ඇමෙරිකාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අපරාර්ධ ගෝලයේ පිහිටි මහාද්වීපද්වය මෙනමින් හැඳින්වේ. 15 වැනි ශත වර්ෂය අග දී මෙම ප්‍රදේශය ගවේෂණය කළ ආමෙරිගෝ වෙස්පුචි (බ.) නමැත්තාගේ නාමය අනුව මීට ඇමෙරිකාව යන නම් පළමු වරට යොදන ලද්දේ මාටින් වාල්ට්සේම්‍යුලර් (Waldseemüller) විසිනි.

නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙන් ද උතුරින් ආක්ටික් සාගරයෙන් ද බටහිරින් බීරිං සමුද්‍ර සන්ධියෙන් හා ශාන්තිකර සාගරයෙන් ද දකුණින් ඇන්ටාක්ටික් සාගරයෙන් ද වට වී බටහිර දේශාංශ 30° හා 170° අතරෙහි උත්තර අක්ෂාංශ 72° සිට දක්ෂිණ අක්ෂාංශ 56° (හෝන් තුඩුව) දක්වා විහිදි මෙම ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශය වර්ග සැතැපුම් 16,000,000ක් පමණ විශාලය. උත්තර අක්ෂාංශ 8°-10° පිහිටි, පළලින් සැතැපුම් 50කටත් අඩු වූ, පැනමා (බ.) දේශසන්ධියෙන් සම්බන්ධ වී ඇති උතුරු හා දකුණු මහාද්වීප දෙකකින් යුත් මෙය දළ වශයෙන් උතුරු ඇමෙරිකාව හා දකුණු ඇමෙරිකාව යනුවෙන් හඳුන්වනු ලැබේ. වෙසෙසා හැඳින්වීමේ දී කැනඩාව, ග්‍රීන්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය හා බටහිර ඉන්දියා දූපත් යන රාජ්‍යයන්ගෙන් යුත් ප්‍රදේශයට උතුරු ඇමෙරිකාව යයි ද මෙක්සිකෝ, ගුවාතමාලා, හොණ්ඩ්‍යුරාස්, නිකරගුවා, කොස්ටාරීකා හා පැනමා රාජ්‍යයන් ඇතුළත් ප්‍රදේශයට මධ්‍යම ඇමෙරිකාව යයි ද බ්‍රසීලය, බොලිවියාව, ඉක්වදෝරය, චිලි, ආජන්ටිනාව, කොලොම්බියාව, වැනිසියුලා, ගියානා, පීරූ, පැරගුවේ හා උරුගුවේ යන රාජ්‍යයන්ගෙන් යුත් ප්‍රදේශයට දකුණු ඇමෙරිකාව යයි ද කියත්.

1875 දී ලෝදියන් ග්‍රීන් විසින් ද පසුව ජේ.ඩබ්ලිව්. ග්‍රෙගරි විසින් ද මහාද්වීපයන්හි හා සාගරයන්හි ප්‍රභවය හා ව්‍යාප්තිය පිළිබඳව ඉදිරිපත් කරන ලද චතුස්තල කල්පිතය (බ.) සනාථ කිරීමට මෙම මහාද්වීපද්වයේ ත්‍රිකෝණාකාර හැඩය තරමක් දුරට වහල් වේ. උතුරු හා දකුණු ඇමෙරිකාවන්හි භූ විද්‍යානුකූල ඉතිහාසය හා භූ රටාව බොහෝ දුරට සමානය. උතුරේ සිට දකුණට සිහින් වෙමින් විහිදියා වූ මෙම ත්‍රිකෝණාකාර මහාද්වීපද්වයෙහි ඊසාන දිග කොටස්, එනම් උතුරු ඇමෙරිකාවේ ලොරොන්සියානු උස් බිම් හා දකුණු ඇමෙරිකාවේ ගියානා උස්බිම්, පැරණි ස්ඵටික පාෂාණයෙන් යුක්ත වේ. උතුරු ඇමෙරිකාවේ අග්නිදිග කොටසෙහි ඇපලේචියන් උස්බිම් හා දකුණු ඇමෙරිකාවේ අග්නිදිග කොටසෙහි බ්‍රසීලියානු උස්බිම් පේලියොසොයික ස්තරයන්ගෙන් සෑදී ඇත. මහාද්වීපද්වයෙහි ම මධ්‍ය ප්‍රදේශ විශාල ගංගාධාරයන්ගෙන් හා කඳු පාවුල් ආශ්‍රිත පහත්බිම්වලින් යුක්ත වේ. උතුරු ඇමෙරිකාවේ මිසිසිපි-මිසුරි ගංගාධාරය හා දකුණු ඇමෙරිකාවේ ඇමසන්-පැරනා-පැරගුවේ ගංගාධාර ද ඊට නිදසුනි. උතුරු ඇමෙරිකාවේ රොකී කඳුවලට හා දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් නව නැමි කඳුපන්තිවලට ද එක ම කාලයකට අයත් සමාන ප්‍රභවයක් ඇති බව නිසැකය. ඇමෙරිකාද්වයෙහි නැගෙනහිර වෙරළ හා යුරෝපා අප්‍රිකා මහාද්වීපයන්හි බටහිර වෙරළ ද අතර ඇති සාම්‍යය මහාද්වීප පාවීම පිළිබඳව වාග්නර් විසින් යෝජිත සිද්ධාන්තයට සාක්ෂ්‍යයක් වශයෙන් ඉදිරිපත් කර ඇත. ඇමෙරිකාද්වය හා යුරෝපා අප්‍රිකා මහාද්වීප පැරණි සමයෙක එක ම මහාද්වීපයක් වශයෙන් පැවතෙන්නට ඇති බවත් ඇමෙරිකාද්වය කැඩී ඉවතට පාවීම නිසා අත්ලන්තික් සාගරය (බ.) ඇති වූ බවත් යථෝක්ත සිද්ධාන්තයෙන් කියැවේ.

ඇමෙරිකාද්වය ම උතුරේ සිට දකුණට පටු වී යමින් විහිදි ත්‍රිකෝණාකාර මහාද්වීප වුව ද භූගෝලීය පිහිටීම අනුව මේවායේ විවිධ වූ වෙනස්කම් ඇති වී තිබේ. උතුරු ඇමෙරිකාවේ වඩා පුළුල් වූ උතුරු පෙදෙස ආක්ටික් වෘත්තය ආශ්‍රිතව පිහිටි හෙයින් ද බටහිර අයින දිගට පිහිටි මහා නැමි කඳු පන්තිය නිසා ශාන්තිකර සාගරික බලපෑම අඩු හෙයින් ද මෙම මහාද්වීපය දේශගුණ අන්තයන්ට භාජන වේ. මේ හේතූන් නිසා පවත්නා අධික ශීතල කරණකොටගෙන විශේෂයෙන් ම මහාද්වීපයේ වයඹ දිග පිහිටි ඉතා උස් කඳු ප්‍රදේශයන්හි විශාල ග්ලැසියර ද ඇත. ප්ලයිස්ටොසින කාලයේ දී මෙම මහාද්වීපයෙන් තුනෙන් පංගුවක් පමණ මහා අයිස් යායකින් වැසි ගියේ ද මීට විශේෂ වූ භූගෝලීය ලක්ෂණයන් නිසාය. දකුණු ඇමෙරිකානු මහාද්වීපයේ වඩා පුළුල් ප්‍රදේශය සමකය ආශ්‍රිතව පිහිටි හෙයින් එම මහාද්වීපයේ මධ්‍යය උතුරු ඇමෙරිකාව තරම් දේශගුණ අන්තයන්ට භාජන නොවේ. එසේ ම දකුණු ඇමෙරිකාවේ දකුණු කොටස ඉතා පටු හෙයින් මහාද්වීපික දේශගුණ අන්ත එහි ඇති නොවේ. එහෙත් භූගෝලීය පිහිටීම නිසා බලපවත්නා ශීතල හේතු කොටගෙන විශේෂයෙන් ඇන්ඩීස් කඳු ආශ්‍රිත උස් පෙදෙස්වල කුඩා ග්ලැසියර ඇත. (උතුරු ඇමෙරිකාව; මධ්‍යම ඇමෙරිකාව; දකුණු ඇමෙරිකාව යන ලිපි ද බලන්න.)

ඉතිහාසය

ඇමෙරිකාව නමින් දන්නා මහාද්වීප දෙකකින් සැදුණු විශාල භූමිභාගය මුලින් ම මනුෂ්‍ය වාසයක් වුයේ කවදා දැයි යන්න තවමත් අවිනිශ්චිතය. එහෙත් අවුරුදු කීපයකට පෙර සොයා ගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රි.පූ. 25,000ටත් 15,000ටත් අතර පේලියොලිතික යුගයට අයත් කාලයේ සිට ඇමෙරිකාවේ මිනිසුන් විසූ බව සමහර විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

යුරෝපීයයන් ඇමෙරිකාවේ ජනපද පිහිටුවීමට පෙර එහි විසූ දේශීය ජනයා පැහැදිලිව පෙනෙන වෙනස්කම් ඇති මනුෂ්‍ය වර්ග කීපයකට අයත් වූ බව මානව විද්‍යාඥයන් පිළිගෙන ඇති බැවින් ඉතා පුරාණ සමයෙහි සිට මේ මහා දිවයිනට බැහැර ප්‍රදේශවලින් නොයෙක් මනුෂ්‍ය ජාතීන් සංක්‍රමණය වූහයි සිතීමට ඉඩ තිබේ. මිසිසිපි නිම්නයෙහි රතු ඉන්දියානුන් ද ඇමෙරිකාවේ වසන ශිෂ්ට යයි සම්මත ජාතීන් ද ඊශ්‍රායෙලයේ ‘නැති වූ ගෝත්‍ර දහයට’ අයත් ජනයාගෙන් පැවතෙතැයි යන විශ්වාසයක් 19 වන ශතවර්ෂයේ දී පැවතිණ. ආදියේ දී චීන්නු ඇමෙරිකාවට සංක්‍රමණය වූහයි යෙන චීන ජනකථා ඇතත් ඒවා ගැන ඉතිහාසඥයෝ වැඩි විශ්වාසයක් නොතබත්. එහෙත් රතු ඉන්දියානුන්ගේ කැපී පෙනෙන මොංගෝලීය දේහලක්ෂණ නිසා එම ජනකථා ඉඳුරා ම ඉවත ලිය නොහේ. තවද දඩයම් අවදියේ සිටි ජනයා බීරිං සමුද්‍ර සන්ධිය ඔස්සේ ආසියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූහයි විද්‍යාඥයෝ ද පිළිගනිති.

1492 දී කොලම්බස් ඇමෙරිකාවට ගොඩබසින විට ගෝත්‍ර කීපයකට අයත් දේශීය ජනයා කෝටි තුනක් නොහොත් හතරක් පමණ ඇමෙරිකා මහාද්වීපද්වයෙහි විසූ බව පෙනේ. මින් වැඩි කොටසක් මෙක්සිකෝවෙන් දකුණු ප්‍රදේශයෙහි වාසය කළ අතර කෝටියකට නොවැඩි සංඛ්‍යාවක් මෙක්සිකෝවෙන් උතුරෙහි විසිරී සිටියහ. මොවුන් අතුරෙන් බහුතර සංඛ්‍යාවකට උසස් සභ්‍යත්වයක් හා සංස්කෘතියක් තිබිණ. මායා (බ.), ඉන්කා (බ.), ඇස්ටෙක් (බ.) හා ටොල්ටෙක් යන ජාතීහු දියුණු වූ නාගරික ජීවිතයක් සකස් කොට ගෙන විසූහ. ගොවි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, දේශපාලනය, වෙළඳාම, රෙදි විවීම, රන්රිදී වැඩ, තඹ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, ගණිතය, ලේඛන ශිල්පය ආදිය අතින් ද ඔවුන් උසස් දියුණුවක් ලබා සිටි බවට සාක්ෂි එමට ඇත.

කොලම්බස්ට පෙර පස්වන ශතවර්ෂයේ දී චීන බෞද්ධ භික්ෂූන් කණ්ඩායමක් සමුද්‍රයේ දී කුණාටුවකට අසු වී ෆූ සාං නම් දූපතට ගසාගෙන ගිය බවක් පැරණි චීන විස්තරයන්හි සඳහන් වේ. ෆූ සාං යනු මෙක්සිකෝව යයි සමහරුන් අදහස් කරන අතර ඇතැමෙක් එය ජපානය යයි සිතති. කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමට කලින් ඒ මහාද්වීපයට පැමිණි මුල් ම යුරෝපීයයෝ නම් නෝර්වීජියන් ජාතිකයෝය. 10 වන සියවස අග හරියේ දී ග්‍රීන්ලන්තයේ ජනපද පිහිටුවූ එරික් නම් නෝර්වීජියන් ජාතිකයාගේ පුත්‍ර ලයිෆ් එරික්සන් ක්‍රි.ව. 1000 පමණේ දී ලබ්‍රදෝරය අසලට ගොඩ බට බව කියනු ලැබේ. 1004-1006 කාලයේ දී කෝෆින් කාල්සෙප්හි නම් නෝර්වීජියන් නැවියා ඊසාන දිග ඇමෙරිකා වෙරළට පැමිණියේය. අයිරිෂ් ජාතික පූජකයෝ ද බොහෝ කලකට පෙර ඇමෙරිකාව සොයා ගත්හයි පැවසෙන ජනකථා ඇති අතර ප්‍රංස ජාතික මස්මරන්නන් 15 වන සියවසට කලින් ඇමෙරිකානු ප්‍රදේශ දක්වා යාත්‍රා කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. 15 වන ශතවර්ෂයේ මධ්‍ය භාගය වන විට අප්‍රිකානු වෙරළේ ගමන් කොට දේශගවේෂණයෙහි පුරෝගාමීන් බවට පත් වූ පෘතුගීසීහු 1472 දී අයිස්ලන්තය වෙත මුහුදු ගමනක යෙදුණු බව ද එම ගමනේ දී ඔවුන් නිව්ෆවුන්ඩ්ලන්තය ගැන දැනගත් බවද කියති.

හින්දුවරුන්ගේ සංක්‍රමණයක් වී ද?

මෙක්සිකෝ, පීරු, ගුවාතමාලා, හොණ්ඩ්‍යුරාස් ආදි මධ්‍ය ඇමෙරිකා සහ දකුණු ඇමෙරිකා රටවල තිබී සොයා ගනු ලැබූ ගොඩනැගිලි නටබුන් හා හින්දු බෞද්ධ ප්‍රතිමා ආදි පුරාවිද්‍යාත්මක සාක්ෂි ද මෙක්සිකෝවේ ඇස්ටෙක් ජනයාගේ යම් යම් සිරිත් විරිත් හා සමහර සංස්කෘතික අංගයන්හි දක්නා ලැබෙන ඉන්දියානු මුහුණුවර ද නිසා 15 වන ශතවර්ෂයට පෙර භාරත දේශවාසීන් ඇමෙරිකාවට සංක්‍රමණය වී ජනපද පිහිටුවා ගත්හයි සමහර නූතන ඉතිහාසඥයෝ කල්පනා කරති. මෙක්සිකෝ රාජ්‍යය මගින් ප්‍රකාශ කරන ලද ‘මෙක්සිකෝ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ. “ඇමෙරිකාව යයි පසුව හඳුන්වනු ලැබූ මහාද්වීපයට මුලින් ම සම්ප්‍රාප්ත වූයේ ඉන්දියාව කෙරෙන් නැගෙනහිර දෙසට නික්මුණු ප්‍රබල ප්‍රවාහයට අසුව ගසා ගෙන ආ මනුෂ්‍ය කණ්ඩායම්ය”. I වන ශතවර්ෂයේ සිට 12 වන ශතවර්ෂය දක්වා කාලය තුළ ඉන්දියානු සංක්‍රමණය අතිශයින් ප්‍රාණවත්ව පැවැත්තේ යයි ආචාර්ය එක්හෝම් වැනි ඇමෙරිකානු විද්‍යාඥයෝ ද රොබට් හයින් ගෙල්ඩර්න් වැනි යුරෝපීය ඉතිහාසඥයෝ ද කල්පනා කරති.

කොලම්බස්

1492 අගෝස්තු මාසයේ ස්පාඤ්ඤයේ කැස්ටිල්හි ඉසබෙලා රැජිනගෙන් ලත් ආධාර ඇතිව කොලම්බස් (බ.) නම් යාත්‍රිකයා අත්ලන්තික් සාගරය හරහා ආසියාවට යෑමේ කෙටි මුහුදු මාර්ගයක් සෙවීම පිණිස පිටත් විය. මේ ගමනේ දී හෙතෙම ඇමෙරිකා මහාද්වීපය අසල මුහුදේ ගුවානහානි නමින් ස්වදේශිකයන් විසින් හඳුන්වනු ලැබූ දූපතකට ගොඩ බැස්සේය. සැන් සැල්වදෝර් නමින් කොලම්බස් එම දූපත නම් කෙළේය. ඔහු විසින් මේ ගමනේ දී තවත් දූපත් කීපයක් සොයාගන්නා ලදි. ‍ෆර්නන්ඩිනා, ක්‍යුබා, ඉසබෙලා සහ හිස්පැනියෝලා ඉන් කීපයකි. මේ සොයාගැනීම් නිසා නූතන සමයේ දී අපරාර්ධ ගෝලය නියම වශයෙන් සොයාගැනීමේ ගෞරවය කොලම්බස්ට හිමි වේ. 1493 දී ඔහු තම දෙවන ගමනේ දී ඩොමිනිකන්, පෝටො රීකෝ, ජැමෙයිකා යන දූපත්වලට ගොඩ බැස්සේය. තමා සොයාගත්තේ මාර්කෝ පෝලෝ විසින් ආසියාවේ නැගෙනහිර සීමාවේ වී යයි සඳහන් කරන ලද දූපත් යයි සිතීම නිසා කොලම්බස් ඒවා බටහිර ඉන්දියා දූපත් යන නමින් හැඳින්විය. 1498 දී තම තෙවැනි ගමනේ දී ට්‍රිනිඩෑඩ් දූපත සොයාගත් ඔහු පළමු වරට දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළ දුටුවේය. 1502-1504 කාලයේ දී සිවුවන වරටත් දේශගවේෂණ යාත්‍රාවක යෙදුණු කොලම්බස් හොන්ඩ්‍යුරාස් වෙරළ හා පැනමා වෙරළත් සොයා ගත්තේය. මේ සොයා ගැනීම් අනුව දිගට ම විහිදි විශාල භූමි ස්කන්ධයක් ඇති බව කොලම්බස්ට වැටහිණ. එය වූකලි ආසියාවේ වෙරළ ඔබ්බෙහි වූ භූමි භාගයකැයි ඔහු විශ්වාස කෙළේය. බොහෝ දෙනා තුළ පැවති මෙම විශ්වාසය බිඳී ගියේ මැගලන් 1519 දී ලෝකය වටේ යාත්‍රා කිරීමෙන් පසුවය.

කොලම්බස් සොයාගත් ප්‍රදේශ ස්පාඤ්ඤයට අයත් හැටියට ප්‍රකාශ කරනු ලැබීය. ඔහුගේ විශිෂ්ට දේශගවේෂණයනට කලින් 1454 දී පාප් තුමා විසින් ඉන්දියානු දූපත්වලට යන මාර්ගයේ, එනම් අප්‍රිකා වෙරළ දිගේ දකුණට හා නැගෙනහිරට යාත්‍රා කිරීමෙන්, දේශගවේෂණ කටයුතුවල යෙදීමට පෘතුගීසීන්ට බලය දී ආඥාවක් නිකුත් කර තිබිණ. කොලම්බස්ගේ සොයාගැනීම්වලින් පසු පෘතුගීසි ස්පාඤ්ඤ දෙවර්ගයා අතර භේදයක් ඇති වන තැනට ලකුණු පෙනී ගියෙන් එවක විසූ ස්පාඤ්ඤ ජාතික ඇලෙක්සැන්ඩර් VI පාප් තුමා ඇසෝර් හා කේප් වර්ඩ් දූපත්වලින් ලීග් 100ක් බටහිරින් උතුරේ සිට දකුණට වැටෙන කල්පිත මායිම් රේඛාවකින් බටහිර දෙස ගවේෂණ ආදියෙහි සම්පූර්ණ අයිතිය ස්පාඤ්ඤවරුන්ටත් ඉන් නැගෙනහිර දෙස පෘතුගීසීන්ගේ බලමණ්ඩලය ලෙසත් වෙන් කොට පැවරීය. පෘතුගීසීහු මේ බෙදීමට විරුද්ධ වූහ. 1494 දී මායිම් රේඛාව කේප් වර්ඩ් දූපත්වලින් ලීග් 370ක් බටහිරට ගෙන යාමට ස්පාඤ්ඤවරුන් කැමති කරවා ගැනීමෙන් එම අරගළය සංසිඳිණ. බටහිර අක්ෂභාග 50° රේඛාව හැටියට සාමාන්‍යයෙන් සලකනු ලබන මේ රේඛාව දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගංගා මෝය අසලින් විහිදේ. පාප්තුමාගේ ආඥාවෙන් ලත් බලය උඩ, වෙළහෙළඳාම් හා පදිංචිවීම් ආදිය අනිකුත් ජාතීන්ට තහනම් කිරීමේ අයිතිවාසිකම ස්පාඤ්ඤ ජාතිකයෝ ඉදිරිපත් කොට සිටියහ.

වෙනත් ගවේෂණ

එංගලන්තයේ හෙන්රි VII රජු විසින් යවන ලද ඉතාලි ජාතික නාවික ජෝන් කැබට් 1497 දි නිව්ෆවුන්ඩ්ලන්තයට හා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගොඩ බට බව විශ්වාස කරනු ලැබේ. එහෙත් ස්පාඤ්ඤ රජයේ ආධාර ලත් ආමෙරිගෝ වෙස්පූචි නම් නාවිකයා කැබට්ගේ ගවේෂණයට දින අටකට කලින් තමා ඇමෙරිකාවට පැමිණි බැව් පවසයි. ස්පාඤ්ඤය වෙනුවෙන් සමුද්‍ර යාත්‍රා කීපයක යෙදුණු හෙතෙම 1501 දී පෘතුගීසි රජවාසලින් ලත් ආධාර ඇතිව බටහිරට යාත්‍රා කොට බ්‍රසීලයට ගොඩ බැස්සේය. බ්‍රසීලය පෘතුගාලයට අත් කර දෙන ලද්දේ 1500 දී එය සොයා ගත් පේදුරු අල්වාරේස් කබ්රාල් නමැත්තා විසිනි. මේ අතර කෝටිරියෙල් නම් තවත් පෘතුගීසි ජාතිකයෙක් උතුරු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළේ ගවේෂණ කටයුතුවල යෙදුණේය.

ප්‍රංස ජාතිකයන් ඇමෙරිකන් ප්‍රදේශ ගවේෂණය ගැන සිත් යොමු කෙළේ 1529න් පසුය. එම වර්ෂයේ දී චෙර්රාට්සානෝ නම් යාත්‍රිකයාට ප්‍රන්සිස් රජ ආධාර දුන්නේය. 1534 දී ෂාක් කාර්ටියේ සාන්ත ලෝරන්ස් ගංගාධාරය ගවේෂණය කෙළේය.

මේ අතර ස්පාඤ්ඤය ද දිගට ම සිය ගවේෂණ කටයුතුවල යෙදුණේය. එවක සමුද්‍ර බලය අතින් අද්විතීය තැනක් ගෙන සිටි ඔවුන්ගේ මුඛ්‍ය අධ්‍යාශය වූයේ කුළුබඩුවලින් පිරි නැගෙනහිර ඉන්දියානු දුපත්වලට ඇමෙරිකාව හරහා යන මාර්ගයක් සොයා ගැනීමය. පෘතුගීසීහු සුබ පැත්මේ තුඩුව හරහා මේ දුපත්වලට ගොස් කුළුබඩු වෙළඳාමේ තනි අයිතිය හිමි කොට ගෙන සිටියහ. කබ්රාල්, ආමේරිගෝ වෙස්පූචි ආදි නාවිකයන් විසින් ඉහත සඳහන් පරිදි ගවේෂණය කොට පෘතුගාලයට හිමි කරන ලද බ්‍රසීලය මුලින් ම සොයා දැනගත්තේ වින්සන්ට් පින්සන් නම් ස්පාඤ්ඤ නැවියාය. එහෙත් ස්පාඤ්ඤය බ්‍රසීලයට අයිතිවාසිකම් කියා සිටියේ නැත. 1513 දී ඩේරියන් දේශ සන්ධිය හරහා යාත්‍රා කළ බැල්බෝවා (බ) පැසිපික් සාගරය සොයා දැන ගැනීම ඉතා වැදගත් සිද්ධියකි. කුළුබඩු දිවයින්වලට ඇමෙරිකාවේ ස්පාඤ්ඤ ප්‍රදේශ හරහා යෑමට මුහුදු මාර්ගයක් සොයාගත නොහැකි බව මෙයින් පෙනී ගියෙන් වඩා දකුණෙන් මාර්ගයක් සෙවීමට ඔවුහු මහන්සි ගත්හ. බැල්බෝවාගේ සොයා ගැනීමෙන් පසු දිගට ම තවත් වැදගත් ගවේෂණ කීපයක ස්පාඤ්ඤ නාවිකයෝ යෙදුණාහ. 1513 පොන්සෙ ඩෙ ලේයොන් ෆ්ලොරිඩා වෙරළ හා බහමා ඕඩය සොයාගත්තේය. නිනො සහ ඇවිලා යන නාවිකයන් දෙදෙනා විසින් මධ්‍ය ඇමෙරිකාවේ කොටසක් ගවේෂණය කරන ලදි. 1519 දක්වා කාලය තුළ තවත් ස්පාඤ්ඤ නාවිකයන් කීප දෙනෙක් ම උතුරු ඇමෙරිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ ප්‍රදේශ සොයා ඒවා ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශ බවට පත් කළහ. උසස් සභ්‍යත්වයක් ඇතිව සිටි ඇස්ටෙක් වර්ගයා වාසය කළ මෙක්සිකෝව 1519 කෝර්ටේස් (බ.) විසින් සොයා ගන්නා ලදි. ඔහුට එරට සම්පූර්ණයෙන් යටත් කිරීමට බොහෝ කාලයක් ගත විය. තම නිවහල් භාවය රැක ගැනීමට සටන් කළ ස්වදේශිකයෝ කෝර්ටේස් විසින් තදබල ලෙස පෙළනු ලැබූහ. ප්‍රථම වරට ලෝකය වටා යාත්‍රා කිරීමේ ගෞරවයට හිමි මැගෙලන් (බ.) දකුණු ඇමෙරිකාවේ මැගෙලන් සමුද්‍ර සන්ධිය සොයාගත්තේ ද මේ කාලයේ දී මය. 1531-33 කාලයේ දී පිසාරෝ පීරු රට සොයාගෙන යටත් කර ගති. 16 වන සියවසේ මධ්‍ය භාගය වන විට දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන ගංගාධාර සියල්ලක් ම වාගේ ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ගවේෂණය කරන ලද්දේ විය. දකුණු ඇමෙරිකාවේ වර්තමාන ආජන්ටිනා, පැරගුවේ, බොලිවියා, චිලි, පීරු, ඉක්වදෝර්, කොලොම්බියා, වැනිසියුලා, මෙක්සිකෝ යන රටවල් හා මධ්‍ය ඇමෙරිකාව, මැගෙලන් සමුද්‍ර සන්ධිය, බ්‍රසීල වෙරළ යන ප්‍රදේශ ද එක්සත් ජනපදයේ මිසිසිපි, කොලරාඩෝ, රියෝ ග්රෑන්ඩ් යන ගංගාවන්හි නිම්න ඇතුළත් දකුණු කොටසේ විශාල භූමිභාගයක් ද ගවේෂණය කොට තිබුණි.

ජනසද පිහිටුවීම

ස්පාඤ්ඤ ජනපද

1503 දී ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ඇමෙරිකානු ප්‍රදේශවල වෙළඳාම් කටයුතු පාලනය පිණිස සෙවිල්හි මණ්ඩලයක් පිහිටුවන ලදි. නොබෝ කලකින් අභිනව ලෝකයේ ජනපද පිහිටුවීම ඇරඹූ ස්පාඤ්ඤ ජාතිකයෝ ඒ පිණිස මුලින් ම හිස්පැනියෝලාව තෝරා ගත්හ. එම දූපතෙහි උක් වගාව හා සතුන් ඇති කිරීම ද ආරම්භ කරන ලදි. ඉක්බිති ක්‍යුබා දූවේ ද ජනපද පිහිටුවා උක් ආදිය වැවීමත් සතුන් ඇති කිරීමත් පටන් ගන්නා ලදි. 1509 වන විට උතුරු මහාද්වීපයට අයත් භූමි භාගයන්හි ද ස්පාඤ්ඤ ජනපද ඇති විය. අලුත් ලෝකයෙහි රන් සොයා ගැනීම නිසා ස්පාඤ්ඤ ජාතිකයෝ මුල් අවධියේ සිට ම රන් හෑරීමේ යෙදී තව තව රන් බිම් සොයමින් ඉදිරියට යන්ට වූහ. මෙසේ යට සඳහන් පරිදි මෙක්සිකෝ, පීරු, චිලි ආදි ප්‍රදේශ ගවේෂණය කරමින් හා තමන් සතු කර ගනිමින් ඔවුහු ජනපද පිහිටුවීමෙහි යෙදුණාහ. ඔවුන්ගේ ඒ ව්‍යාපාර 1550 වන විට බොහෝ දුරට අවසන් වූයේ යයි කිව හැකි නමුත් එම ශත වර්ෂයේ අවසාන කාලය දක්වා ම වාගේ අභිනව ජනපද පිහිටුවීමෙහි ඔවුන් යෙදී සිටි බව පෙනේ. වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රදේශ රාජ්‍යයක් වූ ෆ්ලොරිඩාවේ මුලින් ම ජනපද ඇති කරනු ලැබුයේ ද ස්පාඤ්ඤ ජාතිකයන් විසිනි. 1565 දී ස්පාඤ්ඤ ජනපද පිහිටුවනු ලැබූ ෆ්ලොරිඩාවට එක්සත් ජනපද රාජ්‍යයේ පැරණිතම යුරෝපීය ජනපදය වීමේ භාග්‍යය හිමි වේ. ආජන්ටිනාවේ ලා ප්ලාතා ගං ඉවුරෙහි පිහිටි බුවනොස් අයිරිස්හි ස්ථිර ස්පාඤ්ඤ ජනපද ඇති වූයේ 1580 දීය. අභිනව ලෝකයේ දක්ෂිණ භාගයට හෙවත් දකුණු ඇමෙරිකාවට අයත් මෙක්සිකෝ, බොලිවියා, පීරු, චිලි ආදි ප්‍රදේශවල 16 වන සියවසේ ප්‍රථම භාගයේ දී ජනපද පිහිටුවා ස්පාඤ්ඤ සභ්‍යත්වය හා කතෝලිකාගම ද ව්‍යාප්ත කරවනු ලැබීය. සෑම ඇමෙරිකානු ස්පාඤ්ඤ ජනපදයක් ම මව්රටේ ශ්‍රී විභූතිය හා ප්‍රයෝජනය උදෙසා ගොඩනැඟුණේ විය. එම රටවලින් මව්රටට අවශ්‍ය අමුද්‍රව්‍ය හා රන්රිදී ආදි අගනා ඛනිජ වර්ග සැපයීම ද මව්රටේ නිෂ්පාදනය කරනු ලැබූ ද්‍රව්‍ය පමණක් මිල දී ගැනීම ද ජනපදයන්ගෙන් අපේක්ෂා කැරිණ. මේ යටත් ජනපදයන්හි උපදින රන්රිදීවලින් පහෙන් පංගුවක් බදු වශයෙන් ස්පාඤ්ඤයට අයත් විය. රන් කොටස වැඩි කර ගැන්මේ ආශාවෙන් මඬනා ලද ස්පාඤ්ඤය මුල දී ආකරවල වැඩට බලාත්කාරයෙන් ස්වදේශික ඉන්දියානුන් යොදවා ඔවුන් පෙළා වැඩ ගැනීමේ යෙදුණේය. අභිනව ලෝකයේ ස්පාඤ්ඤ ජාතිකයන් ඇති කළ ජනපදයන්ගේ පාලනය පිණිස ද ස්පාඤ්ඤ මහා ආණ්ඩුව විසින් විධිවිධාන යොදන ලදි. වැනිසියුලාව ද ඇමෙරිකා මහාද්වීප වෙන් කරන දේශසන්ධියෙන් උතුරෙහි වූ ජනපද ද නව ස්පාඤ්ඤය නමින් හඳුන්වා ප්‍රතිරාජවරයකු යටතේ තබන ලදි. පෘතුගීසීන් සතුව පැවති බ්‍රසීලය ද ඉහත සඳහන් වැනිසියුලාව ද හැර සෙසු දකුණු ඇමෙරිකානු ප්‍රදේශ නව කැස්ටීල් යනුවෙන් හඳුන්වා වෙන ම ප්‍රතිරාජවරයකුට පවරන ලදි. 1775 වන විට ඇමෙරිකාවේ ස්පාඤ්ඤ ප්‍රදේශ ප්‍රතිරාජවරුන් සිවු දෙනකු යටතේ පාලනය වූ රාජ්‍ය සතරකට බෙදා තිබිණ.

පෘතුගීසීන් විසින් ජනපද පිහිටුවනු ලැබූ බ්‍රසීලය පෘතුගාලය විසින් පාලනය කරනු ලැබූයේ ද ස්පාඤ්ඤ ප්‍රදේශ මෙන් මව්රටේ ප්‍රයෝජනය උදෙසාය. කලක් යන තුරු ම නියම විධියේ ක්‍රමානුකූල ආණ්ඩු සංස්ථාවක් එරට ඇති නොවීය. 1534 දී යුද්ධාණ්ඩුකාරවරුන් කීපදෙනකු යටතේ වෙරළබඩ ප්‍රදේශ පාලනය විය. 1549 දී මේ කොටස් අග්‍රාණ්ඩුකාරයකු යටතේ තබා එක ම යටත් රාජ්‍යයක් හැටියට ආණ්ඩු කරනු ලැබීය. 1580-1640 අතර කාලයේ දී පෘතුගාලය ස්පාඤ්ඤය හා එක්සත් වීම නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ට සතුරු වූ යුරෝපීය ජාතීන්ගෙන් බ්‍රසීලයට වියවුල් පැමිණියේය. ඕලන්ද ජාතිකයෝ බ්‍රසීලයේ කොටසක් තමන් යටතට ගැනීමෙහි ද සමත් වූහ. 1661 දී ඕලන්ද ජාතිකයෝ බ්‍රසීලයේ සිය අයිතිය අත් හැර දැමූහ. එතැන් සිට 1807 දක්වා බ්‍රසීලය පාලනය වූයේ ලිස්බන් නගරයේ සිටය. 1807 දී නැපෝලියන්ගේ පෘතුගාල ආක්‍රමණවලට බියෙන් දොන් ජෝන් රජ බ්‍රසීලයට පලා ගොස් එරට සිය රාජධානිය කර ගත්තේය. 1821 දී දොන් ජෝන් රජ ආපසු පෘතුගාලය බලා ගිය මඳ දිනකින් එරට නිදහස් සටන ඇරඹිණ (බ්‍රසීලය බ.). 16 වන ශත වර්ෂයේ දී එංගලන්තය ස්පාඤ්ඤය හා මිත්‍ර ගිවිසුම්වලට බැඳී සිටියෙන් පාප්තුමාගේ ආඥාව යටතේ ස්පාඤ්ඤ ප්‍රතිකාල් දෙවර්ගයාට අභිනව ලෝකයේ ලැබී තිබූ තනි අයිතිය ගැන ඉංග්‍රීසීහු ප්‍රශ්න නොකළහ. එහෙත් මේ කාලයේ දී ප්‍රංසය හා ස්පාඤ්ඤය අතර විරුද්ධකම් ලියලන්නට වූයෙන් ඇමෙරිකාවේ ස්පාඤ්ඤ තනි අයිතිය බිඳීමට ප්‍රංස ජාතිකයෝ සිතූහ. ෂාක් කාර්ටියේ සාන්ත ලෝරන්ස් ගංගාධාරය සොයා ගැනීම මෙහි ප්‍රතිඵලයකි. 1555න් පසු කාලයේ දී රියෝ ද ජැනෙයිරෝ, ද. කැරොලයිනාව හා ෆ්ලොරිඩාව යන රටවල ජනපද පිහිටුවීමට ද ඔවුන් ප්‍රයත්න දැරූ නමුත් ස්පාඤ්ඤ ප්‍රතිකාල් දෙවර්ගයා එක්ව ඔවුන්ගේ ව්‍යායාමය නිෂ්ප්‍රභ කරදැමූහ.

ඉංග්‍රීසි ජනපද

හෙන්රි VII රජුගේ කාලයේ දී කැබට් නම් නාවිකයා නිව්ෆවුන්ඩ්ලන්තය සොයා ගත් නමුත් නියම වශයෙන් අභිනව ලෝකය ගැන එංගලන්තය උනන්දුවක් දක්වන්ට වූයේ එලිසබත් රැජිනගේ කාලයේ දීය. එංගලන්තය හා ස්පාඤ්ඤය අතර ඇති වූ දේශපාලන ගැටුම් නිසා ඉංග්‍රීසීහු ස්පාඤ්ඤ ජාතිකයන් අලුත් ලෝකය සමඟ ගෙන ගිය වෙළඳාමට පහර ගැසීමට සිතූහ. එංගලන්තය ඇමෙරිකාවේ ස්පාඤ්ඤ ප්‍රදේශ සමඟ වෙළඳාම් කිරීමේ අයිතිය ඉල්ලා නොලත් බැවින් ෆ්‍රැන්සිස් ඩ්රේක්, ජෝන් හෝකින්ස් ආදි ඉංග්‍රීසි ජාතික නාවිකයෝ අතරමඟ මුහුදේ රැකසිට, ඇමෙරිකාවේ ස්පාඤ්ඤ ප්‍රදේශවලින් රන් රිදී පුරවාගෙන ස්පාඤ්ඤය බලා යන නැව්වලට පහර දී කොල්ල කෑමෙහි යෙදුණාහ. මේ සමඟ ම ඇමෙරිකාවට උතුරෙන් පෙරදිගට යාමට මුහුදු මාර්ගයක් සොයා ගැනීමට ඉංග්‍රීසීහු වෙහෙස දැරූහ. 1577-80 කාලයේ දී ඩ්රේක් පැනමාව ආක්‍රමණය කර පැසිපික් සාගරයට ඇතුළුව ලොව වටා යාත්‍රා කෙළේය. මේ අතර තෝමස් කැවෙන්ඩිෂ්, හම්ෆ්‍රි ගිල්බට්, ෆ්‍රොබිෂර්, වෝල්ටර් රැලේ ආදීහු දේශ ගවේෂණයෙහි හා ජනපද පිහිටුවීමෙහි යෙදුණාහ. නිව් ෆවුන්ඩ්ලන්තයේ ඉංග්‍රීසි ජනපද පිහිටුවීමේ ප්‍රයත්නයක දී හම්ෆ්‍රි ගිල්බට් නැවියා නැවත් සමඟ විනාශ වූයෙන් වෝල්ටර් රැලේ එහි ජනපද පිහිටුවීම භාරව ක්‍රියා කෙළේය. පසුව ඔහු අවුරුදු ගණනාවක් වෙහෙස වී පිහිටුවූ ව’ජිනියා ජනපදය 1607න් පසු ස්ථීරභාවයකට පත් විය. 1609 දී බර්ම්‍යුඩාවේ ද 1625 වන විට බාබඩෝස්, සාන්ත කිට්ස් යන දූපත්හි ද ඉංග්‍රීසි ජනපද ඇති විය. 1621 දී ආගමික මතභේද නිසා එංගලන්තය හැර ආ කණ්ඩායමක් ප්ලිමත් හා මැසචූසෙට්ස් යන ජනපද දෙක පිහිටුවූහ. 1640 වන විට කනෙටිකට්, එක්සටර්, පෝට්ස්මත්, නිව් හැම්ප්ෂයර්, නිව්පෝට්, රෙඩ් අයිලන්ඩ් ආදි ඉංග්‍රීසි ජනපද කීපයක් ම උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි ඇති විය. එංගලන්තයේ ක්‍රොම්වෙල් බලය දැරූ කාලයේ දී (1642-1660) ඇමෙරිකානු ඉංග්‍රීසි ජනපදවලට මව්රටේ ඇඟිලිගැසීම් අඩු වූ නමුත් වෙළඳාම සම්බන්ධයෙන් දැඩි පාලන නීති ඇති විය. චාල්ස් II රජුගේ කාලයේ දී ඇමෙරිකානු ජනපද සම්බන්ධයෙන් එංගලන්තය බෙහෙවින් උනන්දු විය. වැඩි කල් නොගොස් ඇමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද සංඛ්‍යාව දොළහ දක්වා වැඩි විය. අභිනව ලෝකයේ ඉංග්‍රීසි ජනපද, කතෝලික යුරෝපීය රටවල් මෙන් නොව, ආගමික භේද ඉවසා කටයුතු කළේය. ක්වේකර් නිකායිකයන් පිහිටුවූ පෙන්සිල්වේනියා වැනි ජනපද පමණක් නොව කතෝලිකයන් පිහිටුවූ බෝල්ටිමෝර් වැනි ජනපද ද ආගමික සහනශීලතාව වැදගත් කොට සැලකීය. මේ නිසා යුරෝපීය කතෝලික පීඩනවලින් මිරිකී ගිය ප්‍රංස, ජර්මන්, ස්කොච් ආදි ජාතිකයෝ දහස් ගණනින් පැමිණ අලුත් ඉංග්‍රීසි ජනපදවල පදිංචිව ඒවායේ ශීඝ්‍ර දියුණුවට කටයුතු කළහ. පසු කාලයේ දී එක්සත් ජනපද රාජ්‍යය ඇති කිරීමෙහි ලා එක් වූ මූලික ජනපද තෙළෙස සම්පූර්ණ වූයේ 1732 දීය. එම වර්ෂයේ දී තෙළෙස්වන ජනපදය වූ ජෝජියා ජනපදය පිහිටුවනු ලැබීය. මේ ජනපදවාසීන් කෘෂිකර්මාන්තය හා ආකර කර්මාන්තය පිණිස රතු ඉන්දියානුන් වහල් මෙහෙයට ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවූයෙන් ඒ සඳහා නීග්‍රෝ වහල්ලු යොදන ලදහ. සමහර ජනපදයන්හි උක්, කපු, තිරිඟු ආදිය සශ්‍රීකව වවන ලදි. අන් සමහරක සතුන් ඇති කිරීමට මුල් තැන දෙනු ලැබීය. ඉංග්‍රීසි ජනපදවාසීහු ජනපද පිහිටුවීමේ ව්‍යාපාරයට මුල් වි රාජ්‍යාධාර ලැබූ සිය ස්වාමිවරුන්ගෙන් මිදී නිදහස ලැබීමට මුල පටන් ක්‍රියා කළහ. ඔවුන් කල් නොයවා ම මව්රටින් දෙන ලද රාජ ප්‍රඥප්ති යටතේ සෑහෙන ස්වාධීනතාවක් ද ලැබූ නමුත් මව් රටට ඕනෑ කළේ ස්වකීය ලාභ ප්‍රයෝජනය තකා මෙම ජනපදවල වෙළහෙළඳාම් කටයුතු තම තනි අයිතිය යටතේ තබා ගැනීමටය.

ඕලන්ද ජනපද

17 වන සියවසේ දී ඕලන්ද ජාතිකයන් විසින් ද නිව් නෙදර්ලන්තය නමින් ඇමෙරිකාවේ ජනපදයක් පිහිටුවා තිබිණි. මෙම ජනපදය ද ස්වීඩ් ජාතිකයන් පදිංචිව සිටි ඩෙලවෙයාර් ප්‍රදේශය ද චාල්ස් II රජුගේ කාලයේ දී ඉංග්‍රීසි ජනපදවලට ම ඈඳාගනු ලැබීය. දකුණු දෙස ස්පාඤ්ඤ බලය මැඩලීමට ඉංග්‍රීසි, ප්‍රංස, ඕලන්ද යන තුන්වර්ගයා තමන් අතර වරින්වර පැනනැඟි විරුද්ධකම් ද අමතක කොට සමගිව ක්‍රියා කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බටහිර ඉන්දියා දූපත් කීපයක් ස්පාඤ්ඤ ජාතිකයන්ට අහිමි විය. පෘතුගීසින්ට අයත් බ්‍රසීලය 1621 දී ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ බහියා ප්‍රදේශය අයත් කර ගත්හ. 1631 දී පෙර්නම්බුකෝ ප්‍රදේශය ද ඕලන්ද ජාතිකයන් සතු විය. කලක් පැවති භාරකාරත්වයකින් පසු 1661 දී ඔවුන්ට බ්‍රසීලයේ අයිතිය අත්හැර දමා යෑමට සිදු විය. ඕලන්ද ජාතිකයන් විසින් ජනපද පිහිටුවන ලද ගියානා හා කැරිබියන් දූපත් ඔව්හු නොවැටිය දී රැක ගත්හ.

ප්‍රංස ජනපද

1599 දී ප්‍රංසයේ හෙන්රි IV රජුගෙන් ලත් අනුබලය ඇතිව ප්‍රංස ජාතිකයෝ සාන්ත ලෝරන්ස් ප්‍රදේශයේ පදිංචියට පැමිණියහ. ලොම් සොයා සාන්ත ලෝරන්ස් ගංගාධාරය ගවේෂණය කළ ප්‍රංස ජාතිකයන් හා රතු ඉන්දියන් ජාතිකයන් අතර ඇති වූ මිශ්‍ර විවාහ නිසා බ්වා බ්රූලේ (Bois Brules) යන මිශ්‍ර ජාතිය ඇති විය. 17 වන ශතවර්ෂය ආරම්භයේ සිට ම ප්‍රංස මිෂනාරිවරු සටන්කාමී රතු ඉන්දියානුන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ අදහසින් පැමිණියහ. 1660න් පසු ලුවී XIV රජ කැනඩා ප්‍රදේශය ගැන උනන්දුවක් දක්වන ලද නමුත් ජනපද පිහිටුවීමේ කාර්යයෙහි නිරතව සිටි ප්‍රංස ජාතික හියුගනොට්වරු ආගමික මතභේදය නිසා කොන් කරනු ලැබූහ. මේ නිසා හියුගනොට්වරු ඉංග්‍රීසි ජනපදවලට ගොස් පදිංචි වන්නට වූහ. මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රංස ජනපද පිහිටුවීම පිණිස ඉදිරිපත් වූ පිරිස කුඩා වී යෑමත් 1697 දී රිස්වික් ගිවිසුම අනුව හිස්පැනියෝලාවේ අර්ධයක් ද ග්වාදලූප් හා මාටිනික් යන ද දූපත් ද ස්පාඤ්ඤයෙන් ප්‍රංශයට අයත් වී යෑමත්ය. 1687 දී රෝබෙර් කාවල්යේර් ඩ ලා සාල් මිසිසිපි ගංගාධාරය ගවේෂණය කළේය. නැවත වරක් තවදුරටත් මිසිසිපි නිම්නයේ ගවේෂණයෙහි යෙදුණු හෙතෙම ඔහුගේ ම පිරිසේ අය විසින් මරනු ලැබීය. ඩ ලා සාල් මිසිසිපි මෝය අසල ලුයිසියානා ප්‍රදේශය හිමි කරගත් නමුත් ජනපදයක් පිහිටුවීමට ඔහුට නොහැකි විය. 1699 වර්ෂයේ දී මිසිසිපි මෝය අසල බිලෝක්සිහි ස්ථිර ප්‍රංස ජනපදයක් ඇති කරනු ලැබීය. එකිනෙකින් ඉතා දූරස්ථව කැනඩාවේ සහ ලුයිසියානාවේ පිහිටි ප්‍රංස ජනපද සම්බන්ධ කිරීමේත් ඉංග්‍රීසීන් ඇලගනී කඳු හා සමුද්‍රය අතර ප්‍රදේශයට සීමා කිරීමේත් අභිලාෂයෙන් ඔහායෝ හා මිසිසිපි යන ගංගාධාරයන් දිගේ ප්‍රංස මුරපොළවල් පිහිටුවීමට ද ක්‍රියා කරන ලදි. සාමාන්‍යයෙන් බලන කල ප්‍රංස ජනපද ඉතා දිළිඳු වූ, මව්රටට අධික වියදම් දරන්නට සැලස්සූ කිසිදු දියුණුවක් නොමැති අසාර්ථක ඒවා විය. ඉංග්‍රීසීහු ඇලගනි දක්වා සිය ජනපද ව්‍යාප්ත කළහ. ඔවුන්ගේ ජනපද ස්ථිරව ගොඩ නැඟුණු, දියුණුව කරා ගිය, සමෘද්ධිමත්, ජනාකීර්ණ ඒවා විය.

රතු ඉන්දියානු ජාතිකයෝ

යුරෝපීය ජාතීන් විසින් (රතු) ඉන්දියානුවෝ යයි නම් කරන ලද්දා වූ ඇමෙරිකාව පුරා විසූ නොයෙක් ගෝත්‍රවලට අයත් ස්වදේශිකයන්ට ඔවුන්ගේ නිදහස උදුරාගෙන භුමියේ සාරය සූරා ගැනීමට පැමිණි විවිධ යුරෝපීය ජාතීන් හා මුල් අවධියේ සිට නොයෙක් අයුරින් ගැටෙන්නට සිදු විය. ඇමෙරිකාවේ දකුණු හා මධ්‍ය ප්‍රදේශවල විසූ ඉන්දියානුන් යටත් කරගැනීමට ස්පාඤ්ඤ, පෘතුගීසි දෙවර්ගයා බිහිසුණු සටන් කළ අතර කැනඩාවේ හා එක්සත් ජනපදයන්හි ඉන්දියානුන් මැඩලීමට ප්‍රංස, ඉංග්‍රීසි දෙවර්ගයා සටන් කළහ. වැඩි කලක් ගතවන්නට පෙර යුරෝපීයයන්ගේ දියුණු යුද්ධායුධ හා යුද්ධෝපක්‍රම ඉදිරියේ ඔවුන්ට හිස නමන්ට සිදු විය. ලොම් සපයාගැනීම අරභයා මුලින් කැනඩාවට ගිය ප්‍රංශ ජාතිකයෝ රතු ඉන්දියානුන් හා බහුල ලෙස මිශ්‍ර වන්නට වූහ. බ්වා බ්රූලේ ගෝත්‍රයේ ප්‍රභවය එහි ප්‍රතිඵලයයි. බොහෝ ප්‍රංස ජනයා රතු ඉන්දියානු සිරිත් විරිත් පමණක් නොව ජීවන ක්‍රමය ද අනුගමනය කරන්නට වූහ. රාජ අනුග්‍රහය ඇතිව පැමිණි ක්‍රිස්තියානි ධර්මදූතයෝ ඉන්දියානුන් ක්‍රිස්තු භක්තියට හරවාගෙන ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව ඔවුන් හැඩ ගස්වමින් මිශ්‍ර ජාතියක් ඇති කිරීමට බෙහෙවින් මහන්සි ගත්හ.

දකුණු ඇමෙරිකා ජනපදයන්හි ස්පාඤ්ඤ ජාතිකයෝ ද ප්‍රංස ප්‍රතිපත්තිය අනුගමනය කළහ. ඉන්දියානු-ස්පාඤ්ඤ මිශ්‍ර විවාහ නිසා මෙස්ටිසෝ නම් අලුත් ජාතියක් ඇති විය. ඉන්දියානුන් අතර ක්‍රිස්තියානි ආගම හා සභ්‍යත්වය පතුරුවා රටවැසි තත්වය ද දී ඔවුන් ද සිය රැසට මුසු කොටගැනීම පිණිස ස්පාඤ්ඤ ජාතිකයන් නීතිරීති පවා සකස් කරන ලද බව පෙනේ. ඉන්දියානුන් පිළිබඳ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ප්‍රතිපත්තිය මෙසේ වුව ද පෘතුගීසින්ගේ ප්‍රතිපත්තිය වූයේ බ්‍රසීලයේ ඉන්දියානුන් වහල් මෙහෙයට ගැනීමය. සම දේශපාලන අයිතිවාසිකම් ඔවුන්ට දීමට බලාපොරොත්තුවක් නොවීය.

ඉංග්‍රීසි ආණ්ඩුව ඉන්දියානු-ඉංග්‍රීසි මිශ්‍ර විවාහ ඇති වීම ගැන නොකැමැත්තෙන් සිටිය දීත් ඇමෙරිකානු ඉංග්‍රීසි ජනපදයන්හි එවැනි මිශ්‍ර විවාහ බහුලව සිදු විය. ඉන්දියානුන්ට සම තත්වයක් දීමට ඔවුහු ද බලාපොරොත්තු නොවූහ. කෙසේ හෝ ඉන්දියානුන් අතර ඉංග්‍රීසි භාෂාව හා එම සංස්කෘතික අංග ඉක්මනින් පැතිරී ගියේය. ඉංග්‍රීසීහු ද යුද්ධෝපක්‍රම ආදිය අතින් ඉන්දියානුන්ගෙන් කරුණු උගත්හ.

මෙසේ ඇමෙරිකා මහාද්වීප දෙක්හි ම ඉන්දියානුන් යුරෝපීය ජනපදවාසීන් හා සංකලනය වීමත් සමීප ආශ්‍රයට හා සම්බන්ධයට පැමිණීමත් නිසා ඉන්දියානුන්ගේ සංස්කෘතිය පිළිබඳ බරපතළ පෙරළියක් ඇති වූ අතර ඔවුන්ගේ පැරණි ආර්ථික පදනම දෙදරා ගියේය. යුරෝපීයයන්ගෙන් බෝවුණු භයානක වසංගත ආදිය නිසාත් යුද කෝලාහල නිසාත් ඉන්දියානු ජනගහනය පුදුම ලෙසින් පහත වැටිණි. ශේෂ වී සිටින ඉන්දියානුන් ද මෙස්ටිසෝ ආදි මිශ්‍ර ජාතීහු ද යුරෝපීය සංස්කෘතියේ බලපෑමට යටත් වූ නමුත් ඔව්හු පැරණි සංස්කෘතික අංගයන් තවමත් රැකගෙන සිටිති. ඇමෙරිකානු එක්සත් ජනපද ඉතිහාසයේ වැදගත් තැනක් හිමි විය යුතු වූ ඉන්දියානුන්ට තවමත් රට වැසි අයිතිවාසිකම් සම්පූර්ණයෙන් හිමි වී නැත.

නීග්‍රෝ ජාතිකයෝ

ඇමෙරිකා මහාද්වීපයේ ඒ ඒ කොටස්වල යුරෝපීය ජාතිකයන් ජනපද පිහිටුවීම ඇරඹූ මුල් කාලයේ සිට අධික ලාභ ලබාගැනීමේ ආශාවෙන් මඬනා ලද යුරෝපීයයෝ දේශීය රතු ඉන්දියානු ජාතිකයන්ගෙන් නොමිලයේ සේවය ලබාගැනීමට මහන්සි ගත්හ. ඔවුන් බලාත්කාරයෙන් වහල් සේවයේ යොදාගැනීම දුෂ්කර වූ බැවින් යුරෝපීය ජාතීහු අප්‍රිකාවේ නොයෙක් ප්‍රදේශවලින් නීග්‍රෝ ජාතිකයන් වහල් මෙහෙය සඳහා ලබාගැනීමට වෑයම් කළහ. 16 වන ශතවර්ෂයේ මුල් කාලයේ සිට ස්පාඤ්ඤ ජනපදවලට වහලුන් සැපයීමේ නින්දනීය වෙළඳාමෙහි යෙදුණු යුරෝපීය වර්ගයා එමගින් මහත් ධනයක් රැස් කරගත්හ. මුල දී සුළුවෙන් පටන් ගනු ලැබූ වහල් වෙළඳාම ඉංග්‍රීසි, ප්‍රංස හා ඕලන්ද ජනපද ඇති වන්ට වූ පසු බෙහෙවින් දියුණු වන්ට විය. 18 වන සියවසෙහි දී හා 19 වන සියවසේ මුල් භාගයේ දී යුරෝපීය වහල් වෙළඳුන්ගේ ක්‍රෑර හස්තයට අසු වූ ලක්ෂ ගණන් ස්ත්‍රීපුරුෂ, බාලමහලු අප්‍රිකානු නීග්‍රෝ ජාතිකයන්ට ස්වකීය ජාතභූමිය අහිමි විය. ඇමෙරිකාවට ගෙන යාමේ දී කිවනොහැකි තරම් වධහිංසාවලට හා අමානුෂක ක්‍රෑරකම්වලට භාජන වූ මේ අහිංසක ජනතාවගෙන් පහෙන් හතරක් පමණ ඇමෙරිකාව නොදැක ම මඟ දී විනාශ වූ බව කියත්.

ජනපද පිහිටුවීමේ යුගය අවසානයේ දී ස්පාඤ්ඤ පෘතුගීසි ජනපදයන්හි හතලිස් ලක්ෂයක් පමණ නීග්‍රෝ ජාතිකයන් විසූ අතර ඉංග්‍රීසි ජනපදවල මුළු ජනගහනයෙන් හතරෙන් එකක් අප්‍රිකානු ජාතිකයෝ වූහ. ඇමෙරිකාවේ වර්තමාන ශ්‍රී සෞභාග්‍යය නීග්‍රෝ වහලුන්ගේ දාඩිය මහන්සියෙන් ඇති වූවකැයි කිව ද වරදක් නැත. ශිෂ්ට ලෝකයෙන් වහල් මෙහෙය මෙකල සම්පූර්ණයෙන් තුරන්ව ඇති බැවින් නීග්‍රෝ වහලුන්ගෙන් පැවතෙන කෝටි සංඛ්‍යාත ඇමෙරිකානු නීග්‍රෝ ජාතිකයෝ නිදහස් මිනිසුන් හැටියට අද ජීවත් වෙති. එහෙත් වර්ණභේදය පවත්නා ඇමෙරිකානු ජනපදවල වසන නීග්‍රෝ ජාතිකයන් මෙකල ද වසන්නේ අවහිරකම් හා අතවරයනට භාජනවය.

ප්‍රංස ජනපදයන්ගේ වැටීම

එංගලන්තය හා ප්‍රංසය අතර 18 වන ශතවර්ෂයේ දී පැවති අරගළ යුරෝපීය දේශපාලන තත්වය අනුව දික්ගැස්සෙමින් ගියේය. මව්රට කෙරෙහි පැවති ඊර්ෂ්‍යාව කෙබඳු වුව ද ප්‍රංස සතුරන් පැරදවීමෙහි ලා ඇමෙරිකානු-ඉංග්‍රීසි ජනපදවාසීහු ද ක්‍රියාත්මකව සහභාගි වූහ. හත් අවුරුදු යුද්ධයේ දී කැනඩාවේ ප්‍රංස ජනපද යටත් කරගැනීමෙහි ඔවුහු සමර්ථ වූහ. (ජ්‍යෙෂ්ඨ) විලියම් පිට්ගේ නියමය යටතේ සමුද්‍ර අවහිර කිරීමෙහි යෙදුණු බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඇමෙරිකාවට ආධාර ගෙන යන ප්‍රංස නැව්වලට පහර දීම නිසා කැනඩාවේ ප්‍රංස ජනපදවල වැටීම ඉක්මන් විය. 1763 වන විට කැනඩාවේ ජනපද ප්‍රංසයට අහිමි වී ඉංග්‍රීසීන්ට අත් වූ අතර ප්‍රංස ජාතිකයන් සතුව තිබූ ලුයිසියානාව ද ස්පාඤ්ඤයට භාර දෙනු ලැබීය. ප්‍රංසයට ඇමෙරිකාවෙන් ඉතිරි වූයේ බටහිර ඉන්දියා දූපත් කීපයක් හා ප්‍රංස ගියානාවත් පමණි.

ඇමෙරිකානු නිදහස් සටන

ප්‍රංස ජනපදයන්ගේ වැටීම ඇමෙරිකානු ස්වාධීනතාව පිළිබඳ ඉතිහාසයේ වැදගත් අවස්ථාවකි. මව්රටේ පාලනයෙන් හා බදුවලින් මිදී ස්වාධීනත්වය ලබාගැනීමේ සටන නිර්බාධකව ගෙන යාමට ඉංග්‍රීසි ජනපද වාසීන්ට ඉඩප්‍රස්තාව පෑදිණ.

1773 දී බොස්ටන්හි සිදු වූ තේ මුහුදුබත් කිරීම ඇමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම සිද්ධියක් වූ නිදහස් සටන හෙවත් ඇමෙරිකානු විප්ලවය පිළිබඳ මුල් ජවනිකාව හැටියට සැලකිය හැක. බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ තේ විකිණීමේ තනි අයිතියට විරුද්ධව ජනපදවාසීන් සැමුවල් ඇඩම්ස්ගේ ප්‍රධානත්වයෙන් ගෙනගිය වැඩපිළිවෙළෙහි එක් අවස්ථාවකි, බ්‍රිතාන්‍ය තේ මුහුදුබත් කිරීම. තේවල සම්පූර්ණ අගය ගෙවන තුරු බොස්ටන් වරාය වැසීම ආදි ‘බල කිරීමේ නීති’ කීපයක් බ්‍රිතාන්‍යයේ ජෝජ් III රජු විසින් පනවන ලදි. මේ නිසා තත්වය බැරෑරුම් අතට හැරිණි. බොස්ටන් වරාය වැසීම නිසා මැසචූසෙට්ස් ජනපදවාසීන්ගේ එදිනෙදා ජීවිතයට වැදුණේ මරුපහරකි. එහෙත් එම ජනපදවාසීන් අවනතවනු වෙනුවට සිදු වූයේ අනිකකි. සෙසු ජනපද සියල්ල ම මැසචූසෙට්ස් වාසීන්ට සහාය විය. 1774 දී පළමුවරට සමස්ත මහාද්වීපික කොංග්‍රෙස් සභාව රැස්ව ජනපදවල පවත්නා අසතුටුදායක තත්වය ගැන සාකච්ඡා කොට බ්‍රිතාන්‍ය රජුට පෙත්සමක් යැවූ නමුත් ජෝජ් III රජ ජනපදවාසීන්ට බුරුලක් නොදීමට ඉටා ක්‍රියා කෙළේය. බල කිරීමේ නීති ක්‍රියාත්මක කොට, සැමුවල් ඇඩම්ස් හා ජෝන් හැන්කොක් යන දෙදෙනා අල්ලා එංගලන්තයට ගෙන එන ලෙස ගේජ් නම් ඉංග්‍රීසි ජනරාල්වරයාට නියම කරන ලදි. මේ සෙන්පතියා විසින් එදෙදෙන ඇල්ලීමට යවන ලද සේනාවට විරුද්ධව මුළු අභ්‍යන්තර ප්‍රදේශය ම නැගී සිටියෙන් එම ප්‍රයත්නය ව්‍යර්ථ විය. ආපසු හැරුණු ඒ සේනාව සැම අතින් ම වෙඩි පහර කමින් බොස්ටන් නුවරට වැදුණේය. මේ සමඟ ම වාගේ, එනම් 1775 මැයි 1 දින, ජෙෆර්සන් (බ.), බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (බ.) ආදීන් ද පෙනී සිටි II වන මහාද්වීපික කොංග්‍රෙස් සභාව රැස් විය. එහි සභාපති පදවිය ඉසුලුයේ හැන්කොක්ය. මව්රටට විරුද්ධව යුද්ධයකට පටලැවීමට සමහරුන් විරුද්ධත්වයක් දැක් වූ නමුත් අවසානයේ දී එම විරුද්ධත්වය තුනීව ගියේය. ක'නල් ජෝජ් වොෂිංටන් ජනපදයන්ගේ සේනාධිනායක පදවියට පත් කරනු ලැබීය. අගෝස්තු මාසය වන විට ජනපදයන්හි කැරලි තත්වයක් පවත්නා බව බ්‍රිතාන්‍ය රජ ප්‍රකාශ කෙළේය. 1776 ජූලි 4 දින ජෙෆර්සන් මූලිකව පිළියෙල කරන ලද නිදහස පිළිබඳ ප්‍රකාශනය ජනපදයන් විසින් පිළිගන්නා ලදුව ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යය නමැති නව ජාතියේ පිළිසිඳ ගැන්ම ඇති විය.

හය වර්ෂයකට අධික කාලයක් තිස්සේ පැවති ඇමෙරිකානු විප්ලවයේ දී ප්‍රංස ජාතිකයන්ගේ හා වෙනත් යුරෝපීය ජාතීන් කීපයකගේ ද සහාය ජනපදවාසීන්ට ලැබිණ. 1782 දී බ්‍රිතාන්‍යය ඇමෙරිකානු ජනපද සමඟ සාමයකට එළඹිණ. මේ සාම යෝජනා නියම වශයෙන් ක්‍රියාත්මක වූයේ 1783 දී බ්‍රිතාන්‍යය හා ප්‍රංසය අතර ඇති වූ සාම ගිවිසුමෙන් පසුය. මේ සාම ගිවිසුම අනුව තෙළෙස් ජනපදයන්ගේ නිදහස, ස්වාධීනතාව හා ස්වාධිපත්‍යය බ්‍රිතාන්‍යය විසින් පිළිගන්නා ලදි (ඇමෙරිකානු සිවිල් යුද්ධය බලන්න).

නිදහස ලැබීමෙන් පසු

1777 දී කොංග්‍රෙස් සභාවේ නියමය අනුව ජනපදයන් විසින් නව ආණ්ඩු පනත් කෙටුම්පත් කැරිණ. ජනපදයන් ක්‍රමයෙන් රාජ්‍ය තත්වයට පරිවර්තනය වෙද්දී ඇපලේචියන් කඳුවලින් බටහිර ප්‍රදේශය ද ක්‍රමයෙන් ජනාවාස වන්ට විය. නිදහස් සටනින් පසු බටහිර ප්‍රදේශයේ විශාල භූමිභාග පාලනය කෙළින් ම කොංග්‍රෙස් සභාවට පවරා දෙනු ලැබීය. ඒ ඒ ජනපදයන් විසින් පෙර දී තමන් අයත් සේ සලකනු ලැබූ වර්ග සැතපුම් දසදහස් ගණන් විශාල ප්‍රදේශ මෙසේ පොදු මණ්ඩලයකට පැවරීම මේ අලුත් රාජ්‍යයේ ජාතික සමගිය ප්‍රකාශ කරවන නිසැක සාක්ෂියක් විය. 1781 සිට ජනපදයන් ලිහිල් ලෙස එකට බඳිනු ලැබූ ගණ රාජ්‍ය පනතේ වගන්තිවලින් මේ බටහිර ප්‍රදේශවලට සීමාසහිත පාලන වගකීමක් පවරන ලදි. ඉක්බිති 1787 දී ඇමෙරිකානු යටත් විජිත පිළිබඳව අලුත් ආඥා පනතක් පනවනු ලැබීය. මේ අනුව අලුත් ප්‍රදේශ මව්රටේ ප්‍රයෝජනය සඳහා පවත්නාවූ, තත්වයෙන් පහත් ප්‍රදේශ වශයෙන් නොව, තත්වයෙන් අනිකුත් ජනපදවලට සමාන වූ, රටේ ම කොටස් ලෙස සලකන ලදි. කොංග්‍රෙස් සභාවෙන් පත් කැරෙන ආණ්ඩුකාරයෙක් එපෙදෙස පාලනය කෙළේය. යුරෝපීය යටත් විජිත ප්‍රතිපත්තියෙන් ඉඳුරා වෙනස් වූ මේ ප්‍රගතිශීලි ප්‍රතිපත්තිය නිසා තෙළෙස් ජනපද කල් නොයවා ම පැසිපික් සාගරය තෙක් විහිදුණු ජනපද රාජ්‍ය 48කින් සමන්විත සුවිශාල, සමෘද්ධිමත් මහා බලයක් බවට පෙරළිණ.

1861 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උතුරු ප්‍රදේශ රාජ්‍ය 23ක් හා දකුණු ප්‍රදේශ රාජ්‍ය 11ක් ද අතර බලවත් සටනක් ඇති විය. ලෝක ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම පුද්ගලයකු ලෙස සලකනු ලබන ඒබ්‍රහම් ලින්කන් (බ.) නිසා, 1865 දක්වා පැවති මෙම යුද්ධයෙන් එක්සත් ජනපද රාජ්‍යය නොබිඳී රැකුණේය. (ඇමෙරිකානු සිවිල් යුද්ධය බ.).

1741 දී ටයිටස් බීරිං නම් නාවිකයා විසින් සොයා ගනු ලැබූ, රුසියානුන් ජනපද පිහිටුවූ ඇලස්කාව (බ.) 1867 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් මිලට ගන්නා ලදින් 1912 සිට එක්සත් ජනපද රාජ්‍යයට අයත් ප්‍රදේශයක් හැටියට පාලනය වෙමින් පැවතිණ. 1959 දී ඇලස්කාව ද ඇ.එ.ජ.රා.හි 49 වන රාජ්‍යය හැටියට ප්‍රකාශ කැරිණ.

ඇමෙරිකානු ජනපදයන්ගේ නිදහස් යුද්ධය හෙවත් ඇමෙරිකානු විප්ලවය මුළු මහත් නව ලෝකය සම්බන්ධයෙන් ම ඉමහත් බලයක් පෑවේය. නිදහස් යුද්ධය ආදර්ශයට ගත් උතුරු හා දකුණු ඇමෙරිකා මහාද්වීපයන්හි වූ යුරෝපීය ජනපදවාසීහු යුරෝපයේ මව්රටවලින් මිදී ස්වාධීනතාව ලබාගැනීමට සටන් ඇරඹූහ.

කැනඩාව

ඇමෙරිකානු විප්ලවය පවත්නා කාලයේ දී බ්‍රිතාන්‍යයට පක්ෂපාති ජනපදවාසීහු රාශි වශයෙන් කැනඩා ප්‍රදේශයට ගොස් පදිංචිවන්ට වූහ. මොවුනට විශාල වශයෙන් මුදල් හා ඉඩම් ප්‍රදානය කළ බ්‍රිතාන්‍යය 1791 දී ඔටාවා නදියෙන් උතුරු ප්‍රදේශයට එක් ආණ්ඩුවකුත් දකුණු ප්‍රදේශයට වෙන ම ආණ්ඩුවකුත් දීමෙන් කැනඩාව රාජ්‍ය දෙකකට බෙදීය. වරින්වර මේවායේ පදිංචි ප්‍රංස ජාතිකයන් ඇති කළ කැළඹීම් නිසා 1840 දී මේ රාජ්‍යද්වය එක් කරනු ලැබීය. එහෙත් බොහෝ කලක් යන තුරු කැනඩාවේ නොසන්සුන්කම් නතර නොවීය. 1876 දී කැනඩා ජනපද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ එක්සත් පෙඩරල් රාජ්‍යයක් බවට පමුණුවන ලදි. කලක් තිස්සේ සර් ජෝන් ඇලෙක්සැන්ඩර් මැක්ඩොනල්ඩ් නම් කැනඩාවේ නිවැසි නීතිඥයා මුල්ව ගෙන ගිය බලවත් ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් 1873 දී බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා ප්‍රදේශ සියල්ලක් ම බ්‍රිතාන්‍ය රජය විසින් කැනඩාවට පවරන ලදි. නිව්ෆවුන්ඩ්ලන්තය පමණක් කැනඩාවට එකතු කරනු නොලැබීය. 1926 දී කැනඩාව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් විය. නිව්ෆවුන්ඩ්ලන්තය ද 1949 දී කැනඩා ඩොමිනියන් රාජ්‍යයේ කොටසක් බවට පත් කරන ලදි (කැනඩාව බලන්න).

ස්පාඤ්ඤ පෘතුගීසි ජනපද

මධ්‍ය ඇමෙරිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ ද සිටි ස්පාඤ්ඤ පෘතුගීසි ජනපදවාසීහු මව්රටවල පාලනයෙන් මිදීමට 1810 සිට අවුරුදු 16ක් පමණ කාලයක් සටන් ගෙන ගියහ. එම සටන්වල ප්‍රතිඵලය වූයේ ස්පාඤ්ඤය විසින් ගොඩනඟනු ලැබ තිබුණු ඇමෙරිකානු යටත් විජිත ඉන් මිදී මෙක්සිකෝ, පැනමා, ආජන්ටිනා, ඉක්වදෝර්, උරුගුවේ, කොලම්බියා, චිලි, පැරගුවේ, පීරු, බොලිවියා, වැනිසියුලා, හොණ්ඩ්‍යුරාස්, නිකරගුවා, එල් සැල්වදෝර්, කොස්ටා රීකා, ගුවාතමාලා ආදි නිදහස් රාජ්‍ය රැසක් පහළ වීමය. පෘතුගාලය සතුව කලක් පෘතුගීසි රජුගේ (දොන් ජෝන්) රාජධානියක් හැටියට පැවතුණා වූ බ්‍රසීලය 1825 දී මව්රටින් ඉවත්ව නිදහස ලැබීය (විස්තර එක් එක් රාජ්‍යය යටතේ බලන්න).

ඉහත සඳහන් ප්‍රදේශයන්හි විමුක්ති සටන් පවතිද්දී 1823 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මොන්රෝ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු මහාද්වීපද්වයේ කිසි ම කොටසක අලුතින් ජනපද ඇති කිරීමට වෙනත් මහාද්වීපවලට අයත් විදේශයනට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කෙළේය. මොන්රෝ ධර්මය නමින් ප්‍රකට වූ මේ ප්‍රතිපත්තිය නිසා එවක් පටන් ඇමෙරිකානු උභය මහාද්වීපයන්ට ම අයත් රාජ්‍ය පිළිබඳව යුරෝපා ජාතීන්ගේ ඇඟිලි ගැසීම් සීමා වූයේය. ඒ කාලය වන විට ඇමෙරිකාවෙහි යුරෝපීයයන් සතුව පැවති අලුත් ලෝකයට අයත් භූමිභාග නම් කැනඩාව හා නිව්ෆවුන්ඩ්ලන්තය ද ගියානාව හා බටහිර ඉන්දියා දූපත් කීපයක් ද වැනි රටවල් පමණි. කැනඩාව (නිව්ෆවුන්ඩ්ලන්තය ද ඇතුළු) මෙකල බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික ස්වාධීන ඩොමීනියන් රාජ්‍යයකි. එය බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය හා මෙකල බැඳී ඇත්තේ කැමති විටක ඉන් වෙන් වීමේ නිදහස ද සහිතව සිය කැමැත්තෙනි. බටහිර ඉන්දියා දූපත්හි හායිටි දූපත දැන් නිදහස් රාජ්‍යයක් බවට පත්ව ඇති අතර පෝටො රීකෝ, ක්‍යුබා යන දූපත් ස්පාඤ්ඤය විසින් 1898 දී එක්සත් ජනපද රාජ්‍යයට පැවරිණ. ගියානාව වැදගත්කමින් අඩු කුඩා ප්‍රදේශයකි. මෙසේ බලත් ම මෙකල සම්පූර්ණ නවලෝකය ම වාගේ අපරාධීන නව ජාතීන්ට වාසභූමි වූ විශාල භුඛණ්ඩයකි.

මෙකල කැනඩාව හා එක්සත් ජනපද එක්කොට ඇංග්ලෝ ඇමෙරිකාව යනුවෙන් ද ස්පාඤ්ඤ ප්‍රතිකාල් අධිරාජ්‍යවලින් නිදහස ලැබීමෙන් පිහිටුවන ලද රාජ්‍ය සියල්ලක් එක්කොට ලතින් ඇමෙරිකාව යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇමෙරිකාව&oldid=11247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි