිනෙකට සැතපුම් 6-10 පමණ ඈත්ව සැතපුම් 50-70 පමණ උතුරේ සිට දකුණට විහිදි කඳුවැටි රාශියකින් සැදී ඇත. නෙවාඩාහි ග්‍රේට් බේසින්, කැලිෆෝනියාවේ සොනොරන් කාන්තාරය හා මධ්‍යම ඇරිසෝනාව ආශ්‍රිත උස්බිම් ප්‍රදේශය මෙහි ප්‍රධාන භූ කොටස්ය. සාමාන්‍යයෙන් වර්ග සැතපුම් 130,000ක් පමණ විශාල වූ කොලරාඩෝ සානුව ප්‍රාක්කේම්බ්‍රිය ස්ඵටික පාෂාණයෙන් සැදී ඇති අතර, පේලියොසොයික හා තෘතීයික අවසාදිත පාෂාණ තට්ටුවලින් වැසී ඇත්තේය. කොලරාඩෝ සානුව මුහුදු මට්ටමේ සිට අඩි 5,000-11,000ක් උසය. භූ චලන හේතු කොටගෙන සානු උද්ගත වීම ද දේශගුණයේ වියළි බව ද නිසා මෙහි නිම්න පටුය. කැනියම් බහුලය. කොලරාඩෝ නිම්නයෙහි කොටසක් වූ ග්‍රෑන්ඩ් කැනියම මෙහි කැපී පෙනෙන භූමි ලක්ෂණයකි.

පැසිෆික් කඳු මණ්ඩලය

ඔරිගන්, වොෂිංටන් හා කැලිෆෝනියා යන වෙරළාසන්න ජනපද ඔස්සේ විහිදී ඇති සියෙරා නෙවාඩා හා කැස්කේඩ් කඳු ද ඔලිම්පික් හා ක්ලැමත් කඳුවැටි ද කැලිෆෝනියානු කෝස්ට් රේන්ජ් වැටි ද පැසිෆික් කඳු මණ්ඩලයට අයත් කඳුවැටිය.

කැස්කේඩ් හා නෙවාඩා කඳුවල සක්‍රිය යමහල් ආශ්‍රිත ශිඛර හා පාෂාණ බහුලය. කැස්කේඩ් කඳුවල ග්ලැසියර ඛාදනය නිසා ඇති වී තිබෙන භූ ලක්ෂණ බොහෝය. මවුන්ට් ශැස්ටා (14,161’) හා මවුන්ට් රේනියර් (14,408′) එහි ප්‍රධාන ශිඛර දෙකකි. අඩි 14,000ට අධික ශිඛර රාශියක් සහිත නෙවාඩා කඳුවල විභේද පැති ආදිය ඇත. පැසිෆික් කඳු මණ්ඩලයෙහි විභේද ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් හා නිම්න කීපයක් ද ඇත. වොෂිංටනයේ පියුජට් සවුන්ඩ් නම් මුහුදු තුඩුව ආශ්‍රිත පහත් බිම් හා ඔරිගන්හි විලාමෙට් නිම්නය ද කැලිෆෝනියානු ක්ලැමත් කඳුවලට නැගෙනහිරින් පිහිටි පහත් බිම් ද මින් ප්‍රධාන වේ. ප්‍රධාන භූගෝලීය ප්‍රදේශයක් වශයෙන් ගිණීමට තරම් විශාල නොවුව ද මෙම පහත් බිම් ආර්ථික වශයෙන් ඉතා වැදගත්ය.

ජල වහනය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජලවහන රටාව නැගෙනහිරින් අත්ලන්තික් සාගරයට ද දකුණින් මෙක්සිකෝ බොක්කට ද බටහිරින් ශාන්තිකර සාගරයට හා උතුරින් පංච මහා විල් දෙසට ද ඇති බෑවුම් අනුව යෙදී ඇත. ඇපලේචියන් කඳු මුදුනෙන් නැගෙනහිර දෙසට වූ සියලු ම ගංගාවෝ අත්ලන්තික් සාගරයට ගලා බසිත්. මෙරිමැක්, කෙනබෙක්, පෙනොබ්ස්කොට්, කනෙටිකට්, හූසාටොනික්, හඩ්සන්, ඩෙලවෙයාර්, පොටොමැක් හා සැවනා මින් ප්‍රධානය. පංච මහා විල්වලට ගලා බස්නා ගංගා එතරම් දිග නැත. නිව් යෝක් ප්‍රදේශයෙන් ගලා එන ජනිසි ගඟ ද බටහිරින් එන රෙඩ් ගඟ ද මින් ප්‍රධානය. ඉතා ම විශාල ජලවහන ප්‍රදේශය මිසිසිපි-මිසූරි හා ඔහායෝ ගංගා මණ්ඩලය ආශ්‍රිත නිම්නය යැයි කිව හැක. මෙහි ජලවහනය මෙක්සිකෝ බොක්කට යොමු වී ඇත.

ශාන්තිකර සාගරය දෙසට ගලාබස්නා ගංගාවන්ගෙන් කොලරාඩෝ ගඟ හැර අනෙක් ගංගා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අයත් සීමාවන්හි දී ම මුහුදට වැටේ. ශාන්තිකර බෑවුමෙහි ඉතා ම විශාල ගංගා නිම්නය කොලම්බියාය. සැක්‍රමෙන්ටෝ, සැන් වොකීන් හා ක්ලැමත් මෙහි වෙනත් වැදගත් ගංගාය.

දේශගුණය

සමශීතෝෂ්ණ කලාපයෙහි පිහිටිය ද රටෙහි විශාලත්වය හා විවිධ වූ භුමි ලක්ෂණයන්ගේ බලපෑම නිසා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි දේශගුණ කලාප කීපයක් ම ඇත. බටහිර සුළං කලාපයේ පිහිටිය ද මෙහි සුළං රටාව ද ප්‍රාදේශීය බලපෑම් නිසා විවිධ වී ඇත. විශේෂයෙන් ම වාසුළි බලපවත්නා විට සෑම අතින් ම සුළං හමා එයි. විටින් විට ඉතා වේගයෙන් හමා එන බටහිර ඉන්දියානු හරිකේන් යැයි හැඳින්වෙන වාසුළි සාමාන්‍යයෙන් හටගන්නා වාසුළිවලට වඩා චණ්ඩය. මෙම සුළං බටහිර ඉන්දියා දූපත් ප්‍රදේශයන්හි දී හටගෙන මෙක්සිකෝ ප්‍රදේශය හරහා රටේ ඊසාන දෙසට සමහර විට පැ.සැ. 500-600ක පමණ වේගයෙන් හමා යයි. උෂ්ණත්වයේ හදිසි අඩුවැඩි වීම්, කුණාටු සහිත වැසි ආදිය මෙම සුළං සමඟ ඇති වේ.

රටේ අක්ෂාංශීය පිහිටීම අනුව සාමාන්‍යයෙන් දකුණේ සිට උතුරට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. නැගෙනහිර වෙරළාශ්‍රිතව ගලන ජලගුල්ම ප්‍රවාහය හා බටහිර වෙරළාසන්නව ගලන කැලිෆෝනියා උෂ්ණ දියවැල නිසා තදාසන්න ප්‍රදේශයන්හි උෂ්ණත්වය සමගුණ වීමක් ඇති වේ. උතුරින් පංච මහා විල් ද ඒ ආසන්න ප්‍රදේශයන්හි දේශගුණය යහපත් කරවීමෙහි ලා බලපවත්වයි. ඇපලේචියන් කඳුවලින් නැගෙනහිර පෙදෙසත් මෙක්සිකෝ වෙරළත් ශාන්තිකර වෙරළාසන්න ප්‍රදේශයත් හැරුණ විට සෙසු ප්‍රදේශය සාමාන්‍යයෙන් වියළිය. විශේෂයෙන් 100° දේශාංශයෙන් බටහිර රොකී කඳුවල සුළං මුවාවෙහි පිහිටි උස් තැනි හා සානු ප්‍රදේශයෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 20”ට නොවැඩිය.

ශාන්තිකර සාගරික බලපෑම ලැබෙන ප්‍රදේශයෙහි වොෂිංටන් හා ඔරිගන් ජනපදවල සිසිල් සමශීතෝෂ්ණ සාගරික දේශගුණයක් ඇත. ග්‍රීෂ්ම ඍතුවේ දී හමන බටහිර සුළංවලින් වැඩි වර්ෂාව ලැබෙන මෙහි සා.වා.ව. අඟල් 34ක් පමණ වේ. ශීත ඍතුවේ දී සාමාන්‍ය උෂ්ණත්වය පැ. 40°ක් වන අතර ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 64°ක් පමණ වේ.

කැලිෆෝනියා ජනපදය ආශ්‍රිත ශාන්තිකර වෙරළ මධ්‍යධරණී දේශගුණයක් දරයි. මෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.60°කි. ශීත ඍතුවේ දී බටහිර සුළංවලින් වැඩි වර්ෂාව ලැබෙන මෙහි සා.වා.ව. අඟල් 40ක් පමණ වේ.

නැගෙනහිර ප්‍රදේශයෙහි නව එංගලන්තය හා උතුරු නිව් යෝක් අතර අත්ලන්තික් වෙරළේ සිට මහාද්වීප මධ්‍යය දක්වා ප්‍රදේශය ශීත සමශීතෝෂ්ණ මහාද්වීපික දේශගුණ ගති දක්වයි. මෙහි ශීත ඍතුවේ සා.උ.පැ. 25°ක් වන අතර ග්‍රීෂ්ම ඍතුවේ පැ. 70°ක් පමණ වේ. සා.වා.ව. අඟල් 34කි. විල්වල හා අත්ලන්තික් සාගරික බලපෑම ලැබෙන පෙදෙස්වල ශීත ඍතුව මීට වඩා ඉතා ස්වල්පයක් උණුසුම්ය. එම පෙදෙස්වලට අඟල් 40ක පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ඔහායෝ ජනපදයත් මෙක්සිකෝ වෙරළාසන්න ප්‍රදේශයත් අතර ප්‍රදේශයෙහි ශීත ඍතුවේ උෂ්ණත්වය පැ. 49°ක් වන අතර ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 81°ක් පමණ වේ. මෙහි සා.වා.ව. අඟල් 52කි. මෙක්සිකෝ වෙරළ හා ෆ්ලොරිඩා අර්ධද්වීපයෙහි දකුණු කොටස අර්ධ සමක කලාපීය දේශගුණ ලක්ෂණ දරයි. මෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 77°ක් පමණ වේ. සා.වා.ව. අඟල් 38කි. බටහිර දේශාංශ 100° සිට රොකී කඳුවල නැගෙනහිර බිම් දක්වා ප්‍රදේශය ඉතා වියළිය. මෙම අර්ධ කාන්තාර පෙදෙස්වල ශීත ඍතුවේ උෂ්ණත්වය පැ. 20°ක් වන අතර ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 70°ක් පමණ වේ. මෙහි සා.වා.ව. අඟල් 20කට අඩුය. මෙහි උතුරු කොටස දකුණු දිග ඇරිසෝනා ප්‍රදේශයට වඩා සිසිල්ය. ඇරිසෝනා ප්‍රදේශයෙහි වර්ෂාව ද අඩුය. එහි සා.වා.ව. අඟල් 7කි.

ස්වාභාවික වෘක්ෂලතා

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ස්වාභාවික වෘක්ෂලතා වශයෙන් වනාන්තර, තණබිම් හා කාන්තාර ශාක යයි ප්‍රධාන බෙදීම් තුනක් දැක්විය හැකිය. තණබිම් හා කාන්තාර ශාක රොකී හා ඇපලේචියන් කඳු අතර මහාද්වීපික මධ්‍යයට සීමා වී ඇති ප්‍රදේශයෙහි ව්‍යාප්තව ඇති අතර ශාන්තිකර වෙරළ හා රොකී කඳුවල බටහිර බෑවුම්හි එක් වනාන්තර ප්‍රදේශයක් ද ඇපලේචියන් කඳු හා අත්ලන්තික් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයෙහි අනෙක් වනාන්තර කොටසක් ද පවතී. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නැගෙනහිර ස්වාභාවික වනාන්තරවලින් දැනට ඉතිරිව ඇත්තේ 10% පමණ යැයි කිව හැකිය. ජන ව්‍යාප්තියත් සමඟ සෙසු වනාන්තර ජනාවාස සඳහා මෙන් ම ගොවි හා කර්මාන්ත බිම් සඳහාත් හෙළි කර ඇත. වොෂිංටන් හා ඔරිගන් ජනපදයන්හි ඉතා උස් කඳු බෑවුම්වල තුන්ද්‍රා හා ආක්ටික් පරිසරයක් ඇති හෙයින් එහි ටාමිගන් වැනි ආක්ටික් පක්ෂීහු ද සිටිති. ඊට මඳක් පහළ බෑවුම්වල ස්ප්රූස් හා ජුනිපර් ආදි කේතුධර වනාන්තර ඇත. මෙම වනාන්තරයන්හි සයිබීරියානු ටේගාහි වසන බීවර්, ඔටර්, වෘක ආදි සත්තු දක්නට ලැබෙත්. මූස් ඇමෙරිකානු කේතුධර වනාන්තරයන්ට විශේෂ වූ සත්වයෙකි. වොෂිංටන් හා ඔරිගන් ජනපදයන්හි පහත් බෑවුම්වල හා කැලිෆෝනියානු උස් බෑවුම්වල සීඩර්, හෙම්ලොක්, පයින්, ඩග්ලස් ෆ'ර්, රෙඩ්වුඩ් ආදි ශාක සහිත වනාන්තර ඇත. මධ්‍යධරණී දේශගුණයට විශේෂ වූ මිටි ඕක්, ඔලිව් වැනි සදාහරිත ශාකවලින් යුත් කැලිෆෝනියාවේ ස්වාභාවික වැවිල්ල චැපරල් නම් වේ. බටහිර වනාන්තර පටියෙහි ඊසාන දිග ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට සීමා වූ ප්‍රදේශයෙහි පයින්, බ’ච්, බීච්, මේපල්, හෙම්ලොක්, ඕක් ආදි තද ලී සහිත ශාක වැඩි වශයෙන් ඇත. ඇපලේචියන් කඳු ප්‍රදේශයෙහි චෙස්ට්නට්, ඕක්, පොප්ලර්, හිකරි ආදි ශාක වඩාත් බහුලය. මෙම කඳුවල බටහිර පැත්තෙහි නිම්න අතර සානු තණබිම්වලට සීමා වේ. උතුරු මධ්‍ය අක්ෂාංශ ආශ්‍රිතව පිහිටි නෙවාඩාහි අර්ධ කාන්තාර සේජ් බ්‍රෂ් නම් වූ ඝන පඳුරු සහිත ශාකයෙන් වැසී ඇත. මධ්‍ය මහා තැනිතලාවෙහි කෙන්ටකි හා ටෙනසි ජනපද ආශ්‍රිත ප්‍රදේශයෙහි උස් තණ සහිත ප්‍රේරී බිම් වේ. රට අභ්‍යන්තරයෙහි වියළි පෙදෙස්වල පොකුරු තණ සහිත ප්‍රේරී බිම් පිහිටියේය. බටහිර රොකී කඳු අතර සානු හා ද්‍රෝණි දෙසට යන්ට යන්ට තණ බිම් හීන වී ක්‍රමයෙන් අර්ධ කාන්තාරවලට හා කාන්තාරවලට විශේෂ වූ කටු පඳුරු හා පතොක් ආදිය දක්නට ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ තණබිම්වල බයිසන්, ඇන්ටිලෝප් ආදි සත්තු සිටිති. අර්ධ කාන්තාරීය පෙදෙස්වල උරගයෝ බහුල වෙත්. ගංගාබඩ පෙදෙස් සයිප්‍රස්, රතුගම් හා ටියුපෙලෝ යනාදි වෘක්ෂයන්ගෙන් වැසී ඇත. ෆ්ලොරිඩාවේ බටහිර වෙරළ අයිනේ කඩොල් වනාන්තර තීරයක් ඇත.

ඛනිජ

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ඛනිජ අතින් ඉතා පොහොසත් රටකි. ටින් හා නිකල් ලෝපස් හැර අනෙක් සියලු ම ඛනිජ මෙහි ඇතැයි කිව හැකිය. විශේෂයෙන් ම කාර්මික බලය සඳහා අත්‍යවශ්‍ය ඉන්ධන ඛනිජයන් වන ගල් අඟුරු, ඛනිජ තෙල් හා භූමිවායුව (natural gas) මෙහි බහුලව ලැබේ. ඛනිජ තෙල් රටේ ඉතා ම අගනා ඛනිජය ලෙස ගිණිය හැකිය. මුළු ලෝකයේ ඛනිජ තෙල් ඉපයුමෙන් අඩක් පමණ සපයන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සිය ඉපයුමෙන් 90%ක් පමණ පරිහරණය කරයි. ඛනිජ තෙල් නිධි රටෙහි තැනින් තැන පිහිටා ඇතත් ප්‍රධාන තෙල් බිම් ටෙක්සස්, ඔක්ලහෝමා, ලුයිසියානා, ඉලිනොයි හා කැලිෆෝනියා යන ජනපදයන්ට සීමා වී ඇත. නිව් යෝක් ජනපදයේ සිට බටහිර ව'ජිනියා දක්වා විහිදි ඇපලේචියන් තෙල් බිම්වලින් ලැබෙන ඛනිජ තෙල්, වර්ගය අතින් ඉතා උසස්ය. ඔහායෝ හා ඉන්දියානා යන ජනපද දෙකෙහි පිහිටි ලීමා-ඉන්දියානා පතල් බිම්වල ඛනිජ තෙල් නිධි ඇත්තේ හුනුගලෙහිය. මෙහි නිධි විශාල වුවද අපවිත්‍ර ද්‍රව්‍ය බහුල හෙයින් මේවායින් වැඩි වශයෙන් ම කරනුයේ ගැසොලින් හා පැරෆින් පෙරා ගැනීමය. මිචිගන් විලෙහි දකුණු ඉවුරේ සිට ඔහායෝ ගංගාව දක්වා විහිදි ඉලිනොයි තෙල් බිම්වල ශල්ක හා අංගාරධර මණ්ඩලීය හුනුගලෙහි රැඳි තෙල් නිධි ඇත. මෙහි තෙල් වර්ග විවිධය. සාමාන්‍යයෙන් රටේ උතුරට සීමා වූ මෙම තෙල් බිම් තුන එම කර්මාන්තයේ ආරම්භයේ දී ම කණිනු ලැබූ ප්‍රදේශයෝය. බොහෝ කාලයක් තිස්සේ තෙල් හාරා ගැනීම නිසා මේවායේ නිධි බොහෝ දුරට හීන වී තිබේ. තවමත් නිධිවල ඇති බාල වර්ගයේ ඛනිජ තෙල් වුව ද ලබාගැනීම උදෙසා නොයෙකුත් නවීන කැණීම් ක්‍රම මෙහි භාවිත වේ.

රටේ දකුණෙහි මෙක්සිකෝ වෙරළාසන්නව හා මහාද්වීපික මධ්‍ය ප්‍රදේශයෙහි ඉතා වැදගත් තෙල් බිම් දෙකක් ඇත. 1940 පමණේ දී ලෝකයේ තෙල් ඉපයුමෙන් 40%ක් පමණ ටෙක්සස්, ලුයිසියානා හා ඇලබාමා යන ජනපදවලින් ලැබිණ. මෙම ප්‍රදේශයන්හි උපදින ඛනිජ තෙල්වලින් වැඩි කොටස උතුරෙහි හා දකුණේ මෙක්සිකෝ වෙරළබඩ තෙල් ශෝධනාගාරයන්ට නළ මගින් යවනු ලැබේ. වයෝමිං හා මොන්ටානා ජනපදයන්හි රොකී කඳු ආශ්‍රිතව තන්හි තන්හි විහිදි කුඩා තෙල් නිධි රාශියක් වේ. මෙහි තෙල් ද වර්ගයෙන් ඉතා උසස්ය. කැලිෆෝනියාවෙහි ලොස් ඇන්ජලීස් අවට ප්‍රදේශයෙහි හා සැන් වොකීන් නිම්නයෙහි ද වැදගත් තෙල් නිධි ඇත. භූවිද්‍යාඥයන්ගේ නිගමනයන් අනුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙන් අනාගතයේ දී අඩු වශයෙන් තෙල් පීප්ප කෝටි 3000ක් පමණ ලබා ගත හැකි විය යුතුය. මේ තෙල් ප්‍රමාණයන් නිශ්චය කිරීමේ දී සැලකිල්ලට භාජන නොවූ තෙල් සහිත ශල්ක පාෂාණ ද විශාල ප්‍රමාණයක් එහි ඇත.

රටේ ඛනිජ තෙල් හා සමාන වැදගත්කමින් යුත් අනෙක් ඛනිජය ගල් අඟුරුය. පෙන්සිල්වේනියානු හා ඇපලේචියානු ගල් අඟුරු බිම්, නැගෙනහිර අභ්‍යන්තර හා බටහිර අභ්‍යන්තර ගල් අඟුරු බිම් හා රොකී කඳු ආශ්‍රිත ගල් අඟුරු බිම් එරට ප්‍රධාන අඟුරු බිම්ය. පෙන්සිල්වේනියාවෙන් ලැබෙන ප්‍රජතු ගල් අඟුරු (anthracite) හා ඇපලේචියානු අඟුරු කෙත්වලින් ලැබෙන ඡතු ගල් අඟුරු (bitumen) ද වර්ගයෙන් ඉතා උසස්ය. ගල් අඟුරු ආකර කර්මාන්තයේ දියුණුවත් සමඟ ම මෙහි නිෂ්පාදිත කර්මාන්ත ද දියුණු වී ඇති හෙයින් ප්‍රදේශයේ උපයන ගල් අඟුරු ප්‍රමාණය මුළුමනින් ම පාහේ එහි වැය වේ. පිට්ස්බ'ග් ප්‍රදේශය මෙම ආකර කර්මාන්තයේ මධ්‍යස්ථානය ලෙස ගිණිය හැක. රටේ ජතු ගල් අඟුරු ඉපයුමෙන් 25%ක් පමණ සපයන බටහිර ව’ජිනියාවෙහි ද පිට්ස්බ'ග් ප්‍රදේශයේ මෙන් ඒකාකාරව විහිදි නිධි ආකර කර්මාන්තයට මහෝපකාරී වී ඇත. අභ්‍යන්තර ගල් අඟුරු බිම් ඉන්ඩියානා, ඉලිනොයි හා කෙන්ටකි යන ජනපද ආශ්‍රිතව විහිදී ඇත. මෙහි ගල් අඟුරු, වර්ගය අතින් ඉස්තරම් නොවන අතර ආකර කර්මාන්තයට බාධාකාරී වූ සාධක කීපයක් ද මෙහි ඇත. රොකී කඳු ආශ්‍රිතව කුඩා ගල් අඟුරු බිම් රාශියක් ම ඇත. මෙහි ගල් අඟුරු වර්ගයෙන් උසස්ය. රටේ ඉතිරිව පවත්නා ගල් අඟුරු නිධි ශතවර්ෂ ගණනාවකට ප්‍රමාණවත් වේ යැයි ගණන් බලා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි භූමි වායුව ද කාර්මික බලය සඳහා බෙහෙවින් යෙදේ. 1930 පටන් භූමි වායුව ලබාගැනීමේ කර්මාන්තය වර්ෂයකට 10%ක් පමණ බැගින් වැඩි දියුණු වී ඇත. 1927 දී භූමි වායුව නළ මඟින් බෙදා හැරීමට විධිවිධාන යෙදීම මෙම දියුණුවට හේතු වී ඇත.

කාර්මික ඛනිජ අතුරෙන් මෙහි වඩාත් වැදගත් වනුයේ යපස්ය. සම්පූර්ණ ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් පංගුවක් පමණ උපයන මෙහි වඩාත් ම වැදගත් යපස් නිධි සුපීරියර් විල අවට ප්‍රදේශයෙහි පිහිටා ඇත. මෙසාබි වැටිය (Mesabi range) ලෝක ප්‍රසිද්ධ යපස් නිධියකි. ඇඩිරොන්ඩැක් හා ඇපලේචියන් කඳු ප්‍රදේශ ද ඇලබාමාහි බ'මිංහැම් ද යපස් ආකර කර්මාන්තය දියුණු වෙනත් ප්‍රදේශයෝය. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධ සමයේ දී හා ඉන්පසු කාලයේ දී මෙහි යපස් නිධි බෙහෙවින් භාරා ගනු ලැබූ හෙයින් කර්මාන්තයේ අනාගත පැවැත්ම උදෙසා දැනටමත් වෙනත් ප්‍රදේශවලින් යපස් ගෙන්වා ගනු ලැබේ. ඉස්තරම් යපස් නිධි රැක ගැනීම උදෙසා බාල වර්ගයේ නිධි ද වැඩි වැඩියෙන් හාරා ගනු ලැබේ.

තඹ, ඊයම් හා තුත්තනාගම් වැඩියෙන් ම නිපදවන රට මෙය යයි කිව හැක. ඇරිසෝනා, යූටා, මොන්ටානා හා නෙවාඩා තඹ නිපදවන ප්‍රධාන ජනපදය. රොකී කඳු ප්‍රදේශයෙහි ද මිසූරි, ඔක්ලහෝමා, කැන්සස්, නිව් යෝක්, නිව් ජ’සි හා ටෙනසි යන ජනපදයන්හි ද ඊයම් හා තුත්තනාගම් ආකර කර්මාන්තය ඉතා දියුණුය. ආකැන්සස්හි බෝක්සයිට් ආකර කර්මාන්තය දියුණුව ඇතත් එය රටේ කාර්මික අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන හෙයින් දකුණු ඇමෙරිකාවෙන් ද බෝක්සයිට් ගෙන්වා ගනු ලැබේ. මැංගනීස්, ක්‍රෝමියම්, නිකල් හා රසදිය ආකර ද ඇතත් එම ඛනිජ පිටරටවලින් ද ගෙන්වා ගනු ලැබේ. අගනා ඛනිජ අතුරෙන් රත්රන් හා රිදී ඉතා ම බහුලව ලැබෙන ඛනිජයෝය. දකුණු ඩැකෝටා, මොන්ටානා හා නෙවාඩා රත්රන් ලැබෙන ප්‍රධාන ජනපද වේ. රිදී ආකර කර්මාන්තය වඩාත් දියුණු නෙවාඩාහිය. ලුයිසියානා හා ෆ්ලොරිඩා ජනපද පොස්පේට් හා ගෙන්දගම් සපයන ජනපදය. මිචිගන්, නිව් යෝක් හා ඔහායෝ ජනපදවල ගල් ලුණු කර්මාන්තය දියුණු වී ඇති අතර මිචිගන් හා කැලිෆෝනියා ජනපදවල කරදිය වාෂ්පීකරණයට භාජන කොට ලුණු ලබා ගනු ලැබේ. (ඇලස්කාවබ.)

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ස්වාභාවික සම්පත් අතුරෙන් ගංගා වැදගත් ස්ථානයක් උසුලයි. ප්‍රවාහණය, ජල විදුලි බලය හා ජල සම්පාදනය ආදිය සඳහා මෙහි ගංගා යොදවාගෙන ඇත. නැගෙනහිර ප්‍රදේශයෙහි ඇලි ඉමේ පිහිටි නගර සියල්ලක් ම පාහේ ජල විදුලි බලය ඉපයීමේ මධ්‍යස්ථානයෝය. ග්රෑන්ඩ් කූලි, බෝල්ඩර්, ෆ්‍රයන්ට් හා මාෂල් ෆෝඩ් විශේෂයෙන් ම ජල සම්පාදනය සඳහා ඉදි කර ඇති මහා බැමිවලින් කීපයකි.

ආර්ථික කටයුතු

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ලෝකයේ ඉතා ම වැදගත් කාර්මික රටක් වුව ද කෘෂිකර්මාන්තය සඳහා ද එහි විශාල ඉඩම් ප්‍රමාණයක් යොදා තිබේ. සස්‍ය වගාව සඳහා යොදා ඇති බිම් ප්‍රමාණය අක්කර 40 කෝටියක් පමණ විය හැකි යැයි ගණන් බලා ඇත. පස, දේශගුණය ආදි කරුණු අනුව මෙහි කෘෂිකාර්මික ප්‍රදේශ බෙදී ව්‍යාප්ත වී ඇත්තේය. ඒ ඒ කලාපයෙහි ප්‍රධාන වශයෙන් වගා කරන බෝග අනුව ඒ ඒ කලාප හඳුන්වනු ලැබේ. දළ වශයෙන් බ.දේ. 100°ට නැගෙනහිරින් පවත්නා ප්‍රදේශයෙහි නැගෙනහිරේ සිට බටහිරට විහිදි කෘෂිකාර්මික කලාප කීපයක් වෙන් කර දැක්විය හැකිය.

ෆ්ලොරිඩා අර්ධද්වීපය ඇතුළු මෙක්සිකෝ වෙරළාසන්න තීරය ප්‍රධාන වශයෙන් තෙත් උපනිවර්තන බෝග වගා කරන ප්‍රදේශයකි. වී හා උක් මෙහි බහුලව වගා කරනු ලැබේ. මීට යාබදව උතුරින් පිහිටියේ කපු තීරයයි. අවුරුද්දකට තුහින රහිත දවස් දෙසීයක් වත් නොපවත්නා සීමාවෙන් ඔබ්බට කපු වැවිය නොහැක. අඟල් 20 සමවර්ෂා රේඛාව කපු තීරයෙහි බටහිර සීමාවයි. ජල වහනය අයහපත් වීමත් ශරත් ඍතුවේ වර්ෂාපතනය අධික වීමත් නිසා මෙක්සිකෝ වෙරළාසන්න පෙදෙස්වල කපු වැවීම එතරම් සාර්ථක නැත. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රධාන වෙළඳ බෝගය කපු යයි කිව හැකිය. 1960 දී කපු වගාව සඳහා අක්කර 15,634,000ක් යොදා තිබුණ බව වාර්තා වී ඇත. ටෙක්සස්, කැලිෆෝනියා, මිසිසිපි, ආකැන්සස්, ඇරිසෝනා, ඇලබාමා, ටෙනසි, ජෝජියා, ලුයිසියානා, දකුණු කැරොලයිනා, මිසූරි, ඔක්ලහෝමා, නිව් මෙක්සිකෝ හා උතුරු කැරොලයිනා කපු උපදවන ජනපද වශයෙන් පිළිවෙළින් නම් කළ හැක. පසුගිය අවුරුදු විස්ස තුළ කපු කර්මාන්තය සඳහා නොයෙකුත් යන්ත්‍රෝපකරණ භාවිතයට යොදා ඇතත් මෙහි වෙළඳ බෝග අතුරින් මිනිස් ශ්‍රමය වඩාත් උපයෝගී කොට ගන්නා වැවිල්ල මෙය වේ. කපු තීරයෙහි තන්හි තන්හි ඉරිඟු වවන ලැබුවත් ආහාර සඳහා ඉරිඟු මෙන් ම වෙනත් ආහාර ද්‍රව්‍ය ද රාශියක් පිට ප්‍රදේශයන්ගෙන් ගෙන්වා ගනු ලැබේ.

කපු තීරයට උතුරින් දළ වශයෙන් අවුරුද්දකට තුහින රහිත දින 140කින් යුත් සීමාවට දකුණින් ද අඟල් 8 සමවර්ෂා රේඛාවට නැගෙනහිරින් ද විහිදි ප්‍රදේශය ඉරිඟු තීරය වශයෙන් හැඳින්විය හැකිය. ඉලිනොයි, අයෝවා, නැගෙනහිර නෙබ්‍රස්කා හා දකුණු මිනසෝටා ප්‍රධාන ඉරිඟු බිම් වශයෙන් ද බටහිර ඔහායෝ හා ඉන්ඩියානා ද්විතීය ඉරිඟු බිම් වශයෙන් ද හැඳින්විය හැකිය. එහෙත් මෙම ප්‍රදේශය කපු තීරය තරම් ම ඒකීය කෘෂිකාර්මික ප්‍රදේශයක් නොවේ. රටේ විශාල නිෂ්පාදන කර්මාන්ත බිම් ද මෙහි ම පිහිටියේය. එහෙයින් මෙහි ආර්ථික කටයුතු ඉතා විවිධ වේ. විශාල කාර්මික ජන සමූහයක් මෙහි වෙසෙන හෙයින් ආහාර ද්‍රව්‍ය සඳහා එළවළු හා පලතුරු වැවීම ද විශේෂයෙන් ම ඌරන් හා ගවයන් ඇති කිරීම ද ඉතා දියුණු වී ඇත. ශස්‍ය මාරු කිරීමේ ක්‍රම ද භාවිත කරන හෙයින් අවුරුද්ද තුළ දී එක් බිම් ප්‍රදේශයකින් බෝග කීපයක් මෙහි ගොවියා ලබා ගනී. කෘෂිකාර්මික කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ භාවිතය මෙහි බහුලයි. ඉරිඟු තීරයෙහි නිරිත දිග ප්‍රදේශයෙහි තිරිඟු වගාව ද ඊසාන දිග ප්‍රදේශයෙහි එළවළු හා පලතුරු වගාව ද ඉරිඟු වගාවට මහත් තර්ජනයක් වී ඇත. 1961 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ලබා ගත් ඉරිඟු අස්වැන්න බුසල් 3,624,313,000ක් පමණ වේ. මේ හැර සත්ව ආහාර සඳහා විශාල ඉරිඟු ප්‍රමාණයක් වැය වේ.

ඉරිඟු තීරයට උතුරින් කැන්සස්, ඔක්ලහෝමා, ටෙක්සස්, නෙබ්‍රස්කා, උතුරු ඩැකෝටා, ඉලිනොයි, කොලරාඩෝ, වොෂිංටන්, මොන්ටානා, ඔහායෝ, ඉන්දියානා, මිසූරි, මිචිගන්, අයිඩහෝ හා දකුණු ඩැකෝටා යන ජනපද ආශ්‍රිතව රටේ තිරිඟු වගාව කෙරෙන ප්‍රධාන පෙදෙස් පිහිටා ඇත. උතුරු ඩැකෝටා ජනපදයේ හා අවට පෙදෙස්වල කැනඩාවේ ප්‍රේරී තිරිඟු බිම්වල මෙන් වසන්තයේ දීත් කැන්සස්,නෙබ්‍රස්කා, ඔක්ලහෝමා, උතුරු ටෙක්සස් යන ජනපදවල හා ඉරිඟු තීරය ආශ්‍රිත පෙදෙස්වල ශිශිර ඍතුවේ දීත් තිරිඟු වවනු ලැබේ. 1961 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි තිරිඟු අස්වැන්න බුසල් 1,234,705,000ක් පමණ විය. මෙහි තිරිඟු සියල්ල ම පාහේ ජලයාත්‍රා හෝ දුම්රිය මඟින් තොග වශයෙන් පරිවහණය කරනු ලැබේ. මිනියපොලිස්, චිකාගෝ, සාන්ත ලුවිස්, කැන්සස් හා බෆලෝ යන නගරයන්හි තිරිඟු පිටි ඇඹරීමේ කර්මාන්තය දියුණු වී ඇත.

නව එංගලන්තය හා නිව් යෝක් ජනපදවල විශේෂයෙන් ම ඇපල් ආදි පලතුරු වැවීම ද මධ්‍ය අත්ලන්තික් ජනපදයන්හි පලතුරු මෙන් ම එළවළු වැවීම ද මේන් හා ඇඩිරොන්ඩැක් කඳු ප්‍රදේශයන්හි සත්ව ආහාර සඳහා වූ තෘණ වර්ග වගා කිරීම හා වන කර්මාන්තය ද ව්‍යාපාරික කෘෂිකාර්මික කටයුතු වශයෙන් වැදගත්ය.

කපු, ඉරිඟු හා තිරිඟු තීරයන්ට බටහිරින් ද ශාන්තිකර වෙරළට නැගෙනහිරින් ද පිහිටි කඳු හා සානු ප්‍රදේශය වියළිය. එහෙයින් එහි බෝග වගාව එතරම් දියුණු නැත. සමහර උස් සානුවල හා රොකී කඳු පාවුල මහා තැනිබිම්වල විශේෂයෙන් ම මස් පිණිස ගවයන් ඇති කිරීම දියුණුය. ගවයන් ධාන්‍ය තීරයෙහි ගවපට්ටිවලට යවා තරකර අනතුරුව ඝාතන ස්ථානයන්ට යැවීම සිරිතයි. කිරි පට්ටි පාලනය වඩාත් දියුණුව ඇත්තේ විල් අවට පෙදෙස්වල හා ඊශාන දිග ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහිය. විස්කොන්සින් ප්‍රධාන වශයෙන් කේජු හා බටර් නිපදවන ජනපදයයි. මිනසෝටා හා අයෝවා ජනපදයන්හි ද බටර් කර්මාන්තය වැදගත් වේ. රටේ නැගෙනහිර අර්ධයෙහි ඌරන් ඇති කිරීම ද ඉතා දියුණුය. වියළි බටහිර අර්ධයෙහි බැටළුවන් ඇති කරත්. අත්ලන්තික් සාගරය, ශාන්තිකර සාගරය හා අභ්‍යන්තර විල් ආදි ජලාශයන් ද ආශ්‍රිතව ධීවර කර්මාන්තය බෙහෙවින් කරගෙන යනු ලැබේ.

නිෂ්පාදන කර්මාන්ත

යෑම් ඊම් පහසුකම් ඇති ස්ථානයන්හි පිහිටියාවූත් වර්ගයෙන් උසස් වූත් ගල් අඟුරු හා යකඩ ද වෙනත් ලෝහ ද්‍රව්‍යයන් ද බහුල වීම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි නිෂ්පාදන කර්මාන්තයන්ගේ දියුණුවට අදාළ වූ ප්‍රධාන සාධකයකැයි කිව හැකිය. පළමුවෙන් ඇති වූ ජනපදයන්හි ප්‍රථම කර්මාන්ත බිම් ඇති විය. නව එංගලන්තය, නිව් යෝක් හා බෝල්ටිමෝර් සිට චිකාගෝ මිල්වෝකි හා සාන්ත ලුවිස් දක්වා වූ ප්‍රදේශයෙහි රටේ කාර්මික නිෂ්පාදිතයන්ගෙන් තුනෙන් දෙපංගුවක් පමණ නිපදවනු ලැබේ.

නොයෙකුත් කර්මාන්තයන්හි යෙදී සිටින ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආහාර වර්ග පිළියෙල කිරීම රටේ ප්‍රධාන කර්මාන්තයක් වී තිබේ. ගොවිපළවලින් ලැබෙන කිරි, එළවළු, මස් හා පලතුරු අලුත් පිට ම පාරිභෝගිකයා වෙත යැවීමට පිළියෙල කිරීම මෙන් ම ඒවා කල්තබා ගැනීම සඳහා ටින්වල ඇහිරීම ආදිය ද මෙහි වැදගත් කර්මාන්තය. පාන්, විස්කෝත්තු හා චොකලට් සෑදීම ද කර්මාන්ත වශයෙන් සඳහන් කළ හැකිය.

නව එංගලන්තය හා ඇලි ඉමේ පිහිටි ජනපද කපු පිළී කර්මාන්තය ඉතා දියුණු ප්‍රදේශයෝය. රටේ මුල් පදිංචිකාරයන් විසින් අරඹන ලද මෙම කර්මාන්තය එම ප්‍රදේශයන්හි පැවති භූගෝලීය සාධක නිසා වඩාත් දියුණු විය. කපු වගා කරන තීරයෙහි ද කපු පිළී නිෂ්පාදනය දියුණු වී තිබේ.

මැසචුසෙට්ස් හා ෆිලඩෙල්ෆියා යන ජනපද ලෝම පිළී විවීමේ ප්‍රධාන මධ්‍යස්ථාන වශයෙන් සඳහන් කළ හැකිය. නිව් ජ'සි හා පෙන්සිල්වේනියාව සේද කර්මාන්තය දියුණු ජනපදයෝය. රේයොන් හා නයිලොන් ආදි කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් රෙදිපිළී නිපදවීම ද ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කොට ගත් පේශකර්මාන්තය පැවති ප්‍රදේශයන්හි ම දියුණු වි තිබේ. රෙදිපිළී විවීම පමණක් නොව ඇඳුම් කර්මාන්තය ද විශාල නගරයන්හි විශේෂ වැදගත්කමක් උසුලයි. රෙදිපිළී සඳහා සායම් වර්ග අවශ්‍ය වීම නිසා රසායනික ද්‍රව්‍ය නිපදවීම ද පේශකාර්මික මධ්‍යස්ථානයන්ට නුදුරුව දියුණු වී තිබේ. වෙනත් වැදගත් නිෂ්පාදන කර්මාන්ත අතුරෙහි කඩදාසි නිපදවීම හා මුද්‍රණය, මැටි භාජන හා පිඟන් සෑදීම, සිගරැට් හා සුරුට්ටු කර්මාන්ත යන මේවා සඳහන් කළ හැක. රබර් භාණ්ඩ නිෂ්පාදනය ද ඉතා වැදගත්ය. ඇක්රොන් රබර් කර්මාන්තයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයයි.

යකඩ හා වානේ කර්මාන්තය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ඉතා ම විශාල නිෂ්පාදන කර්මාන්තය යැයි කිව හැකිය. ගල් අඟුරු හා යකඩ නිධිවලට සමීපව යකඩ හා වානේ කම්හල් පිහිටා ඇතත් යම් යම් නිෂ්පාදිත සම්බන්ධයෙන් විශේෂ වූ මධ්‍යස්ථාන ඇත. ෆිලඩෙල්ෆියා ආදි පේශකර්මාන්ත මධ්‍යස්ථානයන්ට නුදුරුව එම කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීම මීට නිදසුන්ය. අමුද්‍රව්‍ය පිහිටි ස්ථානයන්හි හා ඒවාට නුදුරු ස්ථානයන්හි අමුද්‍රව්‍ය වැඩියෙන් වැය වන යන්ත්‍රෝපකරණ නිපදවීමත් දුරින් පිහිටි ස්ථානයන්හි වැඩිපුර අමුද්‍රව්‍ය අවශ්‍ය නොවන සියුම් යන්ත්‍රෝපකරණ නිපදවීමත් සාමාන්‍ය සිරිතයි. ඩිට්රොයිට්, ඉන්දියානාපොලිස්, ක්ලීව්ලන්ඩ්, බෆලෝ යනාදි ස්ථානයන්හි මෝටර් රථවාහන කර්මාන්තය දියුණු වී ඇත. මෝටර් රථවාහන නිෂ්පාදන මධ්‍යස්ථානයන්ට සම්බන්ධව පිත්තල හා ලෝකඩ කර්මාන්තය ද සංකේන්ද්‍රිත වී ඇත. යකඩ හා වානේ පහසුවෙන් ලැබෙන ස්ථානයන්හි අනෙක් දියුණු කර්මාන්තය දුම්රිය හා දුම්රිය මාර්ග තැනීමයි. ජ'සි සිටි, චිකාගෝ හා බෆලෝ එම කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛය.

කැලිෆෝනියාවේ කේන්ද්‍රිත වී ඇති චලන චිත්‍රපටි කර්මාන්තය ද ගැල්වෙස්ටන්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ ආදි නගරයන්හි පැට්රෝලියම් පිරිසිදු කිරීමේ කර්මාන්තය ද වෙනත් වැදගත් කර්මාන්තයෝය. අත්ලන්තික් හා ශාන්තිකර වෙරළ අද්දර පිහිටි නගර කිහිපයක ම නැව් සෑදීමේ කර්මාන්තය වැදගත් වේ.

ඇ.එ.ජ. රාජ්‍යයෙහි නිෂ්පාදන කර්මාන්ත ව්‍යාප්ත වී ඇති අන්දම නිරීක්ෂණය කළ විට නොයෙක් කර්මාන්ත සංකේන්ද්‍රිත වී ඇති ස්ථාන කිහිපයක් පෙනේ.

කුඩා ලෝහ භාණ්ඩ, රෙදිපිළී හා පාවහන් නිපදවන නැගෙනහිර නව එංගලන්ත ප්‍රදේශය, ඔර්ලෝසු හා විදුලි උපකරණ වැනි සියුම් උපකරණ නිපදවන නිරිත දිග නව එංගලන්ත ප්‍රදේශය, රෙදිපිළී, රසායන ද්‍රව්‍ය, දුම්කොළ, පාවහන් හා කඩදාසි නිපදවන්නා වූ ද මුද්‍රණ වැඩ දියුණුව පවත්නාවූ ද නිව් යෝක් නගරය, දුම්රිය යන්ත්‍රයේ පටන් ඉදිකටුව දක්වා වූ නොයෙකුත් ලොකු කුඩා යකඩ හා වානේ යන්ත්‍රෝපකරණ නිපදවන ගිනිකොන දිග පෙන්සිල්වේනියාව, මෝටර් රථවාහන, විදුලි යන්ත්‍රෝපකරණ, රෙදිපිළී, සායම්, ටයර් ආදි විවිධ දෑ නිපදවන පිට්ස්බ'ග් ක්ලීව්ලන්ඩ් ප්‍රදේශය, වැඩි වශයෙන් මෝටර් රථවාහන නිපදවන දකුණු මිචිගන් ප්‍රදේශය, මස් ඇහිරීම, බීර පෙරීම, රෙදිපිළී සහ යකඩ හා වානේ ද්‍රව්‍ය නිපදවන ඔහායෝ-මිල්වෝකි ප්‍රදේශය හා සාන්ත ලුවිස් ප්‍රදේශය, චලන චිත්‍රපටි නිෂ්පාදනය, පලතුරු වැවීම, වියළීම හා ටින්වල ඇහිරීම සහ පැට්රෝලියම් කර්මාන්තය දියුණු කැලිෆෝනියා ප්‍රදේශය, පිටි ඇඹරීම සහ විද්‍යාත්මක ලෙස ආහාර ද්‍රව්‍ය සකස් කිරීම විශාල කර්මාන්ත කොටගත් කැන්සස්, මිනියපොලිස් හා සාන්ත පෝල් යන නගර, ලෝම පිළී, හම් හා සපත්තු කර්මාන්ත දියුණු බොස්ටන් ප්‍රදේශය යන මේවා එකී ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානයෝය.

රටේ මුළු වර්ග ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ දැව කර්මාන්තය සඳහා යෙදිය හැකි වනාන්තරයන්ගෙන් වැසී ඇත. ඩග්ලස් ෆ’ර් හා යෙලෝ පයින් ප්‍රමුඛ වෙනත් තද හා මෘදු ලී වර්ග මෙම වනාන්තරවලින් කපා ගත හැකි වේ. ළැව් ගිනි නිසා මෙම වනාන්තරයන්හි වටිනා දැව රාශියක් අවුරුදු පතා විනාශ වී යෑමත් නිරර්ථක ලෙස ගස් කපා දැමීමත් වළකනු සඳහා ආරක්ෂක උපක්‍රම යොදනු ලැබේ. ජාතික වනාන්තර හෝ එක් එක් ජනපද මගින් පාලනය කරනු ලබන වනාන්තර හෝ බහුල බටහිර ප්‍රදේශයෙහි වන සංරක්ෂණය ඉතා දියුණු නමුත් වනාන්තරවල අයිතිය පෞද්ගලිකව පවත්නා නැගෙනහිර ජනපදවල තතු ඊට වෙනස්ය. නව එංගලන්තය, මේන්, නිව් හැම්ප්ෂයර් හා ව'මොන්ට් ද මෙක්සිකෝ වෙරළාසන්න ජනපද ද මෘදු දැව කර්මාන්තය දියුණු පෙදෙස් වශයෙන් වැදගත් වෙයි. විශේෂයෙන් ම දැව පිණිස ඉතා විශාල ගස් ලබා ගත හැකි ඩග්ලස් ෆ’ර් සහිත වනාන්තර වොෂිංටන් ජනපදය ප්‍රමුඛ ශාන්තිකර වෙරළාසන්න ජනපදවල ඇත. වන නිෂ්පාදිත අතුරෙන් කඩදාසි හා පල්ප් සඳහා යොදන දැව ප්‍රමාණය රටේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවේ. නැව් කර්මාන්තය සඳහා දැවත් ටර්පන්ටයින්, දුම්මල හා පයින් තාර ආදි වෙනත් නිෂ්පාදිතත් දැව කර්මාන්තයෙන් ලැබේ. රථවාහන හා ගොවි උපකරණ ආදිය නිපදවීමේ කර්මාන්ත කලින් වන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටිය ද යකඩ හා වානේ වැනි වෙනත් ද්‍රව්‍ය එම භාණ්ඩ නිෂ්පාදනයට යෙදීම නිසා වන කර්මාන්තය හා එම කර්මාන්ත අතර මුලින් පැවති සම්බන්ධය දැන් සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත.

පරිවහණය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජනාවාස ඇති වූ මුල් අවධියෙහි විශේෂයෙන් ම මිසිසිපි ගඟ හා එහි අතු ගංගා පරිවහණය සඳහා ප්‍රයෝජනවත් වුව ද වැඩි වශයෙන් නැගෙනහිර වෙරළෙහි සිට බටහිර දෙසට යෑමට ඊමට මෙම ගංගා පද්ධතිය එතරම් ඉවහල් නොවීය. ඇපලේචියන් කඳුවලින් අත්ලන්තික් වෙරළ දෙසට ගැලූ ගංගාවන්ගේ දිය ඇලි බොහෝ වූ හෙයින් මුල් පදිංචිකාරයින්ට ගමන් මාර්ග වශයෙන් එම ගංගා ද එතරම් ප්‍රයෝජනවත් නොවීය. 1825 දී ඊරි ඇළ විවෘත කිරිමෙන් පසුව මහා විල් ජලමාර්ගයක් වශයෙන් වඩාත් වැදගත් විය. දැනට ගංගා හා ඇළමාර්ග වැඩි කොට ම ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගල් අඟුරු, පැට්රෝලියම්, ගල්, වැලි ආදි ද්‍රව්‍ය කෙටි දුරක් එහා මෙහා ගෙනයෑම සඳහාය. රටේ ඉතා ම වැදගත් අභ්‍යන්තර ජල මාර්ගය මහා විල් හා සම්බන්ධය. අත්ලන්තික් වෙරළේ සිට රට අභ්‍යන්තරයට සැතැපුම් 1000ක් පමණ දුර මෙම විල් ආශ්‍රිත ජල මාර්ගය ඔස්සේ යා හැකි වේ. මුළු රටේ උපදවන තිරිඟු ප්‍රමාණයෙන් අඩක් පමණ මෙම විල් ඔස්සේ නොයෙක් ස්ථානයන්ට ගෙන යනු ලැබේ. වෙරළාසන්නව යාත්‍රා කරන නැව්වලින් කපු, දැව හා ගල් අඟුරු එහා මෙහා ගෙන යනු ලැබේ. 1914 දී පැනමා ඇළ විවෘත කිරීමෙන් පසුව අත්ලන්තික් හා ශාන්තිකර වෙරළාසන්න යාත්‍රා බහුල විය. එක් වෙරළකින් අනික් වෙරළට දැව, කපු හා ගල් අඟුරු ගෙන යෑමට මෙම වෙරළාසන්න නැව් යොදනු ලැබේ. සාගර තරණය කරන වෙළඳ නැව් 3000ක් පමණ ඇත. මින් අඩක් පමණ පෞද්ගලික සමාගම් සතුව පවතී.

රටේ මහාමාර්ගවල මුළු දිග සැතැපුම් 3,567,000ක් පමණ වේ. මගීන් මෙන් ම බඩු බාහිරාදිය ද එහා මෙහා ගෙන යෑම සඳහා රජයේ පරිවහණ සේවාවන්ට වඩා පෞද්ගලික සේවා බහුලය. රටේ ප්‍රධාන භූගෝලීය පෙදෙස් හා 100,000කට අධික ජනගහනයකින් යුත් නගර සියල්ල සම්බන්ධ කරන මහාමාර්ග පද්ධතියක් ක්‍රමයෙන් සංවර්ධනය කරගෙන යනු ලැබේ.

මෙහි දුම්රිය සේවාව අරඹන ලද්දේ 1828 දීය. දුම්රිය මාර්ග මුළු දිගින් සැතැපුම් 223,000ක් පමණ වේ. මෙය ලෝකයේ දුම්රිය මාර්ග ප්‍රමාණයෙන් 29%කි.

රට හරහා බොහෝ දුර යැවෙන පැට්රෝලියම් හා ගෑස් සඳහා යොදා ඇති මහා නළ මාර්ග එහි පරිවහණ විධි අතර ප්‍රමුඛ ස්ථානයක් දරයි.

ගුවන් තොටුපළවල් 7,715ක් පමණ ඇත. මින් දළ වශයෙන් 245ක් හෙලිකොප්ටර් සඳහා වෙන් වී ඇත. සෙසු පරිවහණ ක්‍රම මෙන් ම ගුවන් මාර්ග ද වැඩි වශයෙන් පෞද්ගලික සමාගම් සතුව පවතී. රටේ විශාලත්වය නිසා ශීඝ්‍ර ගමනාගමන පහසුකම් වෙනුවෙන් වියහියදම් කිරීම අලාභකර නොවන හෙයින් එහි ගුවන් ගමන් වඩ වඩා දියුණු වෙමින් පවතී.

තැපැල් සේවය පෙඩරල් ආණ්ඩුව යටතේ පවතින නමුත් ටැලිපෝන් හා විදුලි පණිවුඩ සේවය පෞද්ගලික සමාගම් මඟින් මෙහෙයවනු ලැබේ. ගුවන් විදුලි හා ටෙලිවිෂන් ප්‍රචාරයන් මෙහෙයවන පෞද්ගලික සමාගම් මෙරට තිබේ. කෙසේ නමුදු ජනපද අතර වූ ද ජාත්‍යන්තර වූ ද ගුවන් විදුලි, විදුලි හා ටැලිවිෂන් ප්‍රචාර පෙඩරල් සම්බන්ධන කොමිසම (Federal Communications Commission) මඟින් පාලනය කරනු ලැබේ.

ජනගහනය

18 වැනි ශත වර්ෂය ගෙවී යන විට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජනව්‍යාප්තිය වැඩි වශයෙන් අත්ලන්තික් වෙරළට සීමා වී යැයි කිව හැකිය. යුරෝපයෙන් පැමිණි මුල් පදිංචිකාරයන් වෙරළාසන්න පෙදෙස්වල ම පදිංචි වීම මීට හේතු විය. ඇපලේචියන් කඳු වැටි අතරින් රට අභ්‍යන්තරයට විහිදී ගංගා නිම්න ඔස්සේ ජනාවාස පැතිරෙන්නට වූ හෙයින් ප්‍රධාන වශයෙන් මෝහෝක්, පොටොමැක්, ඔහායෝ හා ඇපලේචියන් නිම්න ඔස්සේ ජනාවාස ඇති විය. තවද පිට්ස්බ’ග්, බටහිර ව’ජිනියා, උතුරු කෙන්ටකි හා ටෙනසි ප්‍රදේශයන්හි ද කුඩා ජන සමූහයෝ පදිංචි වූහ. 1790 දී විශාලත්වයෙන් වර්ග සැතැපුම් 867,980ක් වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජනගහනය 3,929,214ක් විය. ප්‍රධාන ජනාවාසයන්ගෙන් ඔබ්බෙහි වෙළඳාම හෝ දඩයම් කිරීම උදෙසා තාවකාලිකව පිහිටුවන ලද ජනාවාස හැර ස්ථිර ජන සමූහ නොවූ තරම්ය. දහනව වැනි ශතවර්ෂයේ දී ක්‍රමයෙන් වැඩි වූ ජනගහනය දකුණු දිග ජනපදවලට පැතිරිණ. එහෙත් 1890 වන විට උතුරු දිග ජනපදවල ජනගහනය දකුණු දිග ජනගහනය මෙන් දෙගුණයක් පමණ විය. කෙසේ නමුත් විසිවැනි ශත වර්ෂය උදාවන විට උතුරු හා දකුණු දිග පෙදෙස්වල එක සේ ජනාවාස පැතිරී තිබිණ. ජනාවාසයට හා ආර්ථික කටයුතුවලට අහිතකර වූ භූගෝලීය සාධක සහිත මධ්‍යම ප්‍රදේශයන්ට ජනයා නොඇදුණහ. දහනව වැනි ශත වර්ෂයේ දී (1832) රොකී කඳු ආදි බාධක හරහා වඩා හිතකර ප්‍රදේශයක් වූ ශාන්තිකර වෙරළට ජනයා ඇදී ගියහ. 1858-1880 අතරේ දී, මධ්‍යම ජනපදවල වටිනා ඛනිජ ඉල්ලම් නිසා ඒවායේ ද ජනාවාස ඇති වන්නට විය. මහා තැනිබිම්වල අතරින් පතර වුව ද ජනාවාස ඇති වන්නට වූයේ දහනව වැනි ශතවර්ෂයේ අග භාගයේ දී එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු ඇරඹීමෙන් පසුවය.

1940-50 අතර දස වස තුළ රටේ ජනගහනය 14%කින් පමණ වැඩි විය. විශේෂයෙන් ම පිටරටවලින් පදිංචිකාරයන් පැමිණීමටත් වෙනත් ප්‍රදේශ රටට ඈඳා ගැනීමටත් වඩා රටේ උත්පත්ති අධික වීම හා මරණ අඩු වීම මෙසේ ජනගහනය වැඩි වීමට බෙහෙවින් හේතු විය. මේ කාලයේ දී ජනගහනය ඉතා ම වැඩි වූයේ කැලිෆෝනියා, ඇරිසෝනා හා ෆ්ලොරිඩා යන ජනපදයන්හිය.

1950 දී නගර හා කුඩා නගර වශයෙන් පිළිගත් ස්ථානයන්හි පමණක් නොව ඒ අවට උපනගරයන්හි විසූ ජනයා ද නාගරික ජනයා වශයෙන් ගණන් ගත් හෙයින් එම වර්ෂයේ දී රටේ මුළු ජනගහනයෙන් 63.7% පමණ එම ගණයට ඇතුළත් විය. නිව් ජ’සි, මැසචූසෙට්ස්, රෝඩ් අයිලන්ඩ් හා කැලිෆෝනියා 80%කට අධික නාගරික ජනගහනයක් ඇති ජනපද වන අතර උතුරු හා දකුණු ඩැකෝටා, මිසිසිපි හා ඇලබාමා යන මේවා පිටිසර ජනයා බහුල ජනපද වශයෙන් ගැනේ. 1930 පටන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනලේඛන කාර්යාංශය මඟින් 50,000කට අධික ජනගහනයන් සහිත සියලු ම මහා නගර හා අවට පෙදෙස් ඇතුළත් මෙට්‍රොපොලිටන් ප්‍රදේශ වෙන් කර ඇත. නිව් යෝක්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, ෆිලඩෙල්ෆියා යන නගරවල ජනගහනය විසිලක්ෂයකට අධිකය. දෙලක්ෂයකට අධික ජනගහනය ඇති නගර ඇ.එ.ජ. රාජ්‍යයෙහි 50කට ද අධිකය.

ස්පාඤ්ඤ, ප්‍රංස, අයිරිෂ්, නීග්‍රෝ ආදි නොයෙකුත් ජාතීන්ගෙන් පෝෂණය වී ඇති ඇමෙරිකානු ජනතාව වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර කරති. රටේ අධ්‍යාපනය එක් එක් ජනපදයේ ආණ්ඩුව මගින් මධ්‍ය ආණ්ඩුවේ පාලන අණපනත්වලට අනුකූලව පාලනය කෙරේ. ජනපද 37ක අවුරුදු 16 දක්වාත් 6ක අවුරුදු 17 දක්වාත් 4ක අවුරුදු 18 දක්වාත් සියලු ම දරුවන් පාසැල් යා යුතුමය. 1959 සංඛ්‍යා ලේඛන අනුව වයස අවුරුදු 14ක් වූ හෝ ඊට වැඩි වයස් වූ ජනගහනයෙන් 22% පමණක් අකුරු නූගත්තෝ වූහ. රටේ අධ්‍යාපන අණපනත් අනුව නීග්‍රෝ හා සුදු ළමයින් උදෙසා එක ම ආධ්‍යාපනික පහසුකම් සැපයිය යුතු වුවත් විශේෂයෙන් ම ඇලබාමා, මිසිසිපි හා දකුණු කැරොලයිනා යන ජනපදයන්හි 1961-62 වර්ෂයේ දීත් සුදු ළමයින්ගේ පාසැල්වලට නිග්‍රෝ ළමයි ඇතුළු කර නොගන්නා ලදහ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි සංක්‍රමණ හා රටවැසි පනත (1952) අනුව එහි සංක්‍රමණ, ජාතිප්‍රවේශන හා රටවැසිභාවය පිළිබඳ කටයුතු පාලනය කරනු ලැබේ. අනාථයන් ද රටවැසියන්ගේ කිට්ටු ඥාතිවරුන් ද ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු කරගැනීමට එහි අණපනත්වලින් අවකාශ ඇත්තේය. ලෝකයේ සෙසු රටවලින් එක්තරා කොටස් ක්‍රමයක් අනුව සංක්‍රමණිකයෝ ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු කරගනු ලැබෙත්. මෙම රාජ්‍යයෙහි වත්මන් (1960) ජනගහනය 179,333,175කි. පෙඩරල් අගනුවර වූ වොෂිංටන්හි ජනගහනය (1960) 764,000කි. විශාලතම නගරය වූ නිව් යෝක්හි (1961) 7,775,000ක් ජනයා වසන අතර චිකාගෝහි ජනගහනය (1961) 3,545,000කි.

ඉතිහාසය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි වූයේ උතුරු ඇමෙරිකාවේ අත්ලන්තික් මුහුදු තීරයේ පිහිටුවන ලද ඉංග්‍රීසි ජනපදවලිනි. උතුරු ඇමෙරිකාව පළමුවෙන් ගවේෂණය කරන ලද්දේ ස්පාඤ්ඤ ජාතිකයන් විසිනි. එහෙත් ජනපදයන් පිහිටුවීමේදී ප්‍රධාන තැන ගත්තේ ප්‍රංස සහ ඉංග්‍රීසි යන ජාතීන්ය. උතුරු ඇමෙරිකාවේ ආධිපත්‍යය සඳහා සටන් ඇති වූයේ පසුව සඳහන් කළ දෙරටුන් අතරෙයි. මුල දී උතුරු ඇමෙරිකාවේ ආධිපත්‍යය පිහිටුවීමට සෑම අතින් ම වාගේ පුළුවන්කම තිබුණේ ප්‍රංස ජාතිකයන්ට වුව ද හත් අවුරුදු යුද්ධයෙන් (1756-63) මේ තත්ත්වය වෙනස් විය. මෙයින් පසුව ප්‍රංස බලය බිඳවැටුණි. ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යය තහවුරු විය (ඇමෙරිකාව බ.)

ඉනික්බිති උතුරු ඇමෙරිකා ඉතිහාසයේ වැදගත් සිද්ධිය වශයෙන් සැලකිය හැක්කේ ඇමෙරිකානු නිදහස් විප්ලවයයි. මව් රටේ පාර්ලිමේන්තුව විසින් ඉංග්‍රීසි ජනපදයන්ගේ ආභ්‍යන්තරික පාලනයට මැදිහත් වීම ගැන විරුද්ධ වූ ජනපදවාසීහු මව් රටට විරුද්ධව කැරැලි ගසා 1776 දී තමන්ගේ නිදහස ප්‍රකාශ කළහ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි වූයේ මෙයින් අනතුරුවයි (ඇමෙරිකානු විප්ලවය බ.).

නව ජාතියක් බිහි වීම (1775-1815)

1776 ජූලි මස 4 වැනි දින නිකුත් කරන ලද නිදහස් ප්‍රකාශනය එකල ඇමෙරිකානුන් දැරූ දේශපාලන අදහස්වල සම්පිණ්ඩනයකි. ඇමෙරිකානු රාජ්‍යය පිහිටුවීමේ දී පදනම වූයේ මේ දේශපාලන න්‍යායයන්ය. එක්සත් ජනපද රාජ්‍යයේ පසුකාලීන ඉතිහාසය හැදෑරීමේ දී මේ ප්‍රකාශනය ඉතා වැදගත් තැනක් ගනී.

නිදහස සඳහා සටන්වල යෙදී සිටින කාලයේ දී ඇමෙරිකා වාසීන්ට ප්‍රංස රජයේ ආධාරය ලැබුණි. නිදහස් සටන සාර්ථක ලෙස ගෙනයෑමට ඔවුනට මේ ආධාරය බොහෝදුරට උදව් විය. නිදහස ලබා ගැනීමෙන් පසුව ඔවුනට එම නිදහස ස්ථිර කර ගැනීමේ ප්‍රශ්නයට මුහුණ පාන්නට සිදු විය. ඔවුන් ලබාගත් නිදහස ස්ථිර කරගැනීමට තුබූ එක ම මාර්ගය නම් ජාතියක් වශයෙන් සංවිධානය වීමයි. නියම වශයෙන් එක්සත් ජනපද රාජ්‍යයක් පිහිටුවීමේ කර්තව්‍යය ඔවුන් ඉදිරියේ පැවතිණි. ජනපදයන් අතර සමගියක් ඇති වූයේ මව්රට කෙරෙහි පැවති විරුද්ධතාව පදනම් කොට ගෙනය. මෙලෙස බිහි වූ සමගිය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ඔවුනට වැටහිණ.

මේ කාලය වන විට ආර්ථික වශයෙන් එක්සත් ජනපද රාජ්‍යය තරමක දියුණුවක් ලබා තිබුණි. එහෙත් මධ්‍යම ආණ්ඩුවේ දුර්වලත්වය හේතු කොට ගෙන මෙයින් නියම ප්‍රතිඵල නොලැබුණි. ජනපදයන් අතර වූ ආර්ථික තරඟය ද පිළිගත් මුදල් භාවිතයක් නොමැතිවීම ද ආර්ථික දියුණුවට බාධා විය. 1781 දී ජනපද අතර ගිවිසුමක් ඇති වූ නමුදු එයින් බලවත් මධ්‍යම ආණ්ඩුවක් බිහි නොවීය. එයින් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඇමෙරිකානු ආණ්ඩුවක් වත් බිහි නොවීය.

ඇමෙරිකානුන්ට තවත් වැදගත් ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදු විය. ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබදව කොටස් දෙකක් අතර මතභේද පැවතිණි. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ප්‍රමුඛ පිරිස ඇමෙරිකාව පාලනය විය යුත්තේ රදල පන්තියට වුවමනා පරිදි යයි කල්පනා කළහ. ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය සකස් කළ තැනැත්තා වූ තෝමස් ජෙෆර්සන් වැනි අය මෙයට විරුද්ධ වූහ. ඇමෙරිකාවේ පාලනය වැඩිදෙනාගේ අභිමතය පරිදි සිදු විය යුතු යයි ඔවුහු කල්පනා කළහ.

මෙවැනි මතභේදයන් දුරලනු සඳහාත් බලවත් මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවනු සඳහාත් 1787 දී ජනපදවලින් පැමිණි නියෝජිතවරු ෆිලඩෙල්ෆියාවේ දී හමු වූහ. මෙහි දී ඔවුහු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළහ. අලුත් මධ්‍යම ආණ්ඩුව ද්විමණ්ඩල සංස්ථාවක් විය. මධ්‍යම ආණ්ඩුවට නියෝජිතවරුන් එවන ලද්දේ ඒ ඒ ජනපදවල විශාලත්වය අනුවය. පහළ මන්ත්‍රී මණ්ඩලයට සභිකයන් පත් කරන ලද්දේ මහජන ඡන්දයෙනි. ඉහළ මන්ත්‍රී මණ්ඩලය තෝරා ගන්නා ලද්දේ ප්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභාවන් විසිනි. ප්‍රධාන විධායක මණ්ඩලය පෙඩරල් ව්‍යවස්ථාදායක සභාව මගින් තෝරා ගන්නා ලදි. නියෝජිත මන්ත්‍රීවරු අවුරුදු දෙකක කාලසීමාවකට ද සෙනේට් මන්ත්‍රීවරු සාවුරුදු කාල සීමාවකට ද ජනාධිපති සිව් අවුරුදු කාල සීමාවකට ද පත්කර ගන්නා ලදහ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ දුරට සාර්ථක වූයේ එයට ජෝජ් වොෂිංටන්ගේ සහාය ලැබුණු හෙයිනි.

1787 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති වශයෙන් තෝරා ගන්නා ලදි. මධ්‍යම රජය හා පෙඩරල් ඒකකයන් අතර බල විභේදනය සාමකාමී ලෙස තීරණය කරගන්නා ලදි. අධිකරණ ක්‍රමය විධායක හා ව්‍යවස්ථාදායක මණ්ඩලවලින් නිදහස් වූ වෙන ම සංස්ථාවක් වශයෙන් සකස් විය. නිදහස් අධිකරණ ක්‍රමයක් තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක ලෙස ගෙන යෑමට ආධාර වූ කරුණකි.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පක්ෂ ක්‍රමයට අවස්ථාවක් නොවීය. කැබිනට් මණ්ඩලයක් සඳහා ද විශේෂ නීතිරීති නොවීය. එහෙත් වොෂිංටන් තමාගේ සහාය පිණිස විධායක නිලධාරීන් සිව්දෙනකු තෝරා ගත්තේය. මොවුනතුරෙන් වැදගත් තැනක් ගත්තේ තෝමස් ජෙෆර්සන් සහ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් යන දෙදෙනාය. භාණ්ඩාගාරයේ ලේකම් වශයෙන් හැමිල්ටන් අලුත් ආර්ථික පනත් කිහිපයක් ඉදිරිපත් කළේය. ඇමෙරිකාවේ ආර්ථික චින්තනයන්ට මුල් වූයේ මේ ආර්ථික පනත් බව පෙනේ. ආර්ථික ජීවිතයට ආණ්ඩුව මැදිහත් වීම අයහපත් දෙයක් ලෙස පිළිගැනුණේ මේ කාලයේ සිටයි. අනෙක් අතට පෞද්ගලික ව්‍යාපාරයන් සුරැකි කොට දීමේ අයිතියක් ආණ්ඩුවට ඇති බව ද මේ සමඟ ම පිළිගැනිණි. මේ ආර්ථික දර්ශනයෝ තරමක් දුරට එකිනෙකට පරස්පර විරෝධී වූහ.

හැමිල්ටන් විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික පනත් සියල්ල ම කොංග්‍රෙස් සභාවේ දී සම්මත විය. මින් වැදගත් ම යෝජනාව වූයේ පෞද්ගලික ප්‍රාග්ධනයෙන් යුතු බැංකු ක්‍රමයක් ගොඩනැඟිය යුතුය යන්නයි. මේ යෝජනාවන්ට ජෙෆර්සන් ඇතුළු පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කළහ. මෙවැනි පනත් ජනරජවිරෝධී බව ඔවුහු කල්පනා කළහ. මේ මතභේදයේ වැදගත් ම ප්‍රතිඵලය වූයේ පක්ෂ ක්‍රමයක් බිහිවීමයි. ජෙෆර්සන්ගේ අනුගාමිකයෝ රිපබ්ලිකන් පාක්ෂිකයන් ලෙසත් අනෙක් කොටස පෙඩරල් පාක්ෂිකයන් ලෙසත් හඳුන්වන ලදහ. මෙම පක්ෂ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුත් අංගයක් විය. එහෙත් අවසානයේ දී බලවත් වූයේ පක්ෂ ක්‍රමයයි.

ආභ්‍යන්තරික වියවුල් තවදුරටත් ව්‍යාප්ත වීමට හේතුවක් වූයේ ප්‍රංස විප්ලවයයි. හැමිල්ටන් සහ ජෙෆර්සන් යන දෙදෙනා ම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක වැදගත්කම වටහා ගත්හ. එහෙත් මේ ප්‍රශ්නය උඩ ජනතාව අතර වියවුල් ඇති විය. ප්‍රංස විරෝධී කොටස ක්‍රමයෙන් බලවත් වන්නට විය. 1798-1800 කාලය තුළ දී ප්‍රංසයට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නාවික බලය යොදවන ලදි. එහෙත් දෙරට අතර ප්‍රකාශිත යුද්ධයක් නොවීය.

1800 වන විට රිපබ්ලිකන්වාදීහු බලවත් වූහ. මේ කාලයේ දී ඔවුනට ජෙෆර්සන් (1801-09) ජනාධිපති වශයෙන් තෝරා ගැනීමට හැකි විය. තමන්ට පක්ෂපාත නිලධාරීන් රජයේ උසස් තනතුරුවලට පත් කරගැනීමේ ක්‍රමය (spoils system) ආරම්භ වූයේ මේ අවදියේ දීය. මේ හැරෙන්නට ඔහුගේ කාලයේ දී දේශයේ ව්‍යාප්තියක් ද ඇතිවිය. ෆ්ලොරිඩා සහ ලුයිසියානා යන ප්‍රදේශ 1803 දී ප්‍රංසයෙන් මිල දී ගැනීමට ජෙෆර්සන් සමත් විය. මෙයින් එක්සත් ජනපද රාජ්‍යයේ භූමි ප්‍රදේශය විශාලත්වයෙන් දෙගුණ විය. එමෙන් ම මේ ප්‍රදේශ ලබාගැනීම එක්සත් ජනපද රාජ්‍යයේ එක්සත් බවට විශේෂ ආධාරයක් විය. මේ ප්‍රදේශ ලබාගැනීම බටහිර ප්‍රදේශ කරා ව්‍යාප්ත වීමේ ආරම්භය ද විය. නැපෝලියන් යුද්ධ සමයේ දී ඒ යුද්ධවලට මැදිහත් නොවී සිටීමට ‍ජෙෆර්සන් උත්සාහ දැරූ නමුත් එසේ කිරීම තරමක් දුරට අපහසු කාර්යයක් විය.

ජාතික අදහස් පැන නැඟීම

ජෙෆර්සන්ගෙන් පසු යුගය පළමුවෙන් ජාතියක් වශයෙන් එක්සත් වීමේ අදහස් බිහි වීම නිසා වැදගත් වේ. මින් කලකට පසුව ඇතැම් ජනපදයන් අතර භේද දක්නට ලැබේ. මෙවැනි වියවුල් අවසාන වූයේ සිවිල් යුද්ධයෙනි.

ජේම්ස් මැඩිසන්ගේ (1809-17) පාලන යුගයේ දී එක්සත් ජනපද රාජ්‍යයට බ්‍රිතාන්‍යය හා නැවත ගැටෙන්නට සිදු විය. එක්සත් ජනපද රාජ්‍යය මේ යුද්ධයට සහභාගි වූයේ කොංග්‍රෙස් සභාවට බටහිර ජනපදයන්ගෙන් පත්ව ආ තරුණ නියෝජිතවරුන්ගේ බලපෑම කරණකොට ගෙනය. යුද්ධ ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජනපද රාජ්‍යයේ මුහුදු අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාජයෙනි. මෙම යුද්ධයේ දී ඇමෙරිකාවේ අදහස වූයේ කැනඩාව ඉංග්‍රීසීන්ගෙන් අල්ලාගැනීමයි. බ්‍රිතාන්‍යය ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශ ලබාගැනීමට උත්සාහයක් දැරුවේය. අවුරුදු තුනකට පසුව තීරණයක් නොමැතිව යුද්ධය අවසන් විය. යුද්ධය කරුණු කිහිපයක් අතින් වැදගත් වේ. කැනඩාව අල්ලා ගැනීමේ අදහස ඇමෙරිකාව විසින් මෙයින් පසුව අතහැර දමන ලදි. බ්‍රිතාන්‍යය ද රතු ඉන්දියානු ආරෝධක රාජ්‍යයක් (buffer state) පිහිටුවීම පිළිබඳව දැරූ උත්සාහය අත්හැර දැම්මේය. එමෙන් ම ඇමෙරිකාවේ කාර්මික විප්ලවයට මුල් වූයේ ද මෙම යුද්ධයයි. එක්සත් ජාතියක් වශයෙන් සංවිධානය වීමට ද මෙම යුද්ධය විශේෂයෙන් උපකාරී විය. මෙම කාලයේ දී ජනපද අතර වූ දේශපාලන වාදභේද බොහෝ දුරට අඩු විය. රිපබ්ලිකන් පාක්ෂිකයෝ පෙර මෙන් නොව අලුතින් පහළ වූ කර්මාන්තයන්ට ආධාර කරන්නට වන්හ. මුල දී ධනපති පන්තියක් බිහි කිරීමට විරුද්ධ වූ රිපබ්ලිකන්වාදීන්ගේ ප්‍රතිපත්ති වෙනස් වීම ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය. සුළු කාලයක දී ඔවුහු පෙඩරල්වාදීන්ගේ අදහස් අනුගමනය කිරීමට පටන් ගත්හ. මෙය පෙඩරල්වාදීන්ගේ බලපෑම අඩු වීමට ප්‍රධාන හෙතුවක් විය. ජේම්ස් මොන්රෝ (1817-25), ක්වින්සි ඇඩම්ස් (1825-29) යන ජනාධිපතිවරුන්ගේ කාලවල දී පැවතියේ ඒකපක්ෂ ආණ්ඩු ක්‍රමයක් බව පෙනේ.

මොන්රෝ ධර්මය

1819 දී ඇමෙරිකාව මිසිසිපි නදියෙන් නැගෙනහිරට වූ ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශය ද ලබාගත්තේය. ස්පාඤ්ඤයට තම යටත් විජිත ආපසු ලබා ගැනීමට ප්‍රංසය උදව් දිය හැකි යයි ඇමෙරිකන් ජාතිකයන් තුළ සැකයක් බිහි විය. මෙය ඇමෙරිකාව සහ සම්මුතියක් ඇති කර ගැනීමට සුදුසු අවස්ථාවක් ලෙස බ්‍රිතාන්‍යය කල්පනා කළාය. මෙවැනි තත්වයක් උද්ගත වීමෙන් බිහි වූවකි, මොන්රෝ ධර්මය. මෙයින් ප්‍රකාශයට පත් කරන ලද්දේ යුරෝපයේ දේශපාලන අර්බුදයන්ට ඇඟිලි ගැසීමේ ආශාවක් ඇමෙරිකානුන් තුළ නොමැති බවත් යම් හෙයකින් යුරෝපීය ජාතියක් නිදහස් ඇමෙරිකා ජනපදයන්ගේ අර්බුදවලට ඇඟිලි ගැසුවහොත් එය එක්සත් ජනපද රාජ්‍යයේ නිදහසට විරුද්ධව එල්ල කරන ලද තර්ජනයක් ලෙස ඇමෙරිකාව පිළිගන්නා බවත්ය. මෙය යුරෝපය හා ලතින් ඇමෙරිකාව පිළිබඳව එක්සත් ජනපද රාජ්‍යය අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියේ මූලික පදනම බවට පත් විය.

1820 වර්ෂයේ මැදභාගය වන විට මෙතෙක් ජනපදයන් අතර වූ සුහදතාව දෙදරුම් කා ගියේය. ජනපදයන් අතර නොයෙක් ආර්ථික ප්‍රශ්න පැනනැඟෙන්නට විය. මේ වෙනස්කම් ඇමෙරිකානු කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයකි. පෙඩරල් පක්ෂය බලයෙන් ඉවත් වීමෙන් පසුව ජනාධිපති ධුරය සඳහා සටන් ඇති වූයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේයි. 1824 ජනාධිපති තරඟයෙන් ජය අත්වූයේ ක්වින්සි ඇඩම්ස්ටය. මොහු සමඟ තරඟ කළ ඇන්ඩ්රූ ජැක්සන් සහ ඔහුගේ අනුගාමිකයෝ ඇඩම්ස්ගේ පාලනය දුර්වල කිරීමට උත්සාහ දැරූහ. පක්ෂයේ භේද පැනනැඟුණේ මෙයින් පසුවයි.

ජැක්සන්ගේ ප්‍රජාතන්ත්‍ර ක්‍රමය

1828 දී පැවති ජනාධිපති තරඟයේ දී ඇන්ඩ්රූ ජැක්සන්ට ජය අත් විය. ඔහුගේ පත්වීම ඇමෙරිකානු දේශපාලන හා සමාජ චින්තන ඉතිහාසයේ විප්ලවයක් ලෙස සැලකිය හැකිය. ජැක්සන්ගේ ජයග්‍රහණය පොදු ජනතාවගේ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස පිළිගැනේ. රදලයන්ගෙන් පොදු ජනයාට බලය ලබාදීම ඔහුගේ පරමාර්ථය විය. සියලු දෙනාට ම සමාන අයිතිවාසිකම් ලබාදීමත් කිසිවකුට විශේෂ වරප්‍රසාද නොදීමත් ඔහුගේ ප්‍රතිපත්තිය විය. ආර්ථික වශයෙන් ඒකාධිකාරී ක්‍රමයට විරුද්ධ වූ හෙතෙම ජනපදයේ දෙවැනි බැංකුවක් පිහිටුවීම පිළිබඳව විරුද්ධ විය. මෙම ප්‍රශ්නය රිපබ්ලිකන් පක්ෂයේ භේදයන්ට හේතුවක් විය. ජැක්සන් පාක්ෂිකයෝ ඩෙමොක්‍රැටික්වාදීන් යනුවෙන් හැඳින්වුණහ. ඔහුගේ විරුද්ධවාදීහු විග් පක්ෂය යනුවෙන් පක්ෂයක් පිහිටුවූහ. මෙම පක්ෂය පැවතියේ සුළු කලක් පමණි. පසුව රිපබ්ලිකන් පක්ෂය යනුවෙන් දියුණු වූයේ මෙයයි. ඔහුගේ කාලයේ දී ඒකපක්ෂ ක්‍රමය නැති වී ගිය අයුරු මෙයින් පැහැදිලි වේ.

1832 දී ජැක්සන් දෙවැනි වරටත් ජනාධිපති වශයෙන් පත් විය. ඔහුගෙන් පසු බලයට පත් වූයේ ජැක්සන් අනුගාමිකයකු වූ මාටින් වැන් බ්‍යුරන් (1837-41) ය. 1837 දී පැවති අර්බුද තත්වය නිසා ක්‍රමයෙන් ජැක්සන් අනුගාමිකයෝ අප්‍රසාදයට පත් වූහ. මේ හේතුවෙන් 1840 දී පැවති මැතිවරණයෙන් විග් පාක්ෂික හෙන්රි හැරිසන්ට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව ලැබුණේය.

හෙන්රි හැරිසන් ජනාධිපති පදවිය ලබා මසකින් මිය ගියේය. ඔහු යටතේ උපජනාධිපති පදවිය ඉසුලු ජෝන් ටයිලර් 1841-45 කාලය තුළ ජනාධිපති පදවිය දැරීය. ටයිලර් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති විග් පක්ෂයේ නායක හෙන්රි ක්ලේගේ අදහස්වලට පටහැණි විය. මේ මතභේදයේ ප්‍රතිඵලයක් වශයෙන් ටයිලර් විග් පක්ෂයෙන් නෙරපනු ලැබීය. මෙය විග් පක්ෂයේ බලය හීන වීමට ප්‍රධාන කරුණක් විය. ටයිලර්ගේ ප්‍රතිපත්තිවලට කොංග්‍රෙස් සභාවේ ආධාරය නොලැබී යෑමේ හේතුවෙන් ආභ්‍යන්තරික කරුණු පිළිබඳව ව්‍යවස්ථා සම්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිටියේය. විදේශීය කටයුතු සම්බන්ධයෙන් ටයිලර්ගේ පාලන සමය වැදගත් වේ. විදේශ කටයුතු භාරව කටයුතු කළ ඩැනියල් වෙබ්ස්ටර් මේ කරුණු අතින් ප්‍රධාන තැනක් ගනියි. 1841 දී බ්‍රිතාන්‍යය සමඟ ඊසාන දේශ සීමාව පිළිබඳව සම්මුතියකට පැමිණීමට ඔහුට හැකි විය. අනෙක් වැදගත් ප්‍රශ්නය වූයේ ටෙක්සස් ප්‍රශ්නයයි. 1835 දී ටෙක්සස් ප්‍රදේශය මෙක්සිකෝවට විරුද්ධව කැරලි ගසා නිදහස් රාජ්‍යයක් වශයෙන් දියුණු විය. ටෙක්සස් ආණ්ඩුව එක්සත් ජනපද රාජ්‍යයට බැඳීමට කැමැත්ත පළකර සිටියේය. එහෙත් මෙය වහල් මෙහෙය පිළිබඳ ප්‍රශ්නය උඩ කල් ගියේය. ටෙක්සස් රජය ජනපද රාජ්‍යයට ඇතුළු විය යුත්තේ නිදහස් රාජ්‍යයක් වශයෙන් ද නැතහොත් වහල් රාජ්‍යයක් වශයෙන් ද යන්න තීරණය කළ යුතු විය. උතුරු ජනපදවාසීහු මෙය දකුණු ජනපදවාසීන් තමන්ගේ බලය වැඩි කර ගැනීමට කරන ලද උපායයක් ලෙස සැලකූහ. 1844 දී පැවති ජනාධිපති මැතිවරණයේ දී වැදගත් වූයේ මෙම ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නය උඩ ඩෙමොක්‍රැටික් පාක්ෂික ජේම්ස් කේ. පෝක්ට ජයග්‍රහණය කිරීමට හැකි විය. අලුතෙන් පත් වූ ජනාධිපති වැඩ භාර ගන්නට ප්‍රථම ටයිලර් විසින් ටෙක්සස් ඈඳා ගැනීමේ පනත කොංග්‍රෙස් සභාව වෙත ඉදිරිපත් කරන ලදි. ටයිලර්ගේ පාලන සමය තුළ දී ඔරිගන් ප්‍රදේශය පිළිබඳව බ්‍රිතාන්‍යය සමග ගිවිසුමකට පැමිණීමට හැකි විය. එක්සත් ජනපද රාජ්‍යයට ඔරිගන් ප්‍රදේශය ලැබීමත් සමග ම පැසිපික් සාගරයට මාර්ගයක් විවෘත විය. ටෙක්සස් ප්‍රශ්නය සමග ම ඇති වූ වියවුලක් නම් 1846 වූ මෙක්සිකෝ යුද්ධයයි. ටෙක්සස් ප්‍රශ්නයෙන් පසුව මෙක්සිකෝව එක්සත් ජනපද රාජ්‍යය සමඟ වූ තානාපති සබඳකම් අත්හැර දැම්මේය. මේ සමඟ ම ටෙක්සස් හා මෙක්සිකෝව අතර රියෝ ග්‍රෑන්ඩ් ප්‍රදේශය පිළිබඳව වූ අවුල මතු විය. මෙම ප්‍රදේශයට යවන ලද ජනපද හමුදාවන්ට පහරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙක්සිකෝ යුද්ධය ආරම්භ විය. 1846-48 අතරතුර වූ යුද්ධයේ දී ජය අත් වූයේ එක්සත් ජනපද වාසීන්ටය. 1848 වූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජනපද රාජ්‍යයට රියෝ ග්‍රෑන්ඩ් දේශ සීමාවත් නිව් මෙක්සිකෝ සහ කැලිෆෝනියා යන ප්‍රදේශත් අයත් විය. මේ ප්‍රදේශ වෙනුවට වන්දි වශයෙන් මෙක්සිකෝවට ඩොලර් 15,000,000ක් ගෙවන ලදි. මෙක්සිකෝ යුද්ධයෙන් පසු දශකය ඇතුළත දී ප්‍රාදේශීය අර්බුද ප්‍රබල විය. ආර්ථික කරුණු අතින් ජනපදයන් අතර වූ වෙනස්කම් තවතවත් වැඩි විය. නව එංගලන්තය සහ අනෙකුත් මධ්‍යම ජනපද කාර්මික මධ්‍යස්ථාන ලෙසින් දියුණුවට පත් විය. දකුණු ජනපදයන්ගේ අර්ථ ක්‍රමය මෙයට හාත්පසින් ම වෙනස් විය. බොහෝ දුරට එම ජනපද හැඩගැසී තිබුණේ කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් අනුවය. මෙයින් ප්‍රධාන තැන ගත්තේ පටපිළී සහ දුම්කොළ වගාවන්ය. මේ කරුණු හේතුවෙන් මධ්‍යම ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ආර්ථික පිළිවෙත පිළිබඳව මේ දෙකොටස අතර මතභේද පැන නැඟුණි. ආර්ථික ප්‍රතිපත්ති සමග ම සම්බන්ධ වූ තවත් වැදගත් ප්‍රශ්නයක් විය. එය නම් වහල් මෙහෙයයි. දකුණු ජනපදවල ආර්ථික පදනම වූයේ වහල් මෙහෙයයි. මෙක්සිකෝ යුද්ධයෙන් ලබාගත් ප්‍රදේශ එක්සත් ජනපද රාජ්‍යයට ඇතුළත් කර ගැනීමේ දී වහල් මෙහෙය පිළිබඳ ප්‍රශ්නය පැනනැඟුණි. මෙම ප්‍රශ්නය උද්ගත වූයේ කැලිෆෝනියාව ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට අවසර පැතූ අවස්ථාවේයි. මේ ප්‍රශ්න නිරාකරණය කරනු සඳහා 1850 දී අන්‍යෝන්‍ය වශයෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. මේ සම්මුතිය අනුව කැලිෆෝනියාව නිදහස් රාජ්‍යයක් වශයෙන් ජනපද රාජ්‍යයට ඇතුළත් කරගන්නා ලදි. අනෙක් ප්‍රදේශ පෙඩරල් ඒකකයන් වශයෙන් සංවිධානය කිරීමට තීරණය විය. එම ප්‍රදේශ ජනපද රාජ්‍යයට ඇතුළු වීමේ දී නිදහස් රාජ්‍ය වශයෙන් ඇතුළු විය යුතු ද නැතහොත් වහල් මෙහෙය අනුගමනය කරන ප්‍රදේශ වශයෙන් ගත යුතු ද යන්න තීරණය කිරීම එම ප්‍රදේශවාසීන්ගේ අයිතිවාසිකමක් ලෙස සලකන ලදි. මෙම සම්මුතිය හැඳින්වෙන්නේ මිසූරි සම්මුතිය යනුවෙනි.

1852 ඡන්ද විමසුමෙන් බලයට පත් වූයේ ඩෙමොක්‍රැටික් පාක්ෂික ෆ්‍රැන්ක්ලින් පියර්ස් (1853-57) ය. 1850 ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඔහු පොරොන්දු විය. මේ වන විට ජනපද රාජ්‍යයට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කාලයක් ලබා තිබුණි. මෙම යහපත් කාලය හේතු කොට ගෙන වහල් මෙහෙය පිළිබඳ ප්‍රශ්නය යටපත් වී තිබුණි. එහෙත් 1850 සම්මුතිය අනුව සමහර කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රශ්න කිහිපයක් උද්ගත විය. සම්මුතියේ ඇතැම් කොන්දේසි නොසැලකූ සමහර කොටස් වහලුන්ට කැනඩාවට බේරීයෑමට උදව් දුන්හ. මෙවැනි නොසන්සුන්කම් පවතින අවධියකය, ස්ටීවන් ඒ. ඩග්ලස් නමැත්තා විසින් කැන්සස්-නෙබ්‍රස්කා පනත (1854) ඉදිරිපත් කරන ලද්දේ. මෙම පනතට පියර්ස්ගේ සහාය ලැබිණි. කැන්සස් ප්‍රදේශය කොටස් දෙකකට බෙදීමට මෙයින් තීරණය විය. වහල් මෙහෙය පිළිබඳ ප්‍රශ්නය බේරුම් කර ගැනීම එම ප්‍රදේශවල වැසියන්ට අයත් දෙයක් විය. වහල් ක්‍රමයට පක්ෂ සහ විපක්ෂ කොටස් තම පාක්ෂිකයන් මෙම ප්‍රදේශ දෙකට යැවීමෙහි යුහුසුලු වූහ. මෙම තරඟකාරී ක්‍රියා පිළිවෙළ සිවිල් යුද්ධයට තුඩු දුන් කරුණක් විය. 1855 පැවැති කැන්සස් ප්‍රාදේශීය ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් පත් කිරීමේ දී ජය අත් වූයේ වහල් ක්‍රමයට පක්ෂ කොටසටය. මෙයින් පසුව ප්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභාව විසින් වහල් මෙහෙය නීතියෙන් සම්මත කරන ලදි. වහල් මෙහෙයට විපක්ෂ කොටස් වෙන ම සභාවක් කැඳවා වෙන ම ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවූහ. මෙම අර්බුද තත්වය මැඩපැවැත්වීම සඳහා පෙඩරල් හමුදා යැවීමට සිදු විය.

වහල් ප්‍රශ්නය උඩ ඩෙමොක්‍රැටික් සහ විග් යන පක්ෂ තුළ නොයෙක් මතභේද ඇති විය. මෙය අලුත් පක්ෂයක් බිහි වීමට සුදුසු පසුබිමක් විය. 1854 බිහි වූ මෙම අලුත් පක්ෂය හැඳින්වුණේ රිපබ්ලිකන් පක්ෂය යනුවෙනි. අලුත් රිපබ්ලිකන් පක්ෂය වහල් මෙහෙය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තියට විරුද්ධ විය. වහල් මෙහෙයට විරෝධී අදහස් දැරූ සියල්ලෝ ම මෙම පක්ෂයට එකතු වූහ.

1856 මැතිවරණයෙන් නැවතත් ජය අත් වූයේ ඩෙමොක්‍රැටික් පක්ෂයටය. රිපබ්ලිකන් අපේක්ෂකයාට ද විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි විය. රිපබ්ලිකන් පක්ෂය පිහිටුවා වර්ෂ දෙකක් ඇතුළත දී මෙවැනි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනී මට හැකි වීම ලොකු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. 1856 මැතිවරණයෙන්, වහල් මෙහෙයට සම්පූර්ණයෙන් ම විරුද්ධ වූ රිපබ්ලිකන් පක්ෂයට ප්‍රධාන පක්ෂයක් වශයෙන් ඉදිරියට ඒමට හැකි වීම දකුණු ජනපදවාසීන්ගේ සැකයට හේතුවක් විය. ඊළඟ මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයට ජය අත් වීමේ ලකුණු පැහැදිලිවම පෙනිණ. රිපබ්ලිකන් පක්ෂයට ජය අත් වීම තමන්ගේ පරාජයක් ලෙස දකුණු ජනපදවාසීහු සැලකූහ. යම් හෙයකින් 1860 මැතිවරණයෙන් ඔවුනට අවාසි වුවහොත් ජනපද රාජ්‍යයෙන් ඉවත් වීමේ ප්‍රශ්නය ද පැන නැඟිණි.

1861 අර්බුදය පැනනැඟුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කිරීම උඩයි. ප්‍රශ්නය වූයේ ජාතිය සංවිධානය විය යුත්තේ ස්වෛරී රාජ්‍යයන්ගෙන් සැදුණු සමාබද්ධ රාජ්‍යයක් වශයෙන් ද නැතහොත් සර්වාධිපති සමූහාණ්ඩුවක් වශයෙන් ද යන්නයි. සිවිල් යුද්ධයෙන් විසඳීමට සිදු වූයේ මෙම ප්‍රශ්නයයි.

ඒබ්‍රහම් ලින්කන්

1856-60 වර්ෂවල දී රිපබ්ලිකන් පක්ෂය ක්‍රමයෙන් බලවත් වන්නට විය. මෙහි ලා ඒබ්‍රහම් ලින්කන්ගේ මඟ පෙන්වීම බොහෝසෙයින් ම උපකාරී විය. ලින්කන් දේශපාලන බිමට අවතීර්ණ වූයේ කැන්සස්-නෙබ්‍රස්කා පනත පිළිබඳ විවාදයේ දීය. මෙම පනතට විරුද්ධ වූ ඔහු ප්‍රසිද්ධ විවාද කිහිපයකට ම සහභාගි විය. ජනතා නායකයකු ලෙස ඔහු බලවත් වූයේ මේ විවාදවලින් පසුවයි. 1860 මැතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී ජනාධිපති ධුරය ලබාගැනීමට ලින්කන්ට හැකි විය. මෙම ජයග්‍රහණයත් සමඟ ම දකුණු කැරොලයිනාව ජනපද රාජ්‍යයෙන් ඉවත් විය. දකුණු කැරොලයිනාවෙන් පසුව මිසිසිපි, ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝජියා සහ ලුයිසියානා යන රාජ්‍ය ද ඉවත් විය. ජනපද රාජ්‍යයෙන් ඉවත් වූ මුළු රාජ්‍ය ගණන එකොළසකි. වෙන් නොවූ රාජ්‍ය සංඛ්‍යාව 22කි. වෙන් වූ රාජ්‍යයෝ 1861 දී ඇලබාමාවේ දී මුණගැසී වෙන ම සමාබද්ධ රාජ්‍යයක් පිහිටුවා ගත්හ. ජෙෆර්සන් ඩේවිස් නමැත්තා එහි ජනාධිපති විය. වෙන් වූ රාජ්‍ය සමඟ සම්මුතියකට ඒමට ලින්කන් දැරූ ප්‍රයත්නය නිෂ්ඵල විය. එහෙත් මේ සාකච්ඡා නිසා තරමක් දුරට සිවිල් යුද්ධය ප්‍රමාද විය. ලින්කන් කල්පනා කළ ආකාරයට වහල් මෙහෙය වූකලි ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ එක්සත් බව රැකගැනීමේ ප්‍රශ්නයත් හා සමඟ වෙළී පැවැත්තේ විය. මුල දී ඔහු උත්සාහ කළේ ජනපද රාජ්‍යයේ සමඟිය රැක ගැනීමටයි. වහල් මෙහෙය පිළිබඳ ප්‍රශ්නයට එතරම් වැදගත් තැනක් ඔහු මුල දී නොදුන්නේය. වහල් මෙහෙය සම්පුර්ණයෙන් ම අවළංගු කිරීමට ඔහු එතරම් උත්සාහයක් ද නොගත්තේය. ඔහු විරුද්ධ වූයේ වහල් මෙහෙය වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වී යෑමටය.

සිවිල් යුද්ධය ආරම්භ වූයේ දකුණු ජනපද හමුදාව සම්ටර් බලකොටුවේ දී පෙඩරල් හමුදාවන්ට පහර දුන් පසුයි. පෙඩරල් හමුදා යවන ලද්දේ මෙයින් පසුවයි. යුද්ධය කරගෙන යෑමේ දී ලින්කන්ට කරදර රාශියකට මුහුණපාන්නට සිදු විය. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සමඟිය රැක ගැනීම මෙයින් ප්‍රධාන විය. එමෙන් ම උතුරේ හමුදා මෙහෙයවීමට දක්ෂ සෙන්පතීහු නොවූහ. හමුදාවේ හුන් දක්ෂ සේනාපතීහු සියල්ලෝ ම දකුණු ජනපදයන්ට අයත් අය වූහ. එහෙත් උතුරු ජනපදයන්ට විශේෂ වූ වාසි කිහිපයක් ද විය. ජනගහනය අතින් පමණක් නොව ධනෝපායන මාර්ග අතින් ද විශේෂ වාසි විය. එමෙන් ම ගමනාගමන පහසුකම් අතින් උතුර විශාල දියුණුවක් ලබා තිබුණි. මුල් වර්ෂ කිහිපය තුළ දකුණු ජනපද වාසීන්ට සුළු සුළු වශයෙන් ජය ලබා ගන්නට හැකි විය.

සිවිල් යුද්ධයෙන් පසුව ආ ප්‍රථම පරම්පරාවේ ඉතිහාසඥයන් කල්පනා කළ ආකාරයට සිවිල් යුද්ධයට හේතු වූයේ වහල් ප්‍රශ්නයයි. එහෙත් පසුකාලීන ඉතිහාසඥයෝ සිවිල් යුද්ධයට හේතු කිහිපයක් වූ බවත් ඒවා බොහෝ දුරට සංකීර්ණ බවත් දක්වති. වහල් මෙහෙය හැරෙන්නට මෙම යුද්ධයට දේශපාලන සහ ආර්ථික කරුණු තුඩුදුන් බව පෙනේ. මෙම කරුණු බොහෝ දුරට යුද්ධයේ ආසන්න හේතූන් ලෙස දැක්විය හැකිය. මෙවැනි අර්බුදයක ලකුණු නිදහස ලබාගත් කාලයේ සිට ම පැවතුණු බවට මුලින් කරුණු දක්වා ඇත. (ඇමෙරිකානු සිවිල් යුද්ධය බ.)

1864 මැතිවරණය ලින්කන්ගේ ප්‍රතිපත්ති කෙතෙක් දුරට ජනතාවගේ අදහස්වලට ගැළපෙන්නේ දැයි විමසීමට සුදුසු අවස්ථාවක් විය. ඩෙමොක්‍රැටික් පාක්ෂිකයෝ යුද්ධය අසාර්ථක බව පවසමින් තම මැතිවරණ කටයුතු කරගෙන ගියහ. එහෙත් ජනපදවාසීහු යුද්ධය අවසානයක් දක්වා ගෙනයෑමේ අවශ්‍යතාව වටහා ගත්හ. ලින්කන්ට දෙවැනි වරටත් ජනාධිපති වීමේ අවස්ථාව ලැබුණි. 1865 දී දකුණු හමුදාවන් මෙහෙයවූ රොබට් ලී යටත් වීමෙන් පසුව යුද්ධය අවසන් විය. ඉන් ටික දිනකට පසුව ලින්කන් වොෂිංටනයේ නෘත්‍ය ශාලාවක නාට්‍යයක් නරඹමින් සිටිය දී සාහසිකයකු විසින් වෙඩි තබා මරන ලදි (ඒබ්‍රහම් ලින්කන් බ.).

එක්සත් ජනපද රාජ්‍යයේ ලින්කන්ට අයත් වන්නේ අද්විතීය ස්ථානයකි. වහලුන්ගේ විමුක්තිය සඳහා දිවි පිදුවකු ලෙසින් ඔහු හැඳින්වේ. ඔහු විසින් ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද යනුවෙන් කරන ලද විග්‍රහයන් අද පවා දේශපාලන විද්‍යාඥයෝ උපුටා දක්වති. මුල දී වහල්මෙහෙය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ඔහු උනන්දුවක් නොදැක්වීය. එහෙත් ක්‍රමයෙන් අදහස් වෙනස් කරගත් ඔහු 1862 දී වහලුන්ගේ විමුක්තිය සලසා දුන් ප්‍රකාශනයක් නිකුත් කළේය. දේශපාලනය ඔහුගේ ජීවිතය විය. ඔහු නීතිඥයකු වශයෙන් සිටියදී ද විනෝදාස්වාදයක් ලද්දේ දේශපාලන කටයුතුවල යෙදීමෙනි. ඇමෙරිකානු ඉතිහාසයේ එන අතිකාර්යක්ෂම දේශපාලනඥයා ලින්කන් යයි කිව හැකිය.

සිවිල් යුද්ධයෙන් පසු යුගය - නව කාර්මික යුගයක් බිහිවීම (1865-96)

සිවිල් යුද්ධයෙන් වැදගත් ප්‍රශ්න දෙකක් විසඳිණි. වහල් මෙහෙය එයින් පසු අවසන් විය. එමෙන් ම පෙඩරල් රාජ්‍යයේ පරමාධිපත්‍යය ද පිළිගැනිණි. තවද යුද්ධය ආර්ථික දියුණුවට ද රුකුලක් විය. කාර්මික වශයෙන් ධනපති ක්‍රමය පටන් ගත්තේ මෙයින් පසුවයි.

ඇත්ත වශයෙන් සලකා බලන විට සිවිල් යුද්ධය නිසා බිහි වූ ප්‍රශ්න ඉන් විසඳුණු ප්‍රශ්නවලට වඩා අධික යයි කිව යුතු වේ.

උතුරේ ජනපදයන් විසින් දකුණු ජනපදයන් කෙරෙහි කුමන පිළිවෙතක් අනුගමනය කළ යුතු ද යන්න බිහි වූ වැදගත් ප්‍රශ්නයකි. එමෙන් ම යුද්ධය නිසා විනාශ වූ දකුණේ ආර්ථික සහ සමාජ පදනම වෙනස් විදියකින් ගොඩනැඟීමේ ප්‍රශ්නය ද පැන නැඟිණ. යුද්ධය නිසා ප්‍රාග්ධනය නැති වීම සහ වහල් කම්කරු ක්‍රමය අහෝසි වී යෑම දකුණෙහි ආර්ථික පදනම බිඳ වැටීමට හේතු විය. නිදහස ලැබූ නීග්‍රෝවරුන් අලුත් ජීවන ක්‍රමයකට හැඩගැස්වීමට සිදු විය. ඇමෙරිකානු ජීවිතයේ නීග්‍රෝ ජාතිකයාට හිමි තැන ලබා දීමේ ව්‍යාපාර ආරම්භ වූයේ මෙම ප්‍රතිසංස්කරණ යුගයේ දීය.

කාර්මික විප්ලවය සම්පූර්ණ වූයේ මේ යුගයේ දී යයි කිව හැක. සිවිල් යුද්ධයෙන් ජය අත් වූයේ උතුරේ කර්මාන්ත හිමියන්ටය. කෘෂිකර්මාන්තයේ යෙදී සිටියවුන් ලබා සිටි දේශපාලන බලතල කර්මාන්ත හිමියෝ 1865න් පසුව ලබාගත්හ. 1865 සිට අවුරුදු විස්සක් පමණ යන තෙක් නියම දේශපාලන බලය ලබා සිටියේ මේ කර්මාන්ත හිමියන්ය. කර්මාන්තවල සහ ව්‍යාපාරවල ධනපති ක්‍රමය මුල් බැස ගත්තේ මේ යුගයේ දීය.

දකුණු ප්‍රදේශ අලුතින් ගොඩනැංවිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව රිපබ්ලිකන් පක්ෂයේ මතභේද ඇති විය. රිපබ්ලිකන් පක්ෂය තමන් ලැබූ ජය තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවේය. දකුණු ජනපදවලත් රිපබ්ලිකන් පක්ෂ බලය පිහිටුවීම ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථයක් විය. 1865 සිට ඇති වූ ආර්ථික ව්‍යාප්ති යුගයේ දී එම පක්ෂය උතුරේ කර්මාන්ත හා ව්‍යාපාර හිමියන්ගේ අතකොළුවක් බවට පත් විය. ලින්කන් දකුණු ජනපද කෙරෙහි බලවත් ක්‍රෝධයක් නොදැක්විය. ඔහුට වඩාත් ම අවශ්‍ය වූයේ ජනපද රාජ්‍යය නැවතත් සංවිධානාත්මක ලෙස ගොඩනැඟීමයි. මේ සඳහා ඔහු සාමකාමී පිළිවෙතක් අනුගමනය කිරීම යෙහෙකැයි කල්පනා කළේය. ඔහුගෙන් පසුව ජනාධිපති වූ ඇන්ඩ්රූ ජොන්සන් (1865-69) ලින්කන්ගේ පිළිවෙතට සමාන ප්‍රතිපත්තියක් කෙරෙහි විශ්වාසය තැබුවේය. මෙය කොංග්‍රෙස් සභාව පාලනය කළ ‘අන්තවාදී’ කොටසේ අප්‍රසාදයට හේතුවක් විය. රිපබ්ලිකන් පක්ෂයේ ‘අන්තවාදී’ කොටස දකුණු ජනපදයන් ‘යටත් කළ ප්‍රදේශ’ ලෙස සැලකිය යුතු යයි කල්පනා කළහ. දකුණේ රදල පන්තියට දේශපාලන අයිතිවාසිකම් නැවත ලබා දීම කෙරෙහි ඔවුහු විරුද්ධ වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ දකුණු ජනපද කාර්මික කිරීමය. එමෙන් ම නිග්‍රෝවරුන්ට ඡන්ද බලය ලබා දී තම පක්ෂයේ බලය තහවුරු කරගැනීමයි. ජොන්සන්ට අවශ්‍ය වූයේ මධ්‍යමපන්ති කෘෂිකාර්මික ප්‍රදේශයක් බිහි කිරීමයි.

කොංග්‍රෙස් සභාවේ වැඩි කොටස අන්තවාදී පිලේ විය. ඔව්හු ජනාධිපතිගේ නිෂේධ බලය ද නොතකා ආණ්ඩුක්‍රම පනතට 14, 15, 16 වන යන සංශෝධන ඉදිරිපත් කළහ. මේ අනුව සිවිල් අයිතිවාසිකම් පනත හා නීග්‍රෝ ජනයාට ඡන්ද බලය දීම පිළිබඳ වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. 1866 දී දකුණු ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා කාරක සභාවක් ද ඔව්හු පත් කළහ. කාරක සභාවේ තීරණය අනුව දකුණු ප්‍රදේශ යුද්ධ පාලනය යටතේ කොටස් පහකට බෙදන ලදි. අලුතින් ඡන්ද විමසීම් පවත්වන ලද්දේ නීග්‍රෝවරුන්ට ද ඡන්ද බලය දීමෙන් පසුවයි. ඡන්ද විමසීම්වලින් පසුව මෙම කොටස් නැවත ජනපද රාජ්‍යයට ඇතුළු කර ගන්නා ලදි. මේ අනුව, වෙන් වූ රාජ්‍ය සියල්ල ම 1870 වන විට නැවතත් එකතු විය.

යුද්ධ පාලනය යටතේ දකුණු ප්‍රදේශ නැවත ගොඩනැගීමේ දී සුළු සුළු අඩුපාඩුකම් ඇති වුවත් වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇති කිරීමට රිපබ්ලිකන් පක්ෂයට හැකි විය. නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භයේ මෙකලය. එහෙත් මෙකී ප්‍රතිසංස්කරණ දකුණු ජනපදවාසීන්ගේ අප්‍රසාදය පිට සිදුවූ හෙයින් මෙම ප්‍රදේශ ඩිමොක්රැටික් පක්ෂයේ බලකොටුවක් බවට පත්ව විය. 1870න් පසුව දකුණු ජනපදවාසීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ඊට අමතර ක්‍රියාමාර්ගවලිනුත් නීග්‍රෝවරුන්ගේ ඡන්ද බලය නැති කිරීමට හැකි විය. ක්‍යු-ක්ලක්ස් ක්ලෑන් (Ku-Klux Klan) සංවිධානය ජාතිභේද ඇවිස්සීමෙන් මෙයට ආධාර විය. නීග්‍රෝ ඡන්ද උඩ රඳා පැවති රිපබ්ලිකන් බලය නැතිව ගියේය.

එසේ වුවත් රිපබ්ලිකන් පක්ෂයට මධ්‍යම ආණ්ඩු බලය රැක ගැනීමට හැකි විය. 1868 දී ඔවුහු ජනාධිපති පදවියට යූ.ඇස්. ග්‍රාන්ට් පත් කළහ. දේශපාලනය ගැන වැඩි අවබෝධයක් නොතිබුණු ඔහුගේ පාලන සමය අකාර්යක්ෂම එකක් විය. උතුරු කර්මාන්ත හා ව්‍යාපාර හිමියන්ගේ අවශ්‍යතා අනුව ඔහු විසින් අධික තීරුබදු පනවන ලදි. මෙවැනි දුෂ්කරතා නිසාත් දකුණු ප්‍රදේශවල නියම සමාජ සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නොහැකි වීම නිසාත් රිපබ්ලිකන් පක්ෂය තුළ ම ග්‍රාන්ට් කෙරෙහි විරුද්ධකම් බිහි විය. එහෙත් ලිබරල් රිපබ්ලිකන් යන නමින් හැදින්වුණු මොවුන්ගේ සහාය ඇතුව ඩෙමොක්රැටික් පක්ෂය 1872 දී බලය ලබා ගැනීමට කළ ප්‍රයත්නය නිෂ්ඵල විය. ග්‍රාන්ට් දෙවැනි වරටත් ජයග්‍රහණය කළේය.

ග්‍රාන්ට්ගේ දෙවැනි පාලන යුගයේ දී මහජනයාට දූෂණ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි විය. මේ දුෂණ ක්‍රියා එළිදරව් වීමත් දකුණු දේශපාලනඥයන්ට ඩෙමොක්රැටික් පක්ෂය නැවත ශක්තිමත් ලෙස සංවිධානය කිරීමට හැකි වීමත් නිසා 1874 දී පැවැත්වුණු කොංග්‍රෙස් ඡන්ද විමසීමේ දී එහි බලය ලබාගැනීමට ඩෙමොක්රැටික් පක්ෂයට හැකි විය. 1876 ජනාධිපති මැතිවරණය අවිනිශ්චිත එකක් විය. ප්‍රථමයෙන් ලැබුණු ඡන්ද ප්‍රතිඵල අනුව ඩෙමොක්රැටික් අපේක්ෂකයාට ජය අත්විය යුතුව තිබිණි. දකුණු රාජ්‍ය සියල්ල හැර උතුරේ ප්‍රදේශ කිහිපයක් ද ඔහුට ලැබිණ. එහෙත් පසුව දකුණු කැරොලයිනා, ෆ්ලොරිඩා සහ ලුයිසියානා යන රාජ්‍ය පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පැනනැඟිණි. මේ රාජ්‍ය විසින් ඡන්ද ප්‍රතිඵල ලැයිස්තු දෙකක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙවැනි තත්වයක් පැනනැඟුණ හොත් එය සමථයකට පත් කිරීමට ව්‍යවස්ථාවේ පනත් නොවීය. කොංග්‍රෙස් සභාව මගින් පත් කරන ලද කොමිසමක තීරණය වූයේ මේ රාජ්‍ය රිපබ්ලිකන් පාක්ෂිකයාට අයත් බවයි. මේ අනුව රිපබ්ලිකන් හේස් ජනාධිපති බවට පත් විය. මෙවැනි තීරණයකට එළඹීමේ දී ඩෙමොක්රැටික් පක්ෂය සමඟ සම්මුතියකට එළඹීමට සිදු විය. මේ අනුව 1877 දී පෙඩරල් හමුදා දකුණු කැරොලයිනා සහ ලුයිසියානා යන ප්‍රදේශවලින් ඉවත් කරන ලදි. මේ සමඟ ම රිපබ්ලිකන් බලය ද දකුණෙන් ඉවත් වී ගියේය. සුදු ජාතිකයෝ දකුණේ ඔවුන් වරක් ලබා සිටි බලවත් තැන නැවතත් ලබාගත්හ; නීග්‍රෝ ක්‍රියා මාර්ග මර්දනය කළහ.

යථෝක්ත සම්මුතිය නිසා සුළුකාලීන වශයෙන් රිපබ්ලිකන්වරුන් බලාපොරොත්තු වූ සියල්ල සිදු විය. 1885 දක්වා පෙඩරල් බලය ඔවුන් සතු විය. එහෙත් දීර්ඝකාලීන වශයෙන් කිසිදු ප්‍රශ්නයක් විසඳුණේ නැත. සුදු ජාතියටත් නීග්‍රෝ ජාතියටත් සමගියෙන් වාසය කිරීමට මං සලස්සන ජීවන ක්‍රමයක් ගොඩනැගීමට නුපුළුවන් විය. මූලික ප්‍රශ්න නිරාකරණය කිරීම ප්‍රමාද විය. නියම වශයෙන් ඔවුන්ගේ පාලනයෙන් සිදු වූයේ රාජ්‍ය නිර්බාධ ආර්ථික ප්‍රතිපත්තිය ඇමෙරිකානු සමාජ සංවිධානයේ මුල් බැස ගැනීම පමණකි. 19 වන සියවසේ දෙවන භාගය වැදගත් වන්නේ දේශපාලනමය කරුණුවලට වඩා ආර්ථික සහ සාමාජික කරුණු අතිනි. මේ යුගය තුළ දී වැඩි කාලයක් බලයට පැමිණ සිටියේ රිපබ්ලිකන් පක්ෂයය. එසේ වුවද නොයෙක් කරුණු අතින් පක්ෂ දෙක ම අනුගමනය කළේ එක ම ප්‍රතිපත්තීන්ය.

ගමනාගමනය, කර්මාන්ත සහ කෘෂිකර්මය පිළිබඳ දියුණුව අතින් මේ යුගය ඉතා වැදගත්ය. 1860 දී දුම්රිය මාර්ගවල මුළු දිග සැතපුම් 30,000කි. 1900 වන විට මෙය සැ. 199,000 දක්වා විශාල වී ගියේය. දුම්රිය මාර්ගවල දියුණුවට මුදලින් ආධාර පෙඩරල් රජයෙන් ලැබිණි. 1880 වන විට අත්ලන්තික් සහ ශාන්තිකර සමුද්‍ර දෙක දුම්රිය මාර්ගවලින් සම්බන්ධ විය.

දුම්රිය මාර්ග දියුණුව කර්මාන්තයන්ගේ හා කෘෂිකර්මයේ දියුණුවට බොහෝ දුරට උපකාරී විය. අලුත් කර්මාන්ත බොහොමයක් ඉතා සුළු කාලයක දී දියුණු වී ගියේය. මේ අතරින් වානේ කර්මාන්තය සහ මස් ඇහිරීමේ කර්මාන්තය ප්‍රධාන තැන ගනී. ඛනිජ තෙල් බහුලව සොයා ගැනීම කර්මාන්තයන්ගේ ශීඝ්‍ර දියුණුවට ආධාර විය. 1894 වන විට එක්සත් ජනපද රාජ්‍යය ලෝකයේ ප්‍රධාන කාර්මික ප්‍රදේශය බවට පත් විය. කෘෂිකර්මාන්තය ආර්ථික ජීවිතයේ දෙවැනි තැන ගත්තේය. ආහාර ද්‍රව්‍ය වගාවට යන්ත්‍ර ආධාර කර ගැනීම කෘෂිකර්මාන්ත දියුණුවට හේතු වූ ප්‍රධාන කරුණය. අලුතෙන් ජනාවාස වූ ප්‍රදේශ සියල්ලක ම පාහේ දියුණු වූයේ කෘෂිකර්මාන්තයයි. ශත වර්ෂය අවසාන වන විට එක්සත් ජනපදයට ආහාර පිටරටවලට යැවීමට හැකි විය. ආහාර ද්‍රව්‍යවල මිල තීරණය වූයේ යුරෝපයේ වෙළඳපොළවලය.

ජනගහනය හා සමාජ ප්‍රශ්න

කර්මාන්ත හා කෘෂිකර්මාන්ත දියුණුවත් සමග ම ජනගහනය ද අධික ලෙස දියුණු විය. මේ කාලය තුළ ජනගහනය 50%කින් දියුණු වූ බව සංඛ්‍යා ලේඛනවලින් පෙනේ. ආර්ථික දියුණුවත් සමඟ ම අමුතු ප්‍රශ්න බිහි විය. අලුත් කර්මාන්ත රටේ පැතිර යත් ම නගර කරා ජනයාගේ සංක්‍රමණය අධික විය. මේ සමඟ ම සමාජ ප්‍රශ්න ද බොහෝ විය. නගරවලට රැස් වූ කම්කරු ජනතාවගේ ජීවන තත්වය ඉතා පහත් විය. සුළු වේතන ප්‍රශ්නය, දීර්ඝ කාර්ය කාල ප්‍රශ්නය, සෞඛ්‍ය සහ සදාචාර ප්‍රශ්න යන මේවා එකිනෙක මතු වන්නට විය. සදාචාරය අතින් මෙතෙක් පිළිගෙන තිබූ සම්ප්‍රදායයෝ මුළුමනින් ම වෙනස් වූහ. සේව්‍ය සේවක අරගළ බිහි විය. වෘත්තීය සමිතිවල නියම ආරම්භය ඇති වූයේ මෙකලය. පන්තීන් අතර වූ පරතරය තව විශාල වී ගියේය. මේ ප්‍රශ්න නිරාකරණය කරනු සඳහා නොයෙක් සමාජසේවා ක්‍රම බිහිවන්නට විය. ආරෝග්‍යශාලා, අනාථ දරු මඩම්, සෞඛ්‍ය මණ්ඩල, පාඨශාලා, විනෝදාගාර යනාදිය මහත් ගණනින් බිහි වූයේ මෙකලය.

නවීන විද්‍යා ප්‍රබෝධය ආගම්වල පදනමට තද පහරක් විය. ඩාර්වින්, හ'බට් ස්පෙන්සර්, හක්ස්ලි වැනි අයගේ දර්ශන ආගමික ඉගැන්වීම්වලට පටහැණි විය. මෙම කාලයේ දී ආගමික ව්‍යාපාර කිහිපයක් අලුතින් බිහි විය. තරුණ ක්‍රිස්තියානි සංගම්, ගැළවීමේ හමුදා, එමෙන් ම පරම විඥානාර්ථ සමාගම ආදිය බිහි වූයේ මෙකලය. සාහිත්‍යය අතින් ද අලුත් උද්‍යෝගයක් දක්නා ලදි. නවකථාවේ සහ කාව්‍යයේ යථාර්ථවාදය පිළිබඳ අදහස ඇති වූයේ මෙකලය.

1865න් පසු ඇමෙරිකා දේශපාලනයේ ස්වරූපය සකස් වූයේ පහත සඳහන් කරුණු අනුවය. ආණ්ඩුව යනු කුමක් ද යන්න පිළිබඳව පවතින අදහස් ස්ථාවර නොවන බවත් කලින් කලට සිදුවන සිද්ධීන් අනුව ඒවා හැඩගැසෙන බවත් පිළිගැනිණ. මෙහි දී ඩාර්වින්ගේ පරිණාමවාදය බොහෝ දුරට ආධාර විය. ඇමෙරිකන් ජාතිකයන් විසින් දේශපාලනය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් ගන්නා ලද්දේ මෙකලය. අවසාන වශයෙන් දේශපාලනය බල කොටස් අතර ඇති වන ගැටීම් අනුව හැඩගැසෙන බව ද පිළිගැනිණ. කොටින් කියතොත් එය රාජ්‍ය නිර්බාධ ධර්මයත් ශුභසාධක රාජ්‍යය පිළිබඳ අදහසත් අතර වූ ගැටුමක් ලෙස සැලකිණ.

1860 සිට 1912 දක්වා දිගට ම පාහේ බලප්‍රාප්තව සිටියේ රිපබ්ලිකන් පක්ෂයය. ඩෙමොක්රැටික් පාක්ෂිකයකුට ධවල මන්දිරයට ඇතුළු වීමට හැකි වූයේ 1884 දී හා 1890 දී පමණි. රිපබ්ලිකන් පක්ෂය රාජ්‍ය නිර්බාධ ධර්මය පිළිගත්තේය; කර්මාන්ත හිමියන් සමග කිට්ටු සම්බන්ධයක් ඇති කර ගත්තේය. කොටින් කියතොත් රිපබ්ලිකන් පක්ෂය ව්‍යාප්ත වී යන කාර්මික ධනවාදයේ ආයුධයක් විය. එමෙන් එය ජයග්‍රාහී උතුරේ පක්ෂය විය. ‘හෝම්ස්ටෙඩ්’ පනතින් ගොවිතැනට ඉඩම් ලැබුණු හෙයින් කෘෂිකර්මාන්ත හිමියන්ගේ සහයෝගය ද එයට ලැබුණි. එමෙන් ම ලින්කන්ගේ නාමය ද ඔවුනට අමතක කළ නොහැක්කක් විය.

මේ කාලය තුළ රිපබ්ලිකන් පක්ෂයෙන් ධවල මන්දිරයට ඇතුළු වූවෝ එතරම් දක්ෂ පාලකයෝ නොවූහ; රටේ ඇති වූ ප්‍රධාන බලවේගයන් ගැන දැනීමක් ඇත්තෝ නොවූහ. හේස් (1879-81), ග්‍රාන්ට් යටතේ පිරිහුණු සිවිල් සේවය ප්‍රතිසංස් කරණය කිරීමට උත්සාහ දැරීම නිසා රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ඔහු අප්‍රසාදයට පත් විය. 1881 දී බලයට පත් වූ ජේම්ස් ගාර්ෆීල්ඩ් සුළු කලකින් බලකාමී පුද්ගලයකු විසින් මරා දමන ලදි. ඔහුගෙන් පසුව පැමිණි චෙස්ටර් ඒ. ආතර් (1881-84), හේස් විසින් පටන් ගන්නා ලද සිවිල් සේවය පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. අවංක සිවිල් සේවයක් ගොඩනැඟීම සඳහා පනතක් ඔහු විසින් සම්මත කරන ලදි. ආණ්ඩුවේ උසස් පදවිවලට තමන්ගේ අනුගාමිකයන් පත් කර ගැනීමේ ක්‍රමය නැති කිරීම සඳහා ප්‍රථමයෙන් උත්සාහ ගන්නා ලද්දේ ඔහු විසිනි. 1860න් පසුව ප්‍රථම වරට ඩෙමොක්රැටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය දිනා ගැනීමට හැකි වූයේ ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ටය (1884-88). ආණ්ඩුවේ බලතල ලබා සිටි විශේෂ කොටස්වල බලය ඉවත් කිරීමේ කාර්යය ඔහු නිර්භීතව ඉටු කළේය; අධික තීරු බදු අඩු කිරීමේ පියවරවල් ද ගත්තේය. එපමණක් නොව සිවිල් සේවය සංශෝධනය කිරීමේ කටයුත්ත සඳහා ද ඉදිරිපත් විය. මේ ක්‍රියාමාර්ගයන් නිසා ඔහු කර්මාන්ත හා ව්‍යාපාර හිමියන් අතර අප්‍රසාදයට පත් වුව ද සාමාන්‍ය මහජනතාවගේ ගෞරවාදරයට භාජන විය. 1888 දී මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ බෙන්ජමින් හැරිසන් ජනාධිපති ධුරයට පත් විය. කොංග්‍රස් සභාවේ මණ්ඩලද්වයේ ම බලය ලබාගැනීමට ද ඔහුට පුළුවන් විය. ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ තීරුබදු ප්‍රශ්නය උඩයි. ඇමෙරිකානු ඉතිහාසයේ පැනෙන අධික ම තීරුබදු පනත් ඉදිරිපත් කරන ලද්දේ හැරිසන්ගේ පාලන සමයේ දීය. සිවිල් සේවය ද රිපබ්ලිකන් පක්ෂයේ මැදිහත් වීම නිසා අඩපණ විය.

1892 දී නැවතත් ඩෙමොක්රැටික් පාක්ෂික ක්ලීව්ලන්ඩ්ට කොංග්‍රෙස් මණ්ඩලද්වයේ බලයත් සමඟ ම ජනාධිපති ධුරය දිනා ගැනීමට හැකි විය.

විදේශ ප්‍රතිපත්ති

සිවිල් යුද්ධයෙන් පසුව ඇමෙරිකානු-ස්පාඤ්ඤ යුද්ධය දක්වා විදේශ සම්බන්ධතාවල දී ඇමෙරිකාවට අර්බුද තත්වයකට මුහුණපාන්නට සිදු නොවීය. ජාතියේ අවධානය යොමු වී තිබුණේ සිවිල් යුද්ධයෙන් ඇති වූ දුර්විපාක ඉවත් කිරීම හා බටහිර ප්‍රදේශවල ව්‍යාප්තිය කෙරෙහිය. විසඳීමට තිබුණේ සිවිල් යුද්ධයෙන් උද්ගත වූ විදේශ ප්‍රශ්න කිහිපයකි. මේ සමය තුළ විදේශභාර කටයුතු පිළිබඳ ලේකම් ධුරය දැරුවෝ දක්ෂයෝ වූහ.

කැනඩාව පිළිබඳ ප්‍රශ්නයේ දී බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව අතර යුද්ධයක් ඇති කරවීමට උත්සාහ දැරූ සමහර කොටස්වලට දඬුවම් පැමිණවීමෙන් ඇමෙරිකන් ආණ්ඩුව බ්‍රිතාන්‍යයේ සහයෝගය දිනා ගත්තේය. මේ අවදියේ වැදගත් ම සිද්ධිය ලෙස සැලකිය හැක්කේ 1871 වොෂිංටන් ගිවිසුමයි. බ්‍රිතාන්‍යයත් ඇමෙරිකාවත් අතර පැන නැඟ පැවති අනෙක් ප්‍රශ්න සාකච්ඡා මගින් නිරාකරණය කරගත යුතු යයි ඉන් තීරණය විය. මෙය අනාගත ඉංග්‍රීසි-ඇමෙරිකන් සම්බන්ධතාවන්හි පදනම විය.

විදේශ කටයුතු පිළිබඳ අනෙක් වැදගත් ප්‍රශ්න කැරිබියන්, ලතින් ඇමෙරිකා සහ පැසිපික් යන ප්‍රදේශ සම්බන්ධයෙන් විය. 1867 දී ජනපද රාජ්‍යයට ඇලස්කාව රුසියාවෙන් මිල දී ගැනීමට හැකි විය. ඈත පෙරදිග කෙරෙහි වූයේ සාමකාමී ප්‍රතිපත්තියකි. චීනයෙන් කම්කරුවන් සංක්‍රමණය වීම සීමා කිරීමේ නීති පනවන ලදි. ජපානය සමඟ වූ වෙළෙඳ සම්බන්ධතා මේ කාලය තුළ ශීඝ්‍රයෙන් දියුණු විය. දකුණු පැසිපික් සාගරයේ පිහිටි හවායි දිවයින ඇමෙරිකානු වෙළඳපොළක් විය. හවායි දිවයිනේ විප්ලවාදී කණ්ඩායමකට එහි රජය පෙරළා දැමීමට ඇමෙරිකානු නාවික හමුදාව උදව් විය. මෙසේ එය ජනරජයක් බවට පත් විය. ස්පාඤ්ඤ යුද්ධ සමයේ දී එය ඇමෙරිකාව විසින් ඈඳාගන්නා ලදි.

මහා බලවතකු වීමේ අත්තිවාරම්

ඇමෙරිකානු-ස්පාඤ්ඤ යුද්ධය එක්සත් ජනපද රාජ්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඇමෙරිකාව ලෝකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් වන්නට වූයේ මෙයින් පසුවයි. කැරිබියන් සහ ඈත පෙරදිග ඇමෙරිකානු යටත් විජිත ඇති වූයේ ද මෙම යුද්ධයෙන් පසුවයි. 19 වන සියවසේ අවසාන කොටසේ වූ ආර්ථික දියුණුව නිසා විදේශයන්හි ආයෝජනය කිරීම පිණිස ප්‍රාග්ධන අතිරික්තයක් රැස්කර ගැනීමට ජනපද රාජ්‍යයට හැකි විය. එක්සත් ජනපද රාජ්‍යය ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධනය යෙදවූයේ මෙක්සිකෝ, කැනඩා සහ ක්‍යුබා යන ප්‍රදේශවලය. 1894 දී ආයාත කරන ලද සීනි සඳහා අධික තීරුබදු පැනවීම ඇමෙරිකානු-ස්පාඤ්ඤ යුද්ධයට පසුබිම ලෙස පිළිගත හැකිය. මෙයින් ක්‍යුබාවේ අර්බුද තත්වයක් උද්ගත විය. එහි ස්පාඤ්ඤ පාලනයට විරුද්ධව ජනපද රාජ්‍යයේ ජන විරෝධයක් බිහි විය. හැවනා වරායේ වූ ‘මේන්’ නම් ඇමෙරිකානු යුද්ධ නැව විනාශ කිරීම මෙම විරෝධය වැඩි වීමට තවත් හේතුවක් විය. 1898 දී පටන් ගන්නා ලද මෙම යුද්ධය සුළු කලකින් ජනපද රාජ්‍යයට ජය අත්වීමෙන් අවසන් විය. මෙම යුද්ධයෙන් පසු බටහිර අර්ධ ගෝලයේ ස්පාඤ්ඤ බලපෑම අවසන් විය.

ක්‍යුබාව ඇමෙරිකානු බලපෑමට හසු විය. තවත් වැදගත් සිද්ධියක් වූයේ පිලිපීනය ඇමෙරිකාවේ යටත් විජිතයක් බවට පත් වීමයි. යටත් විජිත පාලනයට විරුද්ධව සටන් කළ ජනතාවක් අධිරාජ්‍ය බලයක් බවට පත් වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ක්ලීව්ලන්ඩ්ගේ දෙවැනි පාලන යුගය (1893-97) අර්බුදකාරී සමයක් විය. දුම්රිය පාලන සමාගම්, බැංකු යනාදිය පිරිහී යෑම නිසා ආර්ථික පරිහාණි සමයක් උදා විය. මෙවැනි තත්ත්වයකට සාර්ථක ලෙස මුහුණපෑමට තරම් දක්ෂකමක් ක්ලීව්ලන්ඩ්ට නොවීය. කම්කරු වැඩ වර්ජන කිහිපයක් ම මේ කාලයේ දී ඇති විය. ‘පොපියුලිස්ට්’ යනුවෙන් අලුත් පක්ෂයක් බිහි විය. ගොවීන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට ඔවුහු ඉදිරිපත් වූහ. 1896 දී සිදු වූ කැරලිකාර සිද්ධීන් බොහෝ දුරට මොවුන්ගේ මෙහෙයීම පිට සිදු විය. 1896 මැතිවරණයේ දී ඩෙමොක්රැටික් පක්ෂයට පොපියුලිස්ට් පක්ෂයේ සහයෝගය ලැබුණ ද රිපබ්ලිකන් පාක්ෂික විලියම් මැක්කින්ලිට ජයග්‍රහණය කළ හැකි විය. රන් මිනුම (gold standard) නීතිගත කරන ලද්දේ මොහුගේ පාලන සමයේ දීය.

1900න් පසුව ඇමෙරිකානු ඉතිහාසයේ දක්නට ලැබෙන ප්‍රධාන බලවේගය නම් එවක බිහි වූ ප්‍රගතිශීලි ව්‍යාපාරයයි. දේශපාලන සංස්ථා එවකට වඩා ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණවලින් යුක්ත විය යුතු බව මේ බලවේගයේ මූලික අදහස විය. මේ සඳහා රජයේ බලතල සහ අයිතිවාසිකම් වඩ වඩා ව්‍යාප්ත විය යුතු බව පිළිගැනිණි. මේ ප්‍රගතිශීලි ව්‍යාපාරය ධනවාදයට විරුද්ධව එල්ල කරන ලද පහරක් නොවීය. ධනේශ්වරවාදී ජීවිත ක්‍රමයේ ඇති වී තිබුණු අයහපත් අංග ඉවත් කිරීම එහි පරමාර්ථය විය. තියොඩෝර් රූස්වෙල්ට් සහ වුඩ්රෝ විල්සන් දේශපාලන භූමියට අවතීර්ණ වූයේ මේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙනි.

විසිවැනි ශතවර්ෂය උදාවන විට ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ උපත දක්නට ලැබේ. යටත් විජිත ඇති වීම මෙන් ම යුරෝපයේ දේශපාලන අර්බුදයන්ට ඇඟිලිගැසීම ද පැහැදිලිව ම දක්නට ඇත.

ඇමෙරිකානු ජීවිතයේ ඇති වූ වෙනස්කම් නියම ලෙස අවබෝධ කොටගත් ප්‍රථම ජනාධිපතිවරයා වූකලි තියොඩෝර් රූස්වෙල්ට්ය (1901-1908). දේශපාලන සංවිධානය හා පාලනය පිළිබඳව විශේෂ දක්ෂකමක් ඔහුට තිබිණි. බටහිර අර්ධගෝලයේ ඇමෙරිකන් බලය වැඩිදියුණු කිරීමට ඔහු උත්සාහ කෙළේය. ප්‍රගතිශීලි අදහස් දැරුව ද ඇමෙරිකන් ඉතිහාසයේ විශේෂ කාර්ය සිද්ධියක් ඔහු අතින් සිදු නොවීය.

1910 වන විට රිපබ්ලිකන් පක්ෂය තුළ භේද බිහි විය. 1912 මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් දෙදෙනකු තරඟ කළ හෙයින් ඩෙමොක්රැටික් පාක්ෂික වුඩ්රෝ විල්සන්ට ජය අත්විය. 19 වන සියවසේ බ්‍රිතාන්‍ය ලිබරල්වාදය පිළිබඳ භක්තියක් විල්සන්ට තිබුණේය. ඒකාධිකාරයට විරුද්ධ වූ හෙතෙම එයින් තොර පෞද්ගලික ව්‍යාපාර ක්‍රමය නැවත දියුණු කිරීමට උත්සාහ කළේය. ඇමෙරිකානු දේශපාලන ක්‍රමය නැවත අලුතින් ගොඩනැංවීම ඔහුගේ කාර්යය විය. ඔහුගේ දේශපාලන දර්ශනය හැඳින්වූයේ ‘නව නිදහස’ යනුවෙනි. පළමුවන ලෝක සංග්‍රාමය නිසා ආභ්‍යන්තරික දේශපාලන ප්‍රශ්නයන් නිරාකරණය කිරීම නතර වුවත් ජැක්සන්ට පසුව විශේෂ සේවයක් කිරීමට හැකි වූයේ විල්සන්ට පමණි.

පළමුවන ලෝක සංග්‍රාමය

පළමුවන ලෝක සංග්‍රාමය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ වැදගත් ස්ථානයක් ගත් සිද්ධියකි. ලෝකයේ ප්‍රධාන රාජ්‍යයක් වශයෙන් ඇමෙරිකාවට මෙම ලෝක සංග්‍රාමයට සහභාගි වන්නට සිදු විය. මෙම යුද්ධය පටන් ගත් අවදියේ ඇමෙරිකාව ඒකමතිකව තීරණය කෙළේ මධ්‍යස්ථව සිටීමටයි. එහෙත් ජර්මන් ජාතිකයන් සම්මත නීති කඩකිරීම නිසා එරටට මධ්‍යස්ථව සිටිය නොහැකි විය. ජර්මනුන් විසින් ටෝර්පිඩෝ වෙඩි දමා නැව් විනාශ කිරීම මෙයට එක් හේතුවක් විය. එමෙන් ම මිත්‍රජාතීන්ගේ ජයග්‍රහණයකින් ඇමෙරිකාවට ආර්ථික අතින් වාසි ඇති වීමට ඉඩ තිබෙන බව පෙනී යෑම තවත් හේතුවකි.

විල්සන්ගේ දෙවන පාලන සමයේ දී යුද්ධය සමථයකට පැමිණවීමට ඔහු ගත් පියවර අසාර්ථක විය. මෙයින් පසුව ජර්මනිය සමඟ වූ තානාපති සබඳකම් අත්හැර දමන ලදි. 1917 දී ඇමෙරිකාව මිත්‍රජාතීන්ට පක්ෂව යුද්ධයට සහභාගි විය. ඇමෙරිකාව යුද්ධයට බැඳුණේ පමා වී වුව ද එයින් මිත්‍ර ජාතීන්ට ඇති වූ වාසිය අතිවිශාලය. ඇමෙරිකාව යුද්ධයට සහභාගි වූයේ මිත්‍ර ජාතීන්ගේ ධෛර්යය බෙහෙවින් හීන වී තුබුණු අවස්ථාවක දීය. වර්සේල්ස් ගිවිසුමට මිත්‍රජාතීන් වෙනුවෙන් විල්සන් ද සහභාගි විය. ඔහු ඉදිරිපත් කරන ලද කරුණු දහහතර සාම ගිවිසුමේ දී ප්‍රධාන තැනක් ගති. විල්සන් බලාපොරොත්තු වූ පරිදි මේ ගිවිසුම නිසා ‘ජාතීන්ගේ සංගමය’ පිහිටුවීමට හැකි වුව ද සෙනේට් සභාවේ විරුද්ධත්වය නිසා ඇමෙරිකාවට එයට බැඳෙන්නට නොහැකි විය. ඇමෙරිකාව ජාතීන්ගේ සංගමයේ සාමාජිකයකු නොවුව ද 1925 පමණේ දී සිට එම සංගමයේ රැස්වීම්වලට නිරීක්ෂකයන් යැවීය. යුරෝපයේ සිද්ධිවලට සහභාගිවීමේ ප්‍රශ්නය පිළිබඳව ඇමෙරිකානු මහජන මතය පිල් දෙකකට බෙදී තිබුණි. හ’බට් හූවර්ගේ සමය (1929-33) වන විට ඇමෙරිකාව විදේශීය කරුණුවල දී බොහෝ දුරට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හැඩගැසී සිටියේය. 1929 දී ඇති වූ මහා පරිහාණි සමයේ ප්‍රතිඵලයක් වශයෙන් 1932 දී ෆ්‍රැංක්ලින් රූස්වෙල්ට් යටතේ ඩෙමොක්‍රැටික් පක්ෂයට ජය අත්විය.

රූස්වෙල්ට් තම ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ කාර්මික ඒකාධිකාරය නැති කළ යුතුය යන ප්‍රතිපත්තිය උඩය. ජාතික ධනය බෙදීයෑමේ දී සියලු දෙනාට ම සමාන අවස්ථාවක් ලබා දිය යුතු යයි ඔහු ප්‍රකාශ කෙළේය. ඔහුගේ දේශපාලන දර්ශනය හැඳින්වෙනුයේ ‘නව විභාජනය’ (New Deal) යනුවෙනි. මෙම ක්‍රියා පිළිවෙළ යටතේ පරිහාණි සමයෙන් ඇති වූ පීඩාකාරී තත්වය මඟහැරවීමට සහනාධාර පියවරවල් කිහිපයක් ඔහු විසින් ගන්නා ලදි. මේ සඳහා ඔහු විසින් ප්‍රථම පාලන සමය තුළ ප්‍රධාන පනත් 21ක් හා සුළු පනත් 100ක් පමණ ක්‍රියාත්මක කරන ලදි. 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ඇති වීමත් සමඟ ම මෙම වැඩපිළිවෙළ ඇණ සිටියේය. රූස්වෙල්ට්ගේ පරමාර්ථය වූයේ ධනපති ක්‍රමය නැති කිරීම නොවේ. එම ක්‍රමය මහජනතාවගේ ශුභ සිද්ධිය සඳහා සංවිධානය කිරීමයි. එම පරමාර්ථය සාර්ථක වූයේ යයි නිගමනය කිරීම අපහසුය. ඒකාධිකාර ක්‍රමය නැති නොවීය. එය තවදුරටත් දියුණු වූ බව පෙනේ.

දෙවැනි ලෝක සංග්‍රාමය

1935-39 අතරතුර දී යුරෝපයේ සහ ආසියාවේ ඇති වූ සිද්ධීන් දෙස ඇමෙරිකාව බැලුවේ මධ්‍යස්ථ අදහස්වලින් යුතුවය. හිට්ලර්ගෙන් හෝ මුසොලීනිගෙන් එක්සත් ජනපද රාජ්‍යයට තර්ජනයක් එල්ල වේ යැයි ඔවුහු කල්පනා නොකළහ. එමෙන් ම පළමුවන ලෝක සංග්‍රාමයෙන් තමන්ට ඇති වූ කරදර ඔවුනට අමතකව ගොස් නොතිබිණි. සාමාන්‍ය ජනතාවගේ කල්පනාව මෙය වුව ද ජනාධිපති රූස්වෙල්ට්ට ජාත්‍යන්තර සිද්ධි පිළිබඳව මෙයට වඩා අවබෝධයක් තිබිණි. ඔහුට ජාත්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට උවමනාවක් තිබුණ ද සෙනේට් සභාවේ විරුද්ධත්වය එයට අවහිරයක් විය.

එහෙත් මේ තත්වය යුරෝපයේ සිද්ධීන් නිසා හදිසියේ ම වෙනස් විය. 1939 දී ජර්මනුන් විසින් පෝලන්තය යටත් කරගැනීමත් ඊළඟ වර්ෂයේ දී ජර්මන් අවිබලය ඉදිරියේ නොර්වේ, ඩෙන්මාර්ක්, ඕලන්දය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ අවසාන වශයෙන් ප්‍රංසය ඇද වැටීමත් නිසා ඇමෙරිකාවට තවදුරටත් යුද්ධයට නොබැඳී සිටීමට බැරි අවස්ථාවක් පැනනැඟුණි. යම් හෙයකින් බ්‍රිතාන්‍යය ද ඇදවැටුණොත් ඇමෙරිකාවට ඒකාධිපති රාජ්‍යයකට මුහුණ දීමට සිදුවන බව පෙනී ගියේය. මේ තත්වය මඟහැරවීමට මිත්‍ර ජාතීන්ට උදව් කළ යුතු බව වටහාගත් රූස්වෙල්ට් වහා බ්‍රිතාන්‍යයට ආධාර යැවීය.

1940 මැතිවරණය පැවැත්වුණේ මෙවැනි යුද්ධකාමී පරිසරයකය. රූස්වෙල්ට් තෙවැනි වරටත් ජනාධිපති පදවියට පත් විය. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ගැන රටේ විරුද්ධත්වයක් පැවතුණ ද රූස්වෙල්ට් මිත්‍රජාතීන්ට ආධාර දීම තවදුරටත් දියුණු කළේය. 1941 වන විට ඇමෙරිකාව මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් බොහෝ දුරට ඉවත් වී සිටියේය. ජර්මනිය සමඟ තිබුණු තානාපති සබඳකම් ඉවත් කරන ලදි. එම වර්ෂයේ දී ම රූස්වෙල්ට් සහ ච'චිල් මුණගැසී ලෝකයේ ආරක්ෂාව අරභයා සම්මුතියකට පැමිණියහ. 1941 වන විට ඇමෙරිකාව ඇත්ත වශයෙන් යුද්ධ ප්‍රකාශයක් නොකළ ද ජර්මනිය සමඟ යුද්ධයකට පටලැවී සිටියේය.

ජපනුන්ගේ ක්‍රියා මාර්ගය යුද්ධය තවදුරටත් ඉක්මන් කරවිය. 1941 දී ජපානය ප'ල් වරාය අල්ලාගැනීමත් පිලිපීනය යටත් කිරීමත් සමඟ ම ඔවුහු පැසිපික් ප්‍රදේශයේ නියම පාලකයෝ වූහ. ජපානයට හා ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන ලද්දේ මෙයින් පසුවයි.

1942 වන විට අයිසන්හවර් සෙනෙවියා යටතේ වෙන ම ඇමෙරිකානු හමුදාවක් සංවිධානය කිරීමට තරම් ඇමෙරිකානු භටයෝ යුරෝපයේ සිටියහ. 1943 වන විට ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යය හා රුසියාව සමඟ එක්සත්ව ක්‍රියා කිරීමට අවස්ථාවක් එළඹිණ. තෙහෙරාන්හි දී රූස්වෙල්ට්, ච'චිල් හා ස්ටාලින් යන නායකයෝ මුණගැසුණාහ. 1945 මැයි මස ජර්මන් හමුදා යටත්වීමෙන් පසුව එක ම සතුරා වූයේ ජපානයය. ජපානය යටත් කිරීම සඳහා ඇමෙරිකාව විසින් ප්‍රථම වරට පරමාණු බෝම්බ ජපානයේ හිරොෂිමා සහ නාගසකි යන නගර මත හෙළන ලදි. ජපානය මෙයින් පසුව යටත් විය (ලෝක සංග්‍රාමය II බ.).

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු

1945 අප්‍රියෙල් මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංගමය සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී ආරම්භ විය. මෙයට ඇමෙරිකාවේ සම්පූර්ණ සහයෝගය ලැබිණි. යුද්ධයෙන් පසුව, ඇමෙරිකාවත් රුසියාවත් අතර කලින් පැවති හොඳ හිත ක්‍රමයෙන් හීන විය. කොමියුනිස්ට් ධර්මය නොයෙක් රටවල පැතිරී යනු දැක බියට පත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංස ආධාර ඇතුව රුසියාවේ බලය සීමා කිරීමට උත්සාහ කළේය. ට්රූමන් ධර්මය (1947) යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. කොමියුනිස්ට් ධර්මය පැතිර යෑම වැළැක්වීමේ අරමුණින් යුරෝපයේ රටවලට ආධාර දීමේ ‘මාර්ෂල් යෝජනා ක්‍රමය’ බිහි වූයේ මෙයින් පසුවයි. යුරෝපයේ පමණක් නොව ඈත පෙරදිග ද කොමියුනිස්ට් ධර්මය පැතිර යෑම වැළැක්වීමට ඇමෙරිකාව උනන්දු විය. 1950 දී චීනයේ කොමියුනිස්ට්වරුන් බලයට පත් වූවාට පසු චියං කායි ෂෙක් යටතේ වූ ජාතික චීනයට (ෆෝර්මෝසාවට) ඇමෙරිකාවේ ආධාරය ලැබිණි.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව එක්සත් ජනපදය ලෝක ප්‍රශ්නවලට නිතර සහභාගි විය. 1945 යෝල්ටා සම්මුතිය අනුව දෙකොටසකට බෙදන ලදි. එක්සත් ජනපද රාජ්‍යය යටතේ වූ දකුණු කොරියාවට 1950 දී උතුරු කොරියානු හමුදා කඩා වැදුණි. කොරියානු යුද්ධය නිසා එක්සත් ජනපද රාජ්‍යයට මෙවැනි අර්බුදවලට නිතර නිතර ඇඟිලි ගසන්නට සිදු විය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝකය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදිණි. කොමියුනිස්ට් විරෝධී කඳවුරේ නායකත්වය දැරීමට තරම් ශක්තියක් තුබුණේ අමෙරිකාවට පමණි.

1952 මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වූ අයිසන්හවර්ට ජය අත් විය. ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වූයේ විදේශ කටයුතු කෙරෙහිය. උතුරු අත්ලන්තික් ගිවිසුම හා යුරෝපීය ආරක්ෂක සංවිධානය ශක්තිමත් කිරීම මෙයින් ප්‍රධාන තැන ගති. විදේශ කටයුතු භාර ලේකම් වූ ජෝන් ෆොස්ටර් ඩලස්ට කොරියානු ප්‍රශ්නය පිළිබඳව රුසියාව සමඟ සම්මුතියකට පැමිණීමට හැකි විය (කොරියාව බ.). ඈත පෙරදිග පිළිබඳව ඇමෙරිකන් ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී ඩලස් මුල් තැනක් ගත්තේය. ඇමෙරිකානු ඈත පෙරදිග ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වූයේ කොමියුනිස්ට් බලය සීමා කිරීමයි. මේ සඳහා ඇමෙරිකානු රජය ලෝකයේ විවිධ රටවල කොමියුනිස්ට් විරෝධී ජාතිවාදීන්ට සහාය දීමට තීරණය කර ගත්තේය. මෙයට හොඳ ම නිදසුනකි, දකුණු වියට්නාමය. 1954 ජිනීවා සම්මේලනයෙන් වියට්නාමය කොටස් දෙකකට බෙදීමට තීරණය විය. උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් රජයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව ඇමෙරිකාව 1955 දී ඩින් ඩියෙම්ට දකුණු වියට්නාමයේ බලය ලබා ගැනීමට උදව් විය. මෙම ප්‍රතිපත්තිය කෙතරම් දුරට අසාර්ථක වී ද යන්න 1963 දී දකුණු වියට්නාමයේ සිදු වූ සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. වියට්නාම් ප්‍රශ්නය මෙතෙක් (1966) විසඳී නැත. ඇමෙරිකාව උතුරු වියට්නාමයට විරුද්ධව දිගට ම දකුණු වියට්නාමයට යුද්ධ ආධාර දීම ද උතුරු වියට්නාමයේ නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ගෙන යන යුද්ධය ද බොහෝ ඇමෙරිකානු විවේචකයන්ගේ පවා දෝෂදර්ශනයට භාජනව පවතී (වියට්නාම් බ.).

1956 දී පැවති සූවස් අරගළයේ දී ඇමෙරිකාව බොහෝ දුරට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේය.

1956 දී නැවතත් අයිසන්හවර් බලයට පත් විය. 1960 අවසානයේ දී පැවති ජනාධිපති තරඟයෙන් ඩෙමොක්රැටික් පාක්ෂික ජෝසප් කෙනඩි බලයට පත් විය. කෙනඩිගේ පාලනය එතෙක් පැවති අයිසන්හව්වර් පාලනයෙන් තරමක් වෙනස් මඟක් ගති. නීග්‍රෝවරුනට සිවිල් අයිතිවාසිකම් ලබා දීමේ පෘථුල වැඩපිළිවෙළක් කෙනඩි සකස් කළේය. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මත්තෙන් 1963 ඔක්තෝබර් මාසයේ දී සාහසිකයකු විසින් කෙනඩි මරා දමන ලදි. කෙනඩිගේ පාලන සමයේ දී ක්‍යුබාව පිළිබඳ ප්‍රශ්නය වැදගත් විය. 1962 දී ක්‍යුබාවේ කස්ත්‍රෝ රජය පෙරළා දැමීමට විප්ලව විරෝධී කණ්ඩායමකට කෙනඩි ආධාර දුන් නමුත් එම වෑයම නිෂ්ඵල විය. කෙනඩිගේ ඇවෑමෙන් උපජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති ධුරයට පත් විය. කෙනඩිගේ ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යාම ජොන්සන්ගේ ප්‍රතිපත්තිය වී ඇත. නීග්‍රෝවරුනට සිවිල් අයිතිවාසිකම් ලබා දීමේ පනතක් සම්මත කර ගැනීමට ඔහු සමත් විය.

ආණ්ඩුක්‍රමය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය වූකලි ෆෙඩරල් සමූහාණ්ඩුවකි. ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වූත් අනම්‍ය වූත් එකකි. මෙම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ 1787 දී ෆිලඩෙල්ෆියාවෙහි පැවැත්වුණු සම්මේලනයක දීය. එවක පැවති ජනපද තෙළෙස විසින් එම ව්‍යවස්ථාව පිළිගෙන ක්‍රියාත්මක කරනු ලැබුවේ 1789 දීය. මෙරට සෑම ප්‍රදේශ රාජ්‍යයකට ම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙන වෙන ම ඇත.

සන්ධීය හෙවත් ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් යටතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විශේෂ තැනක් හිමි වේ. සන්ධීය ආණ්ඩුක්‍රමයකට විශේෂ වූ බලතල පංගු කිරීම ව්‍යවස්ථාවේ විස්තර සහිතව සඳහන් කොට තිබේ. එය ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනපදයන් ඇති කර ගත් ගිවිසුම ආරක්ෂා කරන ලියවිල්ලක් වැනිය. ෆෙඩරල් සමූහාණ්ඩුවටත් ජනපදයන්ගේ ආණ්ඩුවලටත් වෙන වෙන ම අයත් පාලන කටයුතු අඩංගු පැහැදිලි ලැයිස්තු දෙකක් ව්‍යවස්ථාවේ අන්තර්ගතය. ඒ අනුව අයබදු ගැනීම, මුදල් අච්චු ගැසීම, යුද්ධ හමුදා ඇතුළු රාජ්‍යාරක්ෂක සේවාවන් පවත්වා ගෙන යෑම, මිනුම් හා කිරුම් ක්‍රමයක් පවත්වා ගැනීම, විදේශ රටවල් සමඟ මෙන් ම ජනපද අතර ද වෙළඳ කටයුතු පාලනය කිරීම, විදේශ රටවල් හා ගිවිසුම් ඇති කර ගැනීම ෆෙඩරල් සමූහාණ්ඩුව යටතට වැටෙන ප්‍රධාන කාර්යයන්ගෙන් සමහරකි. සාමාන්‍යයෙන් වෙනත් රටවල ජාතික ආණ්ඩුවලට අයත් වන අධ්‍යාපනය, පොලිස් ආරක්ෂක සේවාව, සමාජ ආරක්ෂක කටයුතු, කම්කරු තත්වය, වෙළඳ, කෘෂිකාර්මික හා කාර්මික කටයුතු පාලනය වැනි කාර්යයන් හා ඡන්ද බලය දීම, දේපළවලින් අයබදු ගැනීම වැනි ප්‍රශ්න සම්බන්ධව ව්‍යවස්ථා පැනවීම ප්‍රදේශ රාජ්‍යයන්ට අයත් බලතල අතර වෙයි.

බලතල බෙදීම

ෆෙඩරල් රාජ්‍යයත් ජනපදයනුත් අතර බලතල බෙදීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ 10 වැනි සංශෝධන පනතෙහි මෙසේ කියැවේ: “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක්සත් ජනපද රාජ්‍යයට අභිනියෝජනය කර නැත්තාවූ ද එයින් ප්‍රදේශ රාජ්‍යයන්ට අවළංගු කර නැත්තාවූ ද බලතල ඒ ඒ ප්‍රදේශ රාජ්‍යයන්ට නැතහොත් ජනතාවට හිමි වේ”. ව්‍යවස්ථාදායක කටයුතු අතින් බලන කල්හි වැඩි බලය ජනපදයන්ට හිමි වන නමුදු පාලන ක්‍රමයේ නියම විකසනය දෙස බලන කල්හි මෙයට ඉඳුරා ම වෙනස් වූ තත්වයක් පෙනී යන්නේය. කලක සිට පාලන බලතල වැඩි වැඩියෙන් ම ෆෙඩරල් ආණ්ඩුව අතට පැවරී ඇති අතර ජනපදයන්ගේ ව්‍යවස්ථාදායක බලතල අඩු වී ගොස් ඇත. ෆෙඩරල් සමූහාණ්ඩුවේ බලතල වැඩි වීම දියුණු වූයේ ලෝක සංග්‍රාම කාලවල දී සහ ජනාධිපති රූස්වෙල්ට්ගේ නව විභාජන වැඩ පිළිවෙළ සම්බන්ධ ව්‍යවස්ථා සම්පාදනය ඇති වූ කාලයේ දීය. මේ කාලවලදී ෆෙඩරල් සමූහාණ්ඩුව විශේෂ බලතල ලදුයේය. ෆෙඩරල් සමූහාණ්ඩුවේ බලතල සම්බන්ධව මෙකී වෙනස ඇති කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ෆෙඩරල් බලතල උසාවි මඟින් වඩාත් පුළුල් වශයෙන් විවරණය කිරීමෙන්ය. ජනපද අතර වෙළඳාම පාලනය කිරීමට ඇති ව්‍යවස්ථාදායක බලය පුළුල් වශයෙන් විවරණය කොට ජනපද අතර වෙළඳාම් කෙරෙන භාණ්ඩ නිපදවන කාර්මික ආයතන සඳහා අවම වැටුප් නියම කිරීමේ ෆෙඩරල් නීතියක් පැනවීම නිදසුනක් වශයෙන් ගත හැක. ගමනාගමන පහසුකම් සුලභ වීම හේතුකොටගෙන උතුරු ඇමෙරිකා මහාද්වීපය අතිශයින් ම ඒකාබද්ධ වී ඇති අතර දවසින් දවස උද්ගත වන අලුත් පාලන ප්‍රශ්න රාශිය තනිව ම විසඳීම කුඩා ජනපදයන්ට කොහෙත් ම කළ නොහැකි වේ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇත්තේ බලතල පංගු කිරීම් දෙවර්ගයකි. ෆෙඩරල් සමූහාණ්ඩුවත් ජනපදත් අතර බලතල බෙදීම එකකි. අනෙක නම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන අංශ තුන අතර බලතල පංගු කිරීමයි. මුලින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල එකිනෙකින් වෙන් කොට තබා ගැනීමේ යෝග්‍යතාව පෙන්වන මොන්ටෙස්ක්‍යුගේ බලතල පංගු කිරීමේ සිද්ධාන්තය තදින් බලපෑවේය.

ජනාධිපති

විධායක බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටය. ඔහුට සහාය පිණිස උපජනාධිපතිවරයකුත් කැබිනට් මණ්ඩලයකුත් ඇත්තාහ. ජනාධිපතිවරයා ස්ථාවර විධායකයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කියවෙන පරිදි ජනාධිපතිගේ නිල කාලය අවුරුදු 4කි. ජනාධිපති තෝරා පත් කරන ක්‍රමය පිළිබඳ විස්තර සියල්ල ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වැනි කොටසේ දෙවැනි වගන්තියේ සඳහන් වේ. 1804 දී මේ කොටසට අදාළ වන සංශෝධනයක් ඇති කරනු ලැබීය. මේ සංශෝධනය අනුව උපජනාධිපති පත් කිරීමට වෙන ම ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව කියැවේ.

ජනාධිපති ඡන්ද විමසීමට සහභාගි වන වරකයෝ සෑම ජනපද රාජ්‍යයකින් ම තෝරනු ලබත්. නියෝජිත මණ්ඩලීය මන්ත්‍රීන්ගේත් සෙනේට් මන්ත්‍රීන්ගේත් ගණනට සරිලන අන්දමට වරකයන් සංඛ්‍යාවක් සෑම ජනපදයක් විසින් ම තෝරා පත් කරනු ලැබෙත්. මෙකී වරකයෝ ස්වකීය ජනපදයන්හි රැස් වී ජනාධිපති හා උපජනාධිපති ධුරයන්ට අපේක්ෂකයන් නම් කර ඡන්දය දෙති. වරකයන්ගේ ඡන්ද ගණන් කොට ජනාධිපතිවරයා තෝරනු ලැබේ.

එක ම පුද්ගලයකු නැවත ද ජනාධිපති ධුරයට තෝරා පත් කිරීමට හැකිය. ජනාධිපති පදවියට දෙවරකට වඩා තෝරා පත් කර ඇත්තේ ෆ්‍රැංක්ලින් රූස්වෙල්ට් පමණක්ය. පාලන කටයුතු භාරව ඇත්තාවූ ප්‍රධාන දෙපාර්තමේන්තු දහයේ ප්‍රධානීන්ගෙන් සමන්විත වන කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිගේ සහාය සඳහා ඇත්තේය. ජනාධිපතිවරයා ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සහ අනිකුත් ප්‍රධාන විධායක නිලධාරීන් පත් කරයි.

ව්‍යවස්ථාදායක යෝජනා මෙන් ම මුදල් සම්බන්ධ යෝජනා ද කොංග්‍රෙස් මණ්ඩලයට ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබේ. ව්‍යවස්ථානුකූල පරිදි ඔහුගේ බලතල විධායක බලතල පමණක් වන නමුදු නීති සම්පාදනය සම්බන්ධයෙන් කොංග්‍රෙස් මණ්ඩලය කෙරෙහි විශාල බලපෑමක් නියම වශයෙන් ජනාධිපතිට ඇත්තේය.

කොංග්‍රෙස් මණ්ඩලය වෙත වාර්ෂික පණිවුඩයක් ඉදිරිපත් කිරීම ජනාධිපතිගේ සිරිතය. හදිසි යයි ඔහු සලකන අවස්ථාවල දී වුව ද ඔහුට ඕනෑ ම විටක කොන්ග්‍රෙස් සභාව අමතා කතා කළ හැකිය. වුඩ්රෝ විල්සන් සහ ෆ්රැංක්ලින් රූස්වෙල්ට් මේ මාර්ගයෙන් නීති සම්පාදන කටයුතු සම්බන්ධයෙන් කොංග්‍රෙස් සභාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. කොංග්‍රෙස් සභාවේ සාමාජිකයකුගේ මාර්ගයෙන් ද ජනාධිපතිට තම අදහස් ඉදිරිපත් කළ හැකිය. නීතියට අනුව ජනාධිපතිටවත් ඔහුගේ කැබිනට් නිලධාරීන්ට වත් කොංග්‍රෙස් සභාවේ වැඩකටයුතුවලට සහභාගි විය නොහැකිය. ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 4කි. නියෝජිත මණ්ඩලය සම්පූර්ණයෙනුත් සෙනේට් සභාවෙන් 1/3 පංගුවකුත් වර්ෂ 2කට වරක් තෝරනු ලැබේ. ජනාධිපතිවරයකු වශයෙන් යම් පුද්ගලයකු පත් වුණු කල්හි ඔහුගේ පක්ෂය නියෝජිත මණ්ඩලයේත් සෙනේට් සභාවේත් ඉබේට ම බලයට පත් වනු ඇත. සමහර විට ජනාධිපතිගේ නිල කාලයේ මුල් වර්ෂ දෙකේ දී තමාගේ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් අත්වුවත් ඊළඟ වර්ෂ දෙකේ දී ඔහුගේ පක්ෂයට මෙකී බලය නැති වන්නට පුළුවන. එහෙයින් කොංග්‍රෙස් සභාවේ දී ජනාධිපති බලය පවත්නේ ස්වකීය පක්ෂයට කොංග්‍රෙස් සභාවේ බලය ඇති විටය.

එපමණක් නොව කෙටුම් පතක් නීතිගත වීමට පෙර එය ඔහු වෙතින් අනුමත විය යුතුය. ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමට පුළුවන. ජනාධිපති යම් කෙටුම් පතක් අනුමත කිරීමට මැළි වුවහොත් එය කොංග්‍රෙස් සභාවට නැවත යවනු ලැබේ. එසේ ආපසු ගිය විට මණ්ඩල දෙකේ ම 2/3 පංගුවකගේ කැමැත්ත එය සඳහා අවශ්‍යයෙන් ම ඇති විය යුතුයි. සාමාන්‍ය වශයෙන් ජනාධිපති නිෂේධ කරන පනතකට ව්‍යවස්ථාදායක මණ්ඩලවල 2/3 පංගුවකගේ කැමැත්ත නොලැබේ. එහෙයින් ජනාධිපතිගේ නිෂේධ බලය අතිවිශාලය.

යුද්ධ හමුදාවේත් නාවික හමුදාවේත් සේනාධිපති ජනාධිපතිවරයාය. ෆෙඩරල් ආණ්ඩුවේ උසස් නිලධාරීන් පත් කිරීම සම්පුර්ණයෙන් ම ඇත්තේ ඔහු අතෙහිය. විදේශ කටයුතු හා ගනුදෙනු ද ඔහුගේ කාර්යයකි. මේ සම්බන්ධයෙන් සෙනේට් සභාවට බලයක් තිබුණත් වඩාත් බල පාන්නේ ඔහුගේ කැමැත්තය. යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය මුළු කොංග්‍රෙස් සභාවට ම අයත් වුව ද නියමයෙන් ම කොංග්‍රෙස් සභාවෙන් කෙරෙන්නේ ප්‍රකාශනය පමණකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති නූතන ව්‍යවස්ථානුකූල විධායකයන් අතුරෙන් වඩාත් ම බල සම්පන්න නිලධාරියා හැටියට සැලකිය හැකිය. ඒ හැරුණු විට ජනාධිපති තම දේශපාලන පක්ෂයේ නියමිත නායකයා ද වේ. මුළු උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ දේශපාලන කරලියේ වඩාත් ම කැපී පෙනෙන මොහුගේ දේශපාලන බලය ඉමහත් විය යුතුය.

ද්විමණ්ඩලීය කොංග්‍රෙස් සභාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක බලය පැවරෙනුයේ ද්විමණ්ඩලීය කොංග්‍රෙස් සභාවටය. නියෝජිත මණ්ඩලයට සාමාජිකයන් තෝරාගනු ලබන්නේ ජනපද රාජ්‍යවලිනි. එක් ජනපදයකින් නියෝජිත මණ්ඩලයට පත් කළ හැකි නියෝජිතයන්ගේ ගණන නිශ්චය කරනුයේ ඒ ජනපදයේ ජන සංඛ්‍යාව අනුවය.

සෙනේට් සභාවට සෑම ජනපදයකින් ම දෙදෙනකු බැගින් සාමාජිකයෝ පත් කරනු ලැබෙත්. සෙනේට් සභිකයන්ගේ සේවා කාලය අවුරුදු 6කි. සෙනේට් සභිකයන් 1/3 පංගුවක් අවුරුදු 2කට වරක් අස්වෙති. නියෝජිත මණ්ඩලයේත් සෙනේට් සභාවේත් කෙටුම්පත් පනතකට බහුතර ඡන්ද ගණනාවක් තිබුණ විට එය අනුමත වේ. ඕනෑ ම කෙටුම් පතක් මේ මණ්ඩල දෙක ම විසින් අනුමත විය යුතුයි. ගිවිසුම් අනුමත කිරීමේ දී සෙනේට් සභිකයන් 2/3 පංගුවකගේ අනුමතය අවශ්‍යය.

මණ්ඩල දෙකේ ම වැඩ කටයුතු කෙරෙන්නේ කොමිටිවලට බෙදීමෙනි. කොමිටිවලට සභිකයන් පත් වන්නේත් බලයට පත් වී ඇති දේශපාලන පක්ෂයේ කැමැත්ත අනුවයි. මණ්ඩලවල නායකත්වය ද බලය ලත් දේශපාලන පක්ෂය අතෙහිය. නියෝජිත මණ්ඩලයෙහි නම් සහිකයන් අතුරෙන් එක් තැනැත්තෙක් කථානායක වශයෙන් තෝරා පත් කරනු ලැබේ. සෙනේට් සභාවේ සභාපති ධුරයට පත් වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිවරයාය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ අංශය විශේෂ තැනක් දරයි. ෆෙඩරල් රාජ්‍යයත් ජනපදයනුත් අතර පැනනඟින ප්‍රශ්න නිරාකරණය වනුයේ ෆෙඩරල් අධිකරණ උසාවිය මඟින්ය. එපමණක් නොව ව්‍යවස්ථාවේ සඳහන් වන ඕනෑ ම දෙයක් ගැන අවසාන තීරණය ශ්‍රෙෂ්ඨාධිකරණය අතෙහිය. එහෙයින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවරණය කිරීමේ බලය සම්පුර්ණයෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය අතෙහි වේ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නම් රිපබ්ලිකන් (සමූහාණ්ඩුවාදි) සහ ඩෙමොක්රැටික් (ප්‍රජාතන්ත්‍රවාදි) යන පක්ෂ දෙකය. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය; ආණ්ඩුව; ජනාධිපති; ෆෙඩරල් ක්‍රමය යන ලිපි ද බලන්න.)

ආර්ථික ක්‍රමය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආර්ථික ක්‍රමය වූකලි ලෝකයේ පවත්නා ඉතා ම දියුණු පෞද්ගලික ආර්ථික ක්‍රමයකි. ලෝකයේ රටවල් අතුරෙන් වඩාත් ම යාන්ත්‍රික වූ ආර්ථික ක්‍රමයට හිමිකම් කියන එරට ආර්ථික කටයුතු ශීඝ්‍රව දියුණු වූයේ පසුගිය අවුරුදු 100 තුළ දීය. මෙහි කාර්මික විප්ලවය ඇති වූයේ එම කාලයේ දී හෙවත් බටහිර යුරෝපීය රටවල එය ඇති වූවායින් පසුවය.

19 වැනි ශත වර්ෂයේ මැද භාගය වන තුරු ඇ.එ.ජ.රා.හි ආර්ථික ක්‍රමය ලාක්ෂණික යටත් විජිත ආර්ථික ක්‍රමයක් විය. එවක ප්‍රධාන තැන අයත්ව තිබුණේ කෘෂිකාර්මික කටයුතුවලටය. ඇ.එ.ජ.රා. ආර්ථික අතින් දියුණු වූ යුරෝපීය කාර්මික රටවලින් කාර්මික භාණ්ඩ ලබාගනිමින් එරටවලට අමුද්‍රව්‍යයන් සැපයුවේය. කාර්මික භාණ්ඩ බ්‍රිතාන්‍යයෙන් සපයා ගැනීමත් අමුද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට සැපයීමත් එරට ආර්ථික ක්‍රමයේ ප්‍රධාන අංග විය. මේ කාලයේ දී කාර්මික භාණ්ඩ නිෂ්පාදනය තිබුණේ ඉතාමත් ම පහත් අඩියකය. නිෂ්පාදනයට අවශ්‍ය මිල මුදල් සහ ප්‍රාග්ධනය ද සපයා ගත්තේ බ්‍රිතාන්‍යයෙන්ය.

කාර්මික විප්ලවය

1850 වන විට යටත් විජිත ආර්ථික ව්‍යූහය සම්පූර්ණයෙන් ම බිඳී ගිය අතර නිදහස් ආර්ථික ක්‍රමයේ අත්තිවාරම ද සැකසුණේ විය. තොග නිෂ්පාදනය අරභයා යෝධ කර්මාන්ත ඇති විය. තොග අලෙවිය (mass marketing) ශීඝ්‍ර ලෙස ඇති වූයේ වානේ නිෂ්පාදනය ඇසුරුකොටගෙනය. 1910 වන විට දුම්රිය මාර්ග සැතපුම් 25,000ක් ඇ.එ.ජ.රා.හි තිබුණේය. 20 වැනි ශත වර්ෂයේ මැද හරියේ දී සෙසු ලෝකයේ ම තිබුණු මුළු දුම්රිය මාර්ග ප්‍රමාණයට වඩා 25%කට වැඩියෙන් ඇ.එ.ජ.රා.හි දුම්රිය මාර්ග ප්‍රමාණය විශාල විය.

අඟුරු කර්මාන්තයත් වානේ කර්මාන්තයත් සම්බන්ධයෙන් අතිවිශාල ඉල්ලුමක් ඇති වූයේ දුම්රිය මාර්ග නිසාය. කාර්මික විප්ලවයේ මුල් කාලය දෙස බලන කල්හි ශීඝ්‍ර ප්‍රවාහණ පහසුකම් ඇති කිරීම සඳහා දුම්රිය මාර්ගවලින් එකල සිදු වූ සේවය කියා නිම කළ නොහැකි බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

1860ට පෙර එරට ඉතා වැදගත් ව්‍යාපාරයක් වූ නැව් තැනීම සහ නැව් මගින් කරන වෙළඳාම ද යකඩ සහ ලෝහ වර්ග තොග වශයෙන් නිෂ්පාදනය කිරීම, කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රික බලයෙන් මෙහෙයවීම, ඛනිජ තෙල් ඉන්ධන සම්පාදනය, මෝටර් රථ වැනි කල් පවතින භාණ්ඩ තොග වශයෙන් නිපදවීම, විදුලි බලය නිෂ්පාදන කටයුතුවලට යෙදීම සහ පරමාණු බලය උපදවා ගැනීමාදිය ද අතින් ඇ.එ.ජ. රාජ්‍යය ආර්ථික ජීවිතයේ පරිවර්තනයන්හි පෙරමුණ ගත්තේය.

දුම්රිය මාර්ග හා වෙනත් සාධක

මුල දී කෘෂිකාර්මිකව පැවති එරට ආර්ථික ක්‍රමය කාර්මික බවට පරිවර්තනය වීමේ දී ප්‍රබල සාධකයක් වූයේ දුම්රිය මාර්ග තැනීමයි. ඇත්ත වශයෙන් දුම්රිය මාර්ග තැනීම තරම් ඉහත දැක්වූ කිසිවක් ඇ.එ.ජ.රා.හි ආර්ථික විකසනය කෙරෙහි බලපෑවේ නැතැයි කිවහැක. මෙසේ දුම්රිය මාර්ග තැනීම වැඩි වශයෙන් කෙරුණු 19 වන ශතවර්ෂයේ ප්‍රථම භාගය ඇ.එ.ජ.රා.හි ආර්ථීක ඉතිහාසයේ වැදගත් ම කාලපරිච්ඡේදයක් වශයෙන් සලකනු ලැබේ.

කාර්මික විප්ලවය සම්බන්ධයෙන් දුම්රිය මාර්ග තැනීමේ බලපෑම ප්‍රථමයෙන් ඇති වූයේ කෘෂිකාර්මික කටයුතු කෙරෙහිය. බටහිර මිසිසිපි ප්‍රදේශයට ප්‍රථම වරට පිවිසිය හැකි වූයේ ද දුම්රිය මාර්ග තැනීමෙන් පසුවය. එසේ ම මහ තැනිබිම් විශාල ගවපට්ටිවලට සහ ගොවිපළවලට හැරුණේ ප්‍රවාහණ පහසුකම් ඇති වීම හේතු කොටගෙනය.

විශාල ආර්ථික දියුණුවක් සැලසීමට අවශ්‍ය මනුෂ්‍ය සහ ද්‍රව්‍යමය සම්පත් රැසක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ තිබුණු බව සැබැවි. ස්වාභාවික ධනය අතින් පමණක් නොව පුද්ගලයන්හට තිබුණු ආර්ථික නිදහස අතින් ද ඇ.එ.ජ.රා.හි තත්වය අන් රටවලට වඩා විශිෂ්ට විය. එහෙත් අභ්‍යන්තර පෙදෙස්වල පිහිටා තිබුණු ද්‍රව්‍යමය සම්පත් ප්‍රයෝජනයට ගත හැකි වූයේ ප්‍රවාහණ පහසුකම් ඇති වූවායින් පසුවය. ප්‍රවාහණ පහසුකම් ඇති නුවූයේ නම් ආර්ථික දියුණුවේ ශීඝ්‍රත්වය අඩු වන්නට ද ආර්ථික විප්ලවය ප්‍රමාද වන්නට ද නැති නම් කාර්මික විප්ලවය මුහුදුබඩ ප්‍රදේශවලට සීමා වන්නට පවා ද ඉඩ තිබිණ.

දුම්රිය මාර්ග තැනීමෙන් කර්මාන්තවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනීමට හැකි වූවා පමණක් නොව නව නගර පහළ වීමෙන් කර්මාන්තවලින් ගලා එන්නට වූ භාණ්ඩවලට ඉබේට ම ඉල්ලුමක් සැලසෙන්නට ද විය. තොග නිෂ්පාදනය පිණිස පිහිටුවන ලද බැර කර්මාන්ත ලාභ සහිත විය.

කාර්මික විප්ලවය ඇති වීමට හේතු වූ අනිකුත් සාධක අතුරෙන් ජනගහනය වැඩි වීමත් සමඟ ඉල්ලුම වැඩි වීම, විදේශ වෙළඳ පොළවල් ලැබීම, අලුත් නිෂ්පාදන ක්‍රම සොයා ගැනීම, අමුද්‍රව්‍ය ප්‍රභවයන් අලුතින් සොයා ගැනීම හා අලුත් කර්මාන්ත බිහි වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කිහිපයකි. බෙසමර් වානේ නිෂ්පාදන ක්‍රමය සොයා ගැනීම නිසා අඩු මිලට වානේ නිපදවීම පුළුවන් විය.

19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ඒතාක් කල් නුවූවිරූ ජනගහන වැඩිවීමක් ද ඇති විය. එහෙත් කාර්මික දියුණුව කොතරම් විශාල වූයේ දැයි කිවහොත් ප්‍රත්‍යෙක ආදායම (per capita income) එතෙක් දක්නට නොලැබුණු විධියට ඉහළ ගියේය. එය කාර්මික දියුණුවේ නිශ්චිත ලකුණක් විය. 1860-1910 අතර කෘෂිකාර්මික නිෂ්පාදිතය සිව් ගුණයකින් වැඩි විය. එහෙත් නිෂ්පාදන ක්‍රම යාන්ත්‍රික බලයෙන් මෙහෙයවනු ලැබූයෙන් කෘෂිකාර්මික කම්කරු සංඛ්‍යාව තදින් ම අඩු විය.

රටක කාර්මික දියුණුව මැනීම සඳහා යොදනු ලබන මිනුම ජාතික නිෂ්පාදිත ප්‍රමාණයයි. මේ අනුව බලන කල්හි 19 වැනි ශතවර්ෂයේ මුල දී කාර්මික දියුණුවේ අග්‍රස්ථානය හිමි වූයේ බ්‍රිතාන්‍යයටය. එහෙත් එම ශතවර්ෂයේ දෙවැනි භාගය වන විට එම ස්ථානය සම්පූර්ණයෙන් ම ඇ.එ.ජ.රා.ට අයත් විය. 1900 වන විට එහි ජාතික නිෂ්පාදිතයන්ගේ වටිනාකම බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ ජාතික නිෂ්පාදිතයන්ගේ වටිනාකම්වල ඓක්‍යය පවා ඉක්ම වූයේය.

1890 දී කාර්මික නිෂ්පාදිතයන්ගේ වටිනාකම (මෙය ජාතික ආදායමේ පංගුවක් වශයෙන් ගත් විට) කෘෂිකාර්මික නිෂ්පාදිතයන්ගේ වටිනාකමට වඩා වැඩි විය. මෙය ඇ.එ.ජ.රා.හි ආර්ථික ඉතිහාසයේ ප්‍රධාන සිද්ධියක් විය.

කැපී පෙනුණු විවිධ අංග

කාර්මික විප්ලවය හට ගත්තේ මුලික කර්මාන්ත ඇසුරු කොට ගෙනයි. 1859-1911 අතර කාර්මික නිෂ්පාදිතය 11 ගුණයකින් වැඩි විය. අලුත් කර්මාන්ත අතුරෙන් ප්‍රමුඛත්වය පැවරෙනුයේ පෙට්‍රෝලියම් කර්මාන්තයටය. කාර්මික දියුණුව කාර්මික භාණ්ඩ නිපදවූ කර්මාන්තවලට පමණක් සීමා නොවීය. ඊට හේතුව නම් මුල දී ඇති වූ කාර්මික දියුණුව පසු පස්සේ පාරිභෝගික ඉල්ලුම විශාල කළ ජනගහනයේ වැඩි වීමක් ඇති වීමයි. පාරිභෝගික භාණ්ඩ නිපදවූ කර්මාන්ත අතුරෙන් මස් ඇහිරීමේ කර්මාන්තය නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. පාරිභෝගික භාණ්ඩ නිපදවන කර්මාන්ත දියුණු වීම කෙරෙහි බලපෑ තවත් කරුණු නම් ගව පට්ටි ප්‍රදේශ දියුණු වීම, යුරෝපීය වෙළඳපොළවල් ඇති වීම සහ ශීතකරණය සොයා ගැනීම යනාදියයි. 1900න් පසුව කෘෂිකාර්මික, කාර්මික සහ ප්‍රවාහණ කටයුතු නොකැඩී දියුණු වන්නට විය. විදේශීය වෙළඳාම ද ඒ අතර ම ශීඝ්‍රව වැඩුණේය. මේ කාලය තුළ දී ආර්ථික ව්‍යූහයේ කැපී පෙනුණු අංගය වූයේ ව්‍යාපාරික සමාගම් ඒකාබද්ධ වීමයි.

නිෂ්පාදන ක්‍රම ඇතුළු අනිකුත් කාර්මික කටයුතු සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමත් ඒ සඳහා නිපුණ විද්‍යාඥයන් යෙදවීමත් ඇ.එ.ජ.රා.හි කාර්මික විප්ලවයේ කැපී පෙනෙන්නා වූ තවත් වැදගත් අංගයකි. මෙකී සිරිත ආරම්භ වූයේ ඇන්ඩ්රූ කානෙගි නමැති කර්මාන්ත හිමියා ඛනිජ සම්පත් සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට විද්‍යාඥයන් යෙදූ අවස්ථාවේ සිටය. ප්‍රවිධානික කටයුතු අතිශයින් ම දියුණු බවට පත් කළ මෙකී ක්‍රමය උපුටා ගන්නා ලද්දේ ජර්මනියේ කර්මාන්තහිමියන්ගේ ක්‍රියා කලාපයෙනි. ව්‍යාපාරස්ථානය සම්බන්ධයෙන් විද්‍යානුකූල පාලනයක් ඇති කිරීම ආරම්භ වූයේත් එය දියුණු වී මුදුන් පෙත්තට ම ගියේත් ඇ.එ.ජ.රා.හිය. කර්මාන්තයක වෙන ම අංශයක් පර්යේෂණ සඳහා ඇති කරගැනීම ද එහි සිරිත විය. නොයෙකුත් විදියේ නයිලොන්, රේයොන්, ප්ලාස්ටික් වැනි කෘත්‍රිම ද්‍රව්‍යයන් ද ඩියුරලියුමින්, සිලිකන් ස්ටීල්, වැනේඩියම් ස්ටීල්, වුඩ්ස් මෙට්ල්, සෝල්ඩර් වැනි ලෝහ වර්ග සහ වෙනත් නවීන ද්‍රව්‍යයන් තනා ගන්නා ලද්දේ පර්යේෂණ මඟින් සොයා ගන්නා ලද රසායන ක්‍රම යෙදවීමෙනි.

කාර්මික සංයෝජිතයන් හෙවත් යෝධ ව්‍යාපාර ස්ථාන උද්ගත වීම ඉතා ශීඝ්‍ර ලෙස සිදු වූයේ ඇමෙරිකාවේ පමණය. 1882 දී තෙල් සමාගම් එකතු වීමෙන් ඇතිවුණු ස්ටෑන්ඩඩ් ඔයිල් ට්‍රස්ට් නමැති යෝධ සංගතය සංවිධානය කරන ලද්දේ ජෝන් ඩී. රොක්ෆෙලර් විසිනි. 1901 පමණේ පටන් වානේ කර්මාන්ත සමාගම් ජේ.පී. මෝගන් නමැති බලගතු මුදල් සපයන්නකු යටතේ ඒකාධිකාරයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ.

මුළු ආර්ථික ක්‍රමය ම දෙස බලන කල්හි සුළු චක්‍රීය බාධක ඇති වූ 1857, 1873, 1893, 1807 සහ 1913 යන වර්ෂවල නිෂ්පාදනය හැරුණු විට, නිෂ්පාදන එතෙක් නුදුටු අන්දමින් වැඩෙන්නට විය.

20 වන ශත වර්ෂයේ මැද භාගයේ දී යුරෝපීය රටක කාර්මික ඵලදාව මෙන් 2, 1/2 ගුණයක පලදාවක් ඇ.එ.ජ.රා.හි විය. කෘෂිකාර්මික ඵලදාව මීටත් වැඩි විය. 20 වන සියවස්හි දී වඩාත් ශීඝ්‍ර ලෙස දියුණු වූයේ මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, විදුලි බලය, රසායන ද්‍රව්‍ය, ගුවන් යානා ආදිය නිෂ්පාදනය කරන කර්මාන්තයි.

ජාතික නිෂ්පාදිතය හා ජාතික ආදායම

රටේ ජාතික නිෂ්පාදිතයත් ජාතික ආදායමත් සම්බන්ධ සංඛ්‍යා විස්තර ඇ.එ.ජ.රා.හි වාණිජ දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලැබේ. මෙකී සංඛ්‍යා විස්තර 1929න් පසු කාලයට අයත්ය. ජාතික ආර්ථික පර්යේෂණ මණ්ඩලය 1919ට ද ජාතික ආදායම් සංඛ්‍යා විස්තර සැකසුවේය. යටකී සංඛ්‍යා විස්තර අනුව පළමු ලෝක යුද්ධයට අනතුරුව පරිහාණියක් ඇති වූ බවත් (දළ ජාතික නිෂ්පාදිතය: ඩොලර් 67,400,000,000) 1921 දී ඩොලර් 91,100,000,000ක දළ ජාතික ආදායමක් ඇති වූයෙන් ආර්ථික දියුණුවක් ද ඇති වූ බවත් සිතීමට පුළුවන. තවද මේ සංඛ්‍යා විස්තර අනුව ආර්ථික කටයුතුවල සමෘද්ධිමත් ශිඛරයක් (ඩොලර් 109,400,000,000) 1929 දී ඇති වූ බැව් පෙනේ. 1929යේ සමෘද්ධිමත් කාලයෙන් පසු 1930 ගණන්වල දී තදබල පරිහාණියක් ඇති වූ සැටිත් පසුව, 1938 ඇති වූ සුළු පසුබැස්ම (recession) හැරුණු විට, ආර්ථික කටයුතු සමෘද්ධිමත් අතට හැරුණු සැටිත් සංඛ්‍යා විස්තරවලින් පෙනී යයි. පරිහාණියෙන් පසුව දළ ජාතික ආදායම ඩොලර් 125,300,000,000 දක්වා නැංගේය. 2 වැනි ලෝක සංග්‍රාම කාලයේ දී ජාතික ආදායම වැඩි විය. 1945 සහ 1946 දී සුළු පසුබැසීම් ඇති විය. එහෙත් දළ ජාතික නිෂ්පාදිතය 1940 සහ 1950 ගණන්වල දී අතිශයින් ඉහළ නැංගේය. 1956 වන විට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 412,400,000,000 තරමට නැංඟේය. ජාතික ආදායම ද ඩොලර් 342,400,000,000ක් විය.

පවත්නා නිෂ්පාදන කටයුතුවලින් ඇති වන ඉපැයුම් මුළුල්ලෙහි, එනම් ජාතික ආදායමෙහි සංඛ්‍යා විස්තර විග්‍රහ කර බලන කල්හි, 1929න් පසු සේවක වන්දි සහ සාමූහික ලාභ අනිකුත් ආදායම් පංගුවලට වඩා වැඩිවුණු බැව් පෙනේ. අනිකුත් ආදායම් ඊට අනුකූලව පසුබැස ඇති බැව් දැක්වේ. ජාතික ආදායමේ කොටසක් හැටියට ගෙන බලන කල්හි කම්කරු වන්දි 1929 දී 58.2%ක් ව තිබී 1955 දී 68.2%කට නැඟුණි.

සංයුක්ත නුවූ ව්‍යාපාරවල ආදායම ජාතික ආදායමේ වැඩි වීම හා සසඳා බලන විට ඉහළ නැංඟේ ඉතා සෙමින්ය. 1929 දී ඩොලර් 14,800,000,000ක් වූ එය 1955 දී නැංඟේ ඩොලර් 39,000,000,000ක් දක්වා පමණි. ගොවි ආදායම වැඩි වූයේ ඉතා සුළු වශයෙන්ය. ජාතික ආදායමේ කොටසක් වශයෙන් ගත් විට ගොවි ආදායම පහත බැස ඇති බව පෙනේ (1929 දී 6.8%;1955 දී 3.6%). සාමූහික ලාභ ජාතික ආදායමේ කොටසක් වශයෙන් 1929 දී තිබුණේ 11.5% සැටියටය. 1955 දී එය 12.6% විය. අනික් ආදායම් පංගුව, එනම් ශුද්ධ පොළි ප්‍රමාණය, පහත බැස්සේය.

ජාතික ආදායමේ වැඩි වීමට කර්මාන්තවලින් ඉටු වූ සේවය සොයා බලන කල්හි කර්මාන්ත ජාතික ආදායමින් 24.9%ක් 1929 දී උපයා ගත් අතර 1955 දී ජාතික ආදායමින් 31.4%ක ප්‍රමාණයක් උපයා ගත් බව පෙනේ. මෙම විශාල දියුණුව තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම කෙරෙහි ද බලපෑ බව සංඛ්‍යා විස්තරවලින් ඔප්පු වේ. ජාතික ආදායමේ පංගුවක් වශයෙන් වෙළඳ කටයුතු නිසා 1929 දී 15.2%ක් සැපයුණු අතර 1955 දී එය 17·0% දක්වා වැඩි විය. රජය මඟින් සැපයුණු කොටස 1929 දී 5·8%ය. 1955 දී එය 11.6% විය. කර්මාන්ත, වෙළඳාම සහ ආණ්ඩුව මඟින් ඉපැයෙන ආදායම ජාතික ආදායමේ පංගුවක් වශයෙන් වැඩිවත් ම කෘෂිකාර්මික කර්මාන්ත සහ ධීවර කර්මාන්ත යනාදියෙන් ජාතික ආදායමට එකතු වන ප්‍රමාණය අඩු විය.

විදේශීය ආදායම

ඇ.එ.ජ.රා.හි ජනගහනය ලෝක ජනගහනයෙන් 6%කට නොවැඩි නමුදු ලෝකයේ භාණ්ඩ හා සේවා මුළුල්ලෙන් 40%ක් එරට තනිව උපදවයි. එසේම ලෝක ඉතුරු කිරීම් මුළුල්ලෙන් අර්ධයකට වඩා උපදවන බැවින් ඇ.එ.ජ.රා. ලෝකයේ ඉතාම වැදගත් ණයහිමි රාජ්‍යයයි. 1951-1955 අතර කාලයේ දී ඇ.එ.ජ.රා.හි නිර්යාත ලෝක නිර්යාත මුළුල්ලෙන් 20%ක් වූ අතර එරට ආයාත 15%ක් විය. මෙකල ලෝක ආර්ථික තත්වය සම්බන්ධයෙන් ඇ.එ.ජ.රා.හි විදේශීය වෙළඳාම එතරම් වැදගත්ව පවතිනුයේ මේ නිසාය.

ජාතික ආදායමට නිර්යාත නිසා එකතු වන ගණන එතරම් වැදගත් නොවේ. වෙළඳ භාණ්ඩ නිර්යාත වටිනාකම ජාතික ආදායමින් 5%ක් වන අතර වෙළඳ භාණ්ඩ ආයාත ජාතික ආදායමින් 3, 1/2%ක් වෙයි. ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, බෙල්ජියම, ආජන්ටිනාව වැනි රටවල නිර්යාත ජාතික ආදායමින් 20%කි. නිව්සීලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය වැනි රටවල නිර්යාත ජාතික ආදායමින් 30% සිට 40% දක්වා වේ. එහෙත් නිර්යාත කරන ලද භාණ්ඩ වර්ග දෙස බලන කල්හි විදේශ වෙළඳාම ඇ.එ.ජ.රා.ට අනවශ්‍ය යයි කීමට ද කිසිසේත් නුපුළුවන. සම්පූර්ණ නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් නිර්යාත වශයෙන් යවනු ලබන ද්‍රව්‍ය රාශියක් වේ: සඑල් 40%කි; තිරිඟු හා කපු 33%කි; සෝයා බෝංචි හා දුම්කොළ 25%කි; ඇඹරුම් මෝල් යන්ත්‍රෝපකරණ 30%කි. රෙදි විවීමේ යන්ත්‍රෝපකරණ හා ට්‍රැක්ටර් 20%කි; කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ මෝටර් වාහන වර්ග 10% සිට 20%කි.

නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය වන ටින් ද කාර්මික කටයුතුවලට අවශ්‍ය මැණික් ගල් හා රබර් ද කෝපි, කොකෝ, තේ යනාදිය ද සම්බන්ධයෙන් ඇ.එ.ජ.රා. යැපෙනුයේ වෙන රටවලිනි. එරටට අවශ්‍ය කොබෝල්ට්, ඇස්බෙස්ටොස්, ක්‍රෝමයිට්, මැංගනීස් හා නිකල් 90%ක් ලබාගන්නේ ද විදේශයන්ගෙනි.

1951-1954 ගෙවුම් ශේෂය සම්බන්ධ සංඛ්‍යා විස්තර දෙස බලන කල්හි මේ සෑම අවුරුද්දක ම භාණ්ඩ සේවා නිර්යාත ආයාතවලට වඩා ඩොලර් 5,000,000,000කින් පමණ වැඩි විය. 1955 දී මෙය ඩොලර් 4,000,000,000ක් විය. මෙසේ ඇති වූ ඩොලර් හිඟය (ඩොලර් කලාපය බ.) ලෝක ගැටළුවක් විය.

ප්‍රාග්ධන සංක්‍රමණය

ප්‍රථම ලෝක සංග්‍රාම කාලයේ පිටරටවල ආයෝජනය වූ පෞද්ගලික ප්‍රාග්ධනයේ ප්‍රමාණය විශාල වූ නමුදු (1928 දී ඩොලර් 1,500,000,000) 1929-32 පරිහානි කාලයේ දී තදින් ම එය පහත වැටුණේය. දෙවෙනි ලෝක සංග්‍රාම කාලය වන තුරු පිටරට මුදල් ආයෝජනය කිරීමට තරම් ලෝක තත්ත්වය සතුටුදායක නොවූයේය. ආයෝජන කටයුතු නැවත පණ ලැබූ විට ආයෝජනය කරන්නෝ විදේශ සුරැකුම් පත්වලට වඩා ඍජු ආයෝජනයක්ට කැමති වූහ. විදේශික ආයෝජනවලින් වැඩි ප්‍රමාණය කරන් ලද්දේ කැනඩාවේ සහ ලතින් ඇමෙරිකාවේය. තෙල් සමාගම් මැදපෙරදිග රටවල ද සෑහෙන ප්‍රමාණයක් ආයෝජනය කළහ.

බැංකු ක්‍රමය

1962 දී ඩොලර් සියක් කෝටි 285,186ක තැන්පත් එකතුවක් ඇති බැංකු 13,394ක් තිබුණේය. 1961 දී පටන් ගත් ආර්ථික ප්‍රසාරණය හේතු කොටගෙන ඇති වූ ණය මුදල් ප්‍රසාරණය විශාල විය. වාණිජ බැංකුවල ණය ඩොලර් සියක් කෝටි පසළොස්දාහේ සිට ඩොලර් සියක් කෝටි දෙලක්ෂ විසිපන්දාහ දක්වා නැංගේය.

1913 ෆෙඩරල් සංචිත පනතට අනුව (ෆෙඩරල් සංචිත ක්‍රමය බ.) බැංකුපතීන් 7 දෙනකුගෙන් සමන්විත වන පාලක මණ්ඩලයක් ඇත. ෆෙඩරල් සංචිත ක්‍රමයට ප්‍රාදේශික සංචිත බැංකු 12ක් සහ ශාඛා බැංකු 24ක් අයත් වන්නේය. ෆෙඩරල් සංචිත ක්‍රමය යටතෙහි විවට වෙළඳ කාරක සභාවක් සහ ෆෙඩරල් උපදේශක සභාවක් ද ඇත. ඇ.එ.ජ.රා.හි ඇති වාණිජ බැංකු අතුරෙන් බැංකු 6,070ක් ෆෙඩරල් සංචිත ක්‍රමයේ සාමාජිකයෝය. මුදල්, බැංකුණය සහ මෙහෙයුම් ප්‍රතිපත්ති සියල්ල ම නිශ්චය කරන්නේ බැංකුපතීන්ගේ මණ්ඩලයයි. බැංකුපතීන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. සෑම දිස්ත්‍රික්කයකට ම ඇති සංචිත බැංකුවල පරිපාලනයත් ෆෙඩරල් සංචිත නෝට්ටු මුදල් නිකුත් කිරීම හා පරිහරණයෙන් ඉවත් කිරීමත් ෆෙඩරල් පාලන මණ්ඩලයේ ප්‍රධාන කටයුතු වේ.

1933ට පෙර ඇ.එ.ජ.රා.හි පැවතුණේ රන් මිනුම් ක්‍රමයයි. 1933 දී රන් ගෙවුම් අත්හිටවීමට ආණ්ඩුව විසින් තීරණය කරන ලදි. 1934 දී රිදී ගැනුම් පනතට අනුව මුදල් වටිනාකමින් හතරෙන් එක පංගුවක් රිදීවලින් තබා ගැනීමට නිශ්චය කරන ලදි. මේ සඳහා පිටරටවලින් හෝ රටින් ම රිදී මිල දී ගැනීමට භාණ්ඩාගාරයට නියම කරනු ලැබීය.

(සංස්කරණය: 1967)